Tuesday, October 15, 2019

පෙනීම සහ දැකීම


ඇස කියන ඉන්ද්‍රියෙහි කාර්යය මොකක්ද..?

පෙනීම?

ඔව් පෙනීම. මේ උත්තරය තමයි ලංකාව මෙච්චර පහත තැනක තියන්නත්, ඔබව මෙච්චර දුක් විඳින්නත් වැරදි කරන්නත් හේතු වෙලා තියෙන්නේ.

ඇස කියන්නේ පෙනෙන දේ විතරක් නෙමෙයි. දකින්නත් පාවිච්චි කරන්නේ ඇසම තමයි.

මොකක්ද පෙනීම සහ දැකීම කියන්නේ? දෙකක්ද එකක්ද?

පෙනීම සහ දැකීම දෙකක්.

එකින් එක බලමු.

මතු පිට අර්ථය ගත්තොත් පෙනීම කියන්නේ ආයාසයකින් තොරව කරන දෙයක් දැකීම කියන්නේ ආයාසයක් යොදලා කරන දෙයක්.

අපිට පේන දේවල් තියෙනවා. ඇස් දෙක ඇරලා නිකන් වට පිට බැලුවම අපිට ඕනේ තරම් දේවල් පේනවා. බස් එකේ යන ගමන් වීදුරුව අයිනේ වාඩි වෙලා යද්දී අපිට ඕනේ තරම් දේවල් පේනවා. ටීවී එක බැලුවොත් අපිට ඕනේ තරම් දේවල් පේනවා.

දකිනවා කියන්නේ අපිම ආයාසයක් දරල දෙයක් දිහා බැලීම. අපි වටපිට බලද්දී කුරුල්ලෙක් පෙනුනොත් අපි ඒ කුරුල්ලා මොකාද, මොන පාටද, හොටය මොන වගේද, පිහාටු තියෙන්නේ කොහොමද, කකුල් තියෙන්නේ කොහොමද කියල පෙන්නේ නෑ, අපිම හොඳින් බලන්න ඕනේ.

අපි බස් එකේ වීදුරුව අයිනේ යද්දී බස් හෝල්ට් එකක නවත්තල තියෙද්දී තාප්පයක ගහල තියෙන පෝස්ටර් එකක් පෙනුනොත්, අපි තවත් හොඳින් බලනවා මොකක් ගැනද, කාගේ රූපයක් ද තියෙන්නේ, තැනක් වෙලාවක් තියේද වගේ ගොඩක් දේවල්.

ඔබ ටී වී එකේ ක්‍රිකට් තරඟයක් බලනවා නම්, ඔබට පේනවා ක්‍රීඩකයෝ සෙල්ලම් කරනවා, ඒත් ඔබ බලනවා, ලකුණු කීයද, විකට් කීයද, ඕවර් කීයද, රන් රේට් එක කීයද කියලා.

ඔබට පෙනීම සහ දැකීම මතු පිට අර්ථය තේරෙනවා ඇති. ඒත් වටින්නේ මතු පිට අර්ථය නෙමෙයි.

අපිට පෙනෙන දේවල් වල අපි නොදකින දේවල් ගොඩක් හැංගිලා තියෙනවා. අන්න ඒ දේවල් තේරුම් ගන්නේ නැතුව වැඩ කරාමයි අපි ගොඩක් වෙලාවට වැරදි කරා කියල ප්‍රශ්න වල පටලවෙන්නේ. අපි අමාරුවේ වැටෙන්නේ.

ඔබ හිතන්න ඔබ කාන්තාවක් නම්  බස් එකේ යද්දී ඔබට පේනවා ඔබ අසල ඉන්න පිරිමි ඔබේ දිහා හොඳට බලනවා කියලා.ඔබ පෙනෙන දේ ගණන් ගන්නේ නැතුව ඉන්නත් පුළුවන්. හැබැයි ඔබ දකින්න උත්සහ කරන්න ඒ පිරිමින්ගේ ඇසෙන්. ඇයි එච්චර බලන්නේ.

අන්න ඔබට එතකොට දකින්න ලැබෙයි ඔබේ ඇඳුමේ කොහේ හරි අඩු පාඩුවක් නිසා ඔවුන් හොඳට ඔබව රසවිඳිනවා කියලා. මෙතැනදී හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලලා තර්ක කරන්න එපා අපි අඳින්නේ අපිට ඕනේ විදියට වගේ මෝඩ කතා. උදාහරණයක් ගත්තේ හැමෝටම තේරෙන්න.

ඔබ පෙම්වතෙක් නම් ඔබට පේනවා ලඟකදී ඉඳන් ඔබේ පෙම්වතිය කතා කරන්නේ ඕනෙවට එපාවට බව. ඔබ දකින්න උත්සහ කරන්න ඇයගේ ඇසින්.

ඔබගේ යම් අඩු පාඩුවක් නිසා තමයි ඇය අනිවාර්යෙන්ම එහෙම කරන්නේ. මොකක්ද මගෙන් වුනු අඩු පාඩුව. ආපස්සට ගිහින් හිතල බලන්න. ඔබටම තේරෙයි මෙන්න මෙදා මේ සිද්ධිය නිසා ඇය ඉන්නේ හිත අමනාපයෙන්. අන්න ඔබට ගැටලුව තේරුනා. දැන් විසඳුම ඔබට භාරයි.

ඔබ පෙම්වතියක් නම් ඔබගේ පෙම්වතා මැදියම් රෑ වෙනකන් ෆේස්බුක් ඔන්ලයින් ඉන්නවා කියල ඔබට පෙනුනා. ඔබ දකින්න උත්සහ කරන්න ඔබගේ පෙම්වතාගේ ඇසෙන්.

මම ගියාමත් රෑ වෙනකන් ඔන්ලයින් ඉන්නේ ඇයි? වෙන අය එක්ක චැට් ද. චැට් නම් ඇයි මම ඉද්දි වෙන අය ඕනේ වෙන්නේ. මෙහෙම හිතුවම ඔබටම තේරෙයි කොහෙද ගැටලුව සහ මොකක්ද විසඳුම කියලා.

ඔබට පේනවා නම් ඔබගේ හොඳම යහළුවට විතරක් කියපු රහස් ඔබගේ අනිත් යහළුවන් නුත් දන්නවා කියලා, ඔබ දකින්න උත්සහ කරන්න ඇත්තටම මොකක්ද වෙන්න ඇත්තේ කියලා. ඔබ ඒ රහස් කිව්වේ ඔබේ හොඳම යාලුවට විතරයි නම්, වෙන කවුරුවත්ම ඒ දේවල් දන්නෙත් නැත්නම් අනිත් යාලුවන්ට ඒවා කියල තියෙන්නේ ඔබේ හොඳම යහළුවා ම තමයි. එතනින් එහාට ඔබේ තීරණයක්.

ඔබ ඔබේ හිතවතා එක්ක මොකක් හෝ දෙකට අමනාප වුනාම ඔහු ඒ කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව හොඳින් හිනා වෙලා ජොලියේ කල් ගත කරනවා නම් ඔබට දකින්න හැකියාව තියෙන්න ඕනේ ඔබේ හිතවතා ඔබේ අමනාප වීම ගැන ගණන් ගන්නේ නැති බව. ඔහුට ඔබ හිටියත් එකයි නැතත් එකයි බව.

ඔබ කවුරුන් හෝ එක්ක ප්‍රශ්නයක් කතා කරලා විසඳගන්න උත්සහ කරද්දී ඔහු ඒකට සහයෝගය දෙන්නේ නැතුව ප්‍රශ්නය තවත් අවුල් වෙන විදියට කටයුතු කරනවා නම් ඔහුට ඒ ප්‍රශ්නය විසඳගන්න අවශ්‍ය නැති බව. එහෙම අවශ්‍ය නැති වෙන්න හේතු තියෙන්නත් ඕනේ කියලා ඔබට තේරෙන්න ඕනේ.

මෙහෙම මෙහෙම ඕනේ තරම් උදාහරණ දෙන්න පුළුවන්. ඒත් එක දෙයක් හරියටම කියන්න පුළුවන්.
අපි පෙනෙන දේ ට කැමතියි දේවල් දකින්න උත්සහ කරනවට වඩා. මොකද දකින්න උත්සහ කිරීමෙන් ඇත්ත එලියට එනවා, අපි ඇත්තට කැමති නෑ.

අපිට ඕනේ මේ තාවකාලික රැවටීමේ ආසාවෙන් රැවටෙන්න.

ඔබේ පෙම්වතා ඔබව රවට්ටන බව තේරුනත් ඔබ ආසාවෙන් රැවටෙන්නේ ඔබට ඒ සත්‍යයට වඩා ඔබගේ පෙම්වතා ගෙන් ලැබෙන උණුහුමට ඔබ කැමති නිසා. ඒ නිසාම ඔබ ඔහුගේ සත්‍ය දකින්න උත්සහ කරන්නේවත් නෑ. මොකද ඔබම දන්නවා උත්සහ කරොත් සත්‍ය ඔබට දකින්න ලැබෙනවා කියලා. ඔබ ඒ සත්‍යට කැමති නෑ.

ඒ නිසා ඔබම ඔබව රවට්ටගන්නවා.

පෙනෙන දේ සහ දකින දේ කියන්නේ සම්පූර්ණ අන්ත දෙකක්.

No comments:

Post a Comment