Sunday, October 13, 2019

නිවනට අඩිය තියන්නේ කොහොමද 2


තිත් ටික එකින් එක මකා ගත්ත නම් නිවන් දකිනවා නම් අපි මේ සංසාරයේ ඉපදෙන්න කලින්ම නිවන් දැකල නේද?

මේ ප්‍රශ්නය මතු වෙන නිසයි මේ රූප වල තිත් මකන්නේ නැතුව රතු පාටින් වෙනස් කරේ.

මොකද ඔබ මේ සංසාරයේ ලබපු හැම අත්දැකීමක්ම, හැම භවයකම ඔබට නිවනට අවශ්‍ය වෙනවා.

ඔබ ඒ ලබපු සියලු අත්දැකීම් අනුව තමයි ඔබගේ ප්‍රඥාව පහල වෙන්නේ.

අපි ඒ ගැන කලින් කතා කරා මිනිස්සු වෙනස් ඇයි කියන ලිපියෙන්.

ඔබ මේ සංසාරයේ ඉපදුනේ ඔබගේ අකුසල කාර්ම නිසා. එහෙනම් ඔබමයි මේ අකුසල කර්ම නැති කරගෙන මේ සංසාරය ඉවර කරගන්න ඕනේ.

ඔබගේ ප්‍රඥාව නිවනට අත්‍යවශ්‍යම දේයි. ප්‍රඥාව නැති කිසිම කෙනෙක්ට නිවනට යන මාර්ගය දකින්නවත් බෑ.

ඒ නිසා ඔබ දැන් ඉපදිලා මේ දුක් විඳින සංසාරය ඉවරයක් කරගන්න නම් මේ සංසාරය තුලම ලබන අත්දැකීම් ඕනේ වෙනවා.

ඒ නිසයි තිත් රතු පාට වුනේ මැකිලා යන්නේ නැතුව.

ඔබ මේ ඇලීම් ඇති කරගත්තේ නොදැන, ඒත් ඔබ මේ තිත් අවබෝධයෙන් වෙනස් කරගන්නවා ඔබගේ අත්දැකීම් තුලින් ලබාගන්නා ප්‍රඥාවට.

රතු පාට තිත් සම්පූර්ණ වුනු දවසට ඔබ නිවන් දකියි.

කළු පාට තිත් එකක් හරි තියෙන තාක් කල් ඔබ මේ සංසාරයේ ඉඳියි.

මේක එක පාරට වෙන දෙයක් නෙමෙයි.

උදාහරණයක් විදියට ඔබ ජීවිතේ ඉපදුනු දවසේ ඉඳන් අද වෙනකන් ඇඳපු ඇඳුම් ටික කොහෙද කියල ඇහුවොත් ඔබට දෙන්න උත්තරයක් නෑ නේද?

නිවනට යාම හරියට උපතේ ඉඳන් මේ වෙනකන් ඇඳපු ඇඳුම් ඔක්කොම ආයේ හොයාගෙන එකින් එක පුච්චලා දානවා වගේ වැඩක්.

අපේ පරණ ඇඳුම් අපි කොහේ තියෙනවද කියලා දන්නේ නෑ, අපිට වැඩකුත් නෑ වගේ තමයි අපේ මේ සසරට අලවන දේවල්නුත් තියෙන්නේ. ඒවා කොහේ තියෙනවද, තිබ්බත් එකයි නැතත් එකයි ගානට අපි ඉන්නවා.

එහෙනම් මතක තියාගන්න ඒ ඇඳුම් එහෙමම තියෙනකන් ඔබට නිවනක් නෑ. එකින් එක එක කොනකින් පටන් අරන් පුච්ච පුච්ච ගිහින් අන්තිම ඇඳුමත් පිච්චුව දාට ඔබට නිවන ලැබෙයි.

රතු පාට තිත් වලට වෙනස් වේවි වේවි ඇවිත් එක පාරට ලැබෙන මොකක් හරි විශේෂ දීමනාවක් නිසා ආයෙත් කළු පාට තිත් තිය තිය යන්නත් පුළුවන්.

හරියට නිකන් පරණ ඇඳුම් පුච්ච පුච්ච යද්දී තව ලස්සන අලුත්ම ඇඳුමක් අඩු ගානට තියෙනවා දැකල ඒක අරන් අඳිනවා වගේ.

ඒ නිසයි මේ ක්‍රියාවලිය මෙහෙම කියනවා වගේ ලේසි පහසු දෙයක් නොවෙන්නේ.

අපි ඇලීම් වලින් අයින් වෙන්න හදද්දී තමයි අපිට වැඩියෙන්ම ලැබීම් තියෙන්නේ.

අපිට බෑ කියන්න බැරි දීමනා ලැබෙන්නේ අපි මේ ඇලීම් වලින් ගැලවෙන්න හදද්දියි.

අපි පස්සෙන් ගිහින් හොයපු දේවල් අපේ කකුල් දෙක ගාවටම එන්නේ ඒ නිසයි.

ඒ වෙලාවට ඒ දේවල් වලට අපි යටත් වුනොත්, අපි ආයෙත් එකතු කරගන්නේ කළු තිත්මයි.

හැබැයි අපි ශක්තිමත්ව රතු තිත් ම ගැන හිතුවොත් නිවන අපිට දුර දෙයක් නෙමෙයි.

අවසානයේ එක දෙයක් කිව යුතුයි.

කළු තිත් තිව්වේ ඔබමයි.

මේ කළු තිත් රතු තිත් කරගන්න ඕනෙත් ඔබමයි.

පලවෙනි පියවර තියන්නේ නැති තාක් කල්, ඔබ දිගටම ඉඩ තියෙන හැම තැනම තව තව කළු තිත් තිය තිය ඉඳියි.

තියන හැම කළු තිතක්ම ආයෙත් රතු තිතක් කරගන්න ඕනේ කියල හැම තිස්සෙම මතක තියාගන්න.

කළු තිත් තියන්න හරිම ලේසියි. ඒත් ඒවා රතු තිත් කරගන්න හරිම අමාරුයි.

ඔබ තියන සෑම කළු තිතක්ම ඔබව තව තවත් මේ භවයට අලවලා තියන තිත් බවත්, ඒ හැම තිතක්ම ඔබට තව තවත් මේ සංසාරයෙන් මිදෙන්න අමාරු කරවන, නිවනෙන් ඈත් කරවන තිතක් බවත් මතක තියාගන්න.

No comments:

Post a Comment