Wednesday, October 2, 2019

කෙනෙක් ඉද්දි ඇයි තවත් කෙනෙක්ව ලං කරගන්න හදන්නේ?


ඔන්න ටිකක් වැදගත් මාතෘකාවක් කතා කරන්නයි මේ සුදානම.

මේ සමාජයේ හරිම සුලබ දෙයක් තමයි අනියම් සම්බන්ධතා කියන්නේ. කොච්චර සුලබ ද කියනවා නම් ඒකට නමකුත් දාල තියෙනවා “අනියම් සම්බන්ධතා” කියලා. සාමාන්‍යකරණයක් නිසයි ඕනෙම දෙකට නමක් ලැබෙන්නේ. එහෙනම් අපි කතා කරමු මේ අනියම් සම්බන්ධතා නැත්නම් එක්කෙනෙක් ඉන්දෙද්දී ඇයි තවත් කෙනෙක් ලං කරගන්නේ කියලා.

එකට අපිට කලින් කතා කරපු සම්බන්ධතා වෘත්තය ඕනේ වෙනවා පැහැදිලි කරගැනීම් වලට.



ඔබට මේ රූපයෙන් පෙන්නේ සම්බන්ධතා වෘත්තයේ පිටත වෘත්තය අයින් කරලා යහළුවන්, හොඳම යහළුවන් සහ පෙම්වතුන් කියන වෘත්ත විතරයි. මොකද මේ ගැන කතා කරද්දී අපිට වැදගත් වෙන්නේ මේ කොටස් තුන නිසා වැඩි වශයෙන්.

මුලින්ම මේ රුපයේ ඇතුලත වෘත්තය මැද කහ පාටින් ඉන්නේ ඔබේ පෙම්වතිය හෝ පෙම්වතා. (පහසුව සඳහා පෙම්වතිය කියලා ඉදිරියට සලකමු.)

ඒ ලඟින්ම ඉන්න සුදු පාට තරුව තමයි ඔබ. ඔබගේ පෙම්වතිය සහ ඔබ සතුටෙන් ප්‍රේමවන්තයින්ගේ වෘත්තය තුල ඉන්නවා.
හැබැයි අපි කලින් කතා කළා වගේ ඔබ සහ ඔබේ පෙම්වතිය අතර ප්‍රශ්න ඇති වෙනවා. ඔබ ඇයගේ අකමැති දේවල් ගැන කියලා ඇය වෙනස් කරන්නත්, ඇය ඔබගේ අකමැති දේවල් ගැන කියලා ඔබව වෙනස් කරන්නත් උත්සහ කරනවා.  මෙතැනදී දෙන්නා එකඟ නොවෙන කරුණු ගැන දෙන්න අතරේ ගැටුම් හට ගන්නවා. එක්කෝ ගැටුම් දුර දිග යැයි, නැත්නම් ඒවා අමතක කරලා දාල ඉස්සරහට යැයි.

මෙහෙම අමතක කරලා දාල ඉස්සරහට ගියාම සිද්ද වෙන්නේ වතුර යට ඔබන්න උත්සහ කරන රබර් බෝලෙට සිද්ද වෙන දේමයි. කවදකම හරි ආයෙත් උඩ වෙනවා. කොච්චර උත්සහ කරත් ආයෙත් උඩ එනවා. එතකොට හැබැයි උඩ එන්නේ නිකන්ම නෙමෙයි, ඔක්කොම සිද්ධීන් එකතු වෙලා මහා විශාල ප්‍රශ්නයක් විදියට. මොකද බැලුමක් වුනත් හුලන් පිරිලා පිරිලා බැරිම තැන පිපිරෙද්දී මහා සද්දයක් එක්ක පිපිරෙන්නේ හුලන් එකතු වුනු ප්‍රමානේ වැඩි වුන නිසා. හැබැයි දෙපාරක් තුන්පාරක් හුලන් පුම්බල යතුරු කට්ටකින් ඇනලා පිපිරෙව්වට අර සද්දේ එන්නේ නෑ.

ඉතින් හොඳම දේ තමයි ප්‍රශ්න අමතක කරලා යන්නේ නැතුව ප්‍රශ්න විසඳගෙන යන එක. නමුත් ඊටත් වඩා හොඳම දේ තමයි ප්‍රශ්න ඇති වෙන විදියට වැඩ කරන එක. ඒක නම් න්‍යායක් විතරක්ම නිසා (ප්‍රායෝගික නැති නිසා) අපි ඒ ගැන කතා නොකර ඉස්සරහට යමු.

දැන් හිතන්න ඔබ සහ ඔබේ පෙම්වතිය අතරේ ප්‍රශ්න ඇති වුනු හැම වෙලාවකම ඔබගේ ලකුණු පුවරුවෙන් ඇයට දීල තිබුණු ලකුණු එකක්වත් අඩු වෙලා නැද්ද? නෑ කියනවා නම් ඔබ කියන්නේ බොරුවක්. සමහර අවස්ථා වල සම්බන්ධෙ නවත්තන්න තරම් දුකක් තරහක් වේදනාවක් ඇති වෙලා නැද්ද? එහෙම හිතෙනවා කියන්නේ ලකුණු අඩු වීමක් නෙමෙයි නම් වෙන මොකක්ද? ඔබගේ පැත්තෙන් වගේම පෙමවතියගේ පැත්තෙනුත් එක එහෙමම තමයි. ඇයත් ඔබට දුන්නු ලකුණු එකින් එක අඩු කරනවා ඔබගේ හැසිරීම අනුව.

දැන් මෙහෙම හිතන්න. ඔබ ඔබගේ පෙම්වතියගේ යම් අඩු පාඩුවක් දකිනවා. උදාහරණයක් විදියට ඇය හරි ආසයි අර හිර වෙච්ච බඩ උඩට අඳින බොත්තම් පේලියක් තියෙන කලිසම අඳින්න. එත් ඔබ එකට කැමති නෑ. මොකද ඔබ දන්නවා එහෙම අඳින ගෑණු ළමයි දිහා සමාජය බලන්නේ වපර ඇහෙන්, ඒ නිසා ඔබ කැමති නෑ ඔබේ පෙම්වතිය දිහා කවුරුවත් එහෙම බලනවට. ඉතින් ඔබ මේක ඔබේ පෙම්වතියට කියනවා. නමුත් ඇය ඔබ කියන දේ අහන්නේ නෑ. ඇය දිගටම ඒක කරනවා. දැන් ඔබ හොඳින් කියල ඒ දේ සිද්ධ වුනේ නැති නිසා ඔබ ඔබගේ බලය පාවිච්චි කරලා ඇයට නීතියක් දානව මීට පස්සේ ඒ කලිසම් අඳින්න බෑ කියලා. ඔන්න පුතෝ පෙම්වතිය ඔබට දීල තිබුණු ලකුණක් අඩු කරා. මොකද ඇය කැමතියි. ඔබ අකමැතියි.

දැන් සිද්ද වෙන්නේ ගැටුමක්. ගැටුමක් ඇති වෙද්දීම ලකුණු කැපෙන එක සාමාන්‍ය දෙයක්. ඔබත් ඇයගේ ලකුණු කපුවා කියපු දේ නොකරපු නිසා, ඇයත් ඔබේ ලකුණු කැපුවා ඇය ආස දේට නීති දැම්ම නිසා.

දැන් සිද්ධ වෙන දේ අපි වෙනත් රූපයකින් තේරුම් ගමු.







දැන් මෙහෙම වෙද්දී මේ සිදුරෙන් කාන්දු වෙන ප්‍රමාණයට  අනුලෝම සමානුපාත විදියට උඩින් හැදෙනවා රික්තයක්. නැත්නම් හිඩැසක්.



මේ හිඩැස ඇති කරගන්නේ ඔබ දෙදෙනාගේම ක්‍රියාවෙන්. ඔබ ඒ කලිසම අන්දිනවට විරුද්ධ නොවුන නම් මෙහෙම වෙන්නෙත් නෑ, ඔබ කිව්වා දේ ඇය තේරුම් අරන් හැදුනනම් එහෙම වෙන්නෙත් නෑ. නමුත් ගැටුම නිසා ඔන්න දැන් හිඩැසක් ඇති වෙලා.




දැන් මේ හිඩැස කවදාවත් රික්තයක් විදියට එහෙම නැත්නම් හුලන් පිරිලා තියෙන්නේ නෑ. ඒ නිසා ඔබේ පෙම්වතිය දැන් මේ හිඩැස පුරවගන්න ක්‍රමයක් හොයනවා. වෙනත් විදියකට කිව්වොත් ඇය දැන් මේ ගැටුම් නිසා හිතේ දුකින් ඉන්න නිසා, ඇය මේ දුක කියන්න කෙනෙක් හොයනවා.

මෙන්න මෙතැනදී ආදර වෘත්තයට ලඟින් ඊළඟට ඉන්න හොඳම යාලුවන්ගේ වෘත්තයේ කෙනෙක් ඉදිරිපත් වෙනවා. මේ වගේ අවස්තාවක ඔබේ පෙම්වතිය හොයන්නේ ගැහැණු කෙනෙක් නෙමෙයි, පිරිමි කෙනෙක්. මොකද ඔබෙන් ඇති වෙන හිඩැස පුරවන්න පුළුවන් තවත් පිරිමි කෙනෙක්ටම විතරක් නිසා.

ඔබගේ පෙම්වතියට හොඳම යහළුවෙක් විදියට පිරිමි යාලුවෙක් නැත්නම් ඇය ඊළඟ වෘත්තය වන යහළුවන් අතරින් පිරිමි යහළුවෙක් තමන්ගේ හොඳම යාළුවා බවට උසස් කරගෙන ඔහුගෙන් මේ රික්තය පුරවගන්න උත්සහ කරනවා. ඇය එහෙම නොකරත් ඇයගේ වෙනස් වීම අනුව කෙනෙක් ඉදිරිපත් වෙලා ඒ අවස්තාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්. ඔහුම ඉදිරිපත් වෙයි, එහෙමත් නැත්නම් ඔබගේ පෙම්වතිය ආරාධනා කරනවා. කොහොමින් කොහොම හරි ඔබගේ පෙම්වතිය ගේ දුක අහන්න කෙනෙක් ඉදිරිපත් වෙනවා.
පහල රූපයෙන් ඒ බව පෙන්නුම් කරනවා.




දැන් මේ කහ පාටින් ඉන්න හොඳම යාලුවා ඔබගේ ආදර වෘත්තය සමීපයේම ඉන්න කෙනෙක් බවට පත් වෙලා. ඔබ දෙදෙනාගේම වරදින්.

ඔන්න පුතෝ පරිස්සම් වෙන්න ඕනේ වෙලාව.

දැන් ඔබ කරන හැම ගොන් වැඩක් නිස්සම, ඇය හිත රිද්ද ගන්න හැම වතාවක් පාසාම ඔබ ටිකෙන් ටික ඈතට යනවා වගේම අර හොඳම යාළුවා ටික ටික ලඟට එනවා.

ඔබ සෙන්ටිමීටරයක් ඈතට ගියොත් හොඳම යාළුවා සෙන්ටිමීටරයක් ලඟට එනවා. ඔබ ඈත් වෙන දුරට අනුලෝම සමානුපාතිකව ඇයගේ හොඳම යහළුවා ඇයට ලං වෙනවා.


මෙහෙම වෙන්නත් පුළුවන්







අවසානයේ ඔබ ඇයගේ ආදර වෘත්තයෙන් එලියට විසි වෙද්දී ඇයගේ හොඳම පිරිමි යහළුවා ඇයගේ අලුත් ආදර වෘත්තය තමන්ගේ කරගන්නවා.

නමුත් අනියම් සම්බන්ධතාවයක් කියන්නේ මේක නෙමෙයිනේ.

ඔව්. අනියම් සම්බන්ධතාවයක් කියන්නේ මේක නෙමෙයි. ඒත් මේ දේ තේරුම් නොගෙන ඒ මාතෘකාව කතා කරන්න බැරි නිසයි මුලින් මේ දේ කියල ඊළඟ ලිපියෙන් ඒ ගැන කතා කරන්න මාර්ගය හදාගත්තේ. ඒ නිසාමයි මේ ලිපියේ මාතෘකාව අනියම් සම්බන්ධතා කියලා නම් කලේ නැත්තෙත්.

මීළඟ ලිපියෙන් හමුවෙමු.

No comments:

Post a Comment