Tuesday, October 22, 2019

සත්‍යය දකින්න නම් ඔබ සත්‍යයවාදී වෙන්න


ඔබ සත්‍යවාදී ද?

ඔබ සත්‍යවාදී නම්, ඔබට මේ සමාජයේ යථාර්තය පේන්න පටන් ගන්නවා. ඔබ සත්‍යවාදී නැත්නම් ඔබත් මේ සමාජයේ බොරුවේ එක කොටසක් විතරයි.

හිතන්න, ඔබ ඇත්තටම අවංක කෙනෙක් ද?

ඔබ අනිත් අය එක්ක ගත කරන කාලය අවංකව ගත කරනවද?

ඔබ අනිත් අය එක්ක වැඩ කරනේ අවංකවමද?

උත්තරය ඔබ විසින්ම ඔබට දෙන්න.

ඔබ මේ සමාජයේ වැඩ කරද්දී ඔබට අනිත් අය එක්ක අවන්කවම ගනු දෙනු කරන්න බැරි අවස්ථා වැඩියි පුලුවන් අවස්ථා වලට වඩා. ඒ නිසාම ඔබ වංක වෙන එක පුරුද්දක් කරගෙන.

ඔබ අවංක වෙන්න ඕනේ තැනත් වංක වෙනවා, වංක වෙන්න ඕනේ තැනත් වංක වෙනවා.

ඔබට මේ සමාජයේ යථාර්තය නොපෙනෙන්නේ ඔබත් වැල යන අතට මැස්ස ගහන කෙනෙක් නිසයි.

ඔබ අවංකව, සත්‍යවාදී කෙනෙක් වුනොත් ඔබටම තේරෙයි මේ සමාජය කොච්චර බොරුවෙන් පිරුණු කපටි කමින් පිරුණු, අනිත් අයව මෝඩයට අන්දන, ඒ අයගේ අහින්සකමින් ප්‍රයෝජන ගන්න සමාජයක් ද කියලා.

හැබැයි ඔබට ඒක තේරෙන්නේ නැත්නම්, ඔබත් අයිති වෙන්නේ අන්න ඒ සමාජයටම තමයි. ඒ කියන්නේ ඒ සියලුම ලක්ෂණ ඔබ තුලත් තියෙනවා.

ඔබ සත්‍යවාදී නම් ඔබට මේ සමාජයේ ඉන්න බෑ. මොකද ඔබගේ අවංක කම සහ සත්‍යවාදී බව මේ සමාජය දකින්නේ පිස්සුවක් විදියට.

ඒ නිසාම ඔබගේ ඒ ලක්ෂණ වලින් ඔවුන් හොඳින් ප්‍රයෝජන ගන්නවා.

හිතන්න ඔබ කඩේකින් බඩුවක් ගන්න ගියත්, ඔබ දන්නවා මුදලාලි මොනවා හරි ඇහුවොත් ඒ අහන දේට දෙන්න ඕනේ ගලපලා මොන වගේ උත්තරයක්ද කියලා. ඒ උත්තරය ඇත්ත නෙමෙයි හැබැයි.

උදාහරණයක් විදියට, ඔබ දුර බැහැර ගමනක් ගිහින් මොනවා හරි ගන්න කඩේකට ගියොත්, මුදලාලි ඔබව දැකල නැති නිසා ඇහුවොත් මේ පැත්තේ නෙමෙයි නේද කියලා, ඔබ කියන්නේ නෑ, “ඔව් මම මේ පැත්තේ නෙමෙයි” කියල. මොකද ඔබට සැකයි මුදලාලි බාල බඩු දාල දෙයි කියලා. මොකද ඒ මේ සමාජයේ හැටි. ආයෙත් මේ කඩේ පැත්තේ එන කෙනෙක් නෙමෙයි නම්, විකුණගන්න බැරුව තියෙන බාල බඩු ටික ඒ කෙනාට දෙනවා. මොකද ආයෙත් එන්නේ නෑ නේ කඩේට. හැමදාම එන කෙනෙක්ට එහෙම දෙන්නත් බෑ, පාඩුවක් ගන්නත් බැරි නිසා.

ඉතින් ඔබ කියන්නේ බොරුවක්, මොකද ඇත්ත කිව්වොත් වෙන දේ දන්නා නිසා.

ඉතින් ඔබට මේ සමාජයේ යථාර්තය තේරෙන්නේ නෑ, මොකද ඔබත් ඒ බොරුවේම කොටස් කාරයෙක් නිසා.
හැබැයි ඔබ බොරු කියන්නේ නැති කෙනෙක් නම්, ඔබ කියනවා ඔව් මම මේ පැත්තේ නෙමෙයි කියල. 

එතකොට මුදලාලි අර බොරුව කරනවා. දැන් ඔබට තේරෙනවා මේ සමාජයේ ඇත්ත කියල ඉන්න බෑ කියලා. ඉතින් ඔබ තීරණය කරනවා ආයෙත් බොරුම කියන්න.

සරලව කිව්වොත්, මේ බොරුකාර සමාජයේ රැඳෙන්න නම් ඔබටත් බොරුකාරයෙක් වෙන්න වෙනවා.

ඔබ සත්‍යවාදී වුනොත් ඔබට මේ සමාජයේ යථාර්තය තේරෙයි. හැබැයි ඔබට මේ සමාජය ගැන කලකිරෙයි.
එහෙම වෙනවට ඔබ අකමැති නිසාත්, ඔබ මේ සමාජයේ ඇලි ඇලි රැඳිලා ඉන්න කැමති නිසාත්, ඔබත් ඒ සමාජයේ ක්‍රමයටම හුරු වෙලා ඒකම අනුගමනය කරගෙන ඉන්නවා.

ඉතින් ඔබ සත්‍යවාදී නම් ඔබට මේ සමාජයේ යථාර්තය වැටහෙයි, නැත්නම් ඔබත් සමාජයේ ම කොටසක් විදියට ඉදිරියට යයි.

No comments:

Post a Comment