Wednesday, October 16, 2019

අපි දකින්නේ අපිට පෙන්නන දේ විතරයි.


කලින් අපි කතා කරා පෙනීම සහ දැකීම කියන්නේ දෙකක්, අපි පෙනෙන දේවල් දකින්න උත්සහ කරොත් අපිට සත්‍ය දකින්න ලැබෙනවා කියලා.

මේ ඊට ටිකක් ලඟින් යන වෙනත් කතාවක්.

ඔබ දන්නවද හසුරවනවා කියන වචනයේ තේරුම..?

හසුරවනවා කියන්නේ කෙනෙක් හෝ දෙයක් තමන්ගේ අභිමතය අනුව තවත් කෙනෙක් හෝ දෙයක් මෙහයවීම.

අපි මෙහෙම හිතමු, ඔබ පොඩි කාලේ ඔබේ දෙමව්පියන් ඔබව හසුරවනවා. මොකද ඔබට තාමත් හරි වැරැද්ද තේරෙන්නේ නැති නිසා.

ඔබ ඉගෙන ගන්න කාලයේ ඔබේ ගුරුවරු ඔබව හසුරවනවා. මොකද ඔවුන් තමයි දන්නේ ඔබ කොහොමද වැඩ කරන්න ඕනේ ඒ දේවල් ඉගෙන ගන්න කියලා.

ඉතින් අපිට හසුරවනවා කියන්නේ මහා අමුතු දෙයක් නෙමෙයි.

හැබැයි ඔබ උසස් පෙළින් පස්සේ කවුරුවත් ඔබව හසුරවන්න හදන්නේ නෑ. මොකද ඔබ වැඩිහිටියෙක් නිසා ඒ වෙද්දී.

ඒත් ඔබ දන්නවද ඔබ වැඩියෙන්ම හැසිරවෙන්නේ ඔබ වැඩිහිටියෙක් වුනාට පස්සේ කියලා.
ඔබ ළමා කාලයේදී ඔබව හසුරවන්නේ ඔබේ යහපතට. ඔබට හරි දේ තේරුම් කරලා දෙන්න. වැරැද්ද පෙන්නලා දෙන්න.

ඒත් ඔබ වැඩිහිටියෙක් වුනාට පස්සේ ඔබව හසුරවන්නේ ඔබේ හොඳට නෙමෙයි අර හසුරවන කෙනාගේ හොඳට.

මෙහෙම ගමුකො.

ඔබ විශ්ව විද්‍යාලයට ගියාට පස්සේ ඔබව නවක වදය කියල හසුරවන්නේ ඔබේ හොඳට ද?

ඒකට උත්තරය ඔබම අත්දැකීමෙන් හෝ මේ දවස් වල ඇහෙන දේවල් වලින් දන්නව.

ඔබ මේ වගේ ඕනේ තරම් අවස්ථා වල දැන දැන හැසිරවෙනවා කියලා ඔබත් දන්නවා.

ඒත් මේ කතාව ඒ වගේ ඔබ දැන දැන හැසිරවෙන අවස්ථා ගැන නෙමෙයි.

ඔබ නොදැන හැබැයි අපි හැමෝම හැසිරවෙන අවස්ථා ගැනයි.

මේ දවස් වල ඡන්දේ නේ. ඔබ මේ දවස් වල අහන්නේ දකින්නේ හැමදේම ඔබට අස්සන සහ පෙන්නන දේවල් විතරයි.

කිසිම දේශපාලනයක් ගාවන්නේ නැතුව හැබැයි ඇත්ත කතාව කියන්නයි මේ උත්සාහය.
උදාහරණයක් කියන්නම්.

ඔබ දන්නවා රජයේ මාධ්‍ය වල කවදාවත් රජයේ අඩු පාඩුවක් නොකියන බව. ඔබ නරඹන්නේ රජයේ මාධ්‍ය විතරයි නම්, ඔබට ඔවුන් පෙන්නන්නේ රජයේ හොඳ විතරයි. එහෙනම් ඔබ දැනගන්නේ රජයේ හොඳ විතරයි. ඔබ රැවටිලා.

මේ පහු ගියා කාලයේ දැකපු හොඳම ඇන්දවීම කියන්නේ නැතුව බෑ මෙතැනදී.

ඔබට හිතෙයි පුද්ගලික මාධ්‍ය මධ්‍යස්ත වෙන්න උත්සහ කරනවා කියලා. ඒත් ඔබ රැවටිලා.

ඔවුන් ඔවුන්ගේ කැමැත්ත දක්වන අපේක්ෂකයා ව බලයට පත් කරන්න ඔබව අන්දවනවා.

ඔබට මතකද මහජන වේදිකාව කියලා සියලුම අපේක්ෂකයන් ගෙන්නවල එකම වේදිකාවක් උඩ ඔවුන්ගේ අදහස් පලකරන්න අවස්තාවක් දුන්න ලංකාවේ පලවෙනි වතාවට?

ඒ අවස්ථාවට ලංකාවේ ප්‍රධාන අපේක්ෂකයින් ගෙන් එක්කෙනෙක් හැර අනිත් අය හැමෝම වගේ ආවා.
මේ නිව්ස් එක ලංකාවේ ප්‍රධාන මිනිස්සු වැඩියෙන්ම බලන නාලිකා දෙකකට නිව්ස් එකක් වුනේ නෑ. අඩුම ගානේ එහෙම දෙයක් තිබුනා කියලවත් කිව්වේ නෑ. මොකද ඒ නාලිකා වලට බලයට එන්න ඕනේ අපේක්ෂකයා ඒ වේදිකාවට ආවේ නෑ. ඒ නිව්ස් එක කිව්වා නම් අර අපේක්ෂකයා ආවේ නෑ කියන්නත් වෙනවා. ඒක ඒ අපේක්ෂකයාගේ ප්‍රතිරූපයට හානියක් වෙන නිසා එහෙම දෙයක් තිබ්බෙම නැති ගානට හිටියා.

දැන් මේ නාලිකා බලන මිනිස්සු එහෙම දෙයක් ගැන දන්නෙවත් නෑ. හැමෝම මේවා ඉන්ටනෙට් එකෙන් හොයන්නෙත් නෑ, හොයන්න ගොඩක් මිනිස්සු දන්නෙත් නෑ. ඉතින් මිනිස්සු දන්නේ නෑ අර අනිත් වේදිකාවට ආපු හැමදාම නිව්ස් වල ඉඩක් නොලැබෙන අනිත් අපේක්ෂකයෝන්ගේ අදහස් මොනවද කියලා.

නාලිකාව හැමදාම නිව්ස් හදන්නේ එක අපේක්ෂකයෙක් ට වැඩි වාසි එන විදියට.

මේ දවස් වල බැලුවොත් පෙනෙයි, ඒ කලින් කියපු ලංකාවේ ප්‍රධාන නාලිකා 2 පැය භාගයේ නිව්ස් ටයිම් ලයින් එකෙන් විනාඩි 15 කට වැඩිය වෙන් කරන්නේ එක අපේක්ෂකයෙක් වෙනුවෙන්. ඒ තමන්ට බලයට ගෙන්න ඕනේ කෙනා වෙනුවෙන්. ඒ දෙන නිව්ස් වුනත් ඒ අපේක්ෂකයාගේ ප්‍රතිරූපය වැඩි වෙන විදියේ නිව්ස්.
අනිත් අපේක්ෂකයා ගැන දෙන නිව්ස් ටයිම් එක සාපේක්ෂව අඩුයි වගේම ඒ නිව්ස් වල තියෙන්නේ ඒ අපේක්ෂකයාගේ ප්‍රතිරූපය අඩු වෙන විදියේ නිව්ස්. (ඔහුගේ කට නිසා නැති වෙන ප්‍රතිරූපය වැනි ප්‍රත්‍යක්ෂය කරුණු වලින් භාහිරව).

උදාහරණයක් විදියට, ඒ නාලිකා විරුද්ධ අපේක්ෂකයා ගේ සහය දක්වන කණ්ඩායමේ මිනිස්සු අකමැති චරිත එක්ක අතට අත දෙන රූප රාමු, සමාජයේ විරෝධයට ලක් වුනු චරිත එක්ක ඒ අපේක්ෂකයා හිනා වෙලා කතා කරන රූප රාමු, ඒ අපේක්ෂකයාගේ රැස්වීමට ඇවිත් හිටපු පිරිස කරන ගොන් වැඩ වගේ ඒ අපේක්ෂයකයට හානි වෙන නිව්ස් දෙනවා වැඩියි.

මෙතන මේ විදියට පක්ෂග්‍රාහී විදියට වැඩ කරන එකෙන් කරන්නේ නිව්ස් බලන මධ්‍යස්ත මත ධාරීන් ව මෙහෙයවීම.

ඒ වගේමයි ගොඩක් වෙලාවට තමන් විරුද්ධ පුද්ගලයාට එරෙහිව කරන බොරු චෝදනා වලට ලොකු ප්‍රසිද්ධියක් ලබා දෙන අතරේ ඒ චෝදනාවට දෙන පිළිතුර නිව්ස් එකක් වෙන්නේ නෑ. එතකොට වෙන්නේ මිනිස්සු අර බොරු චෝදනාව ඇත්ත කියල පිළිඅරගෙන වැරදි මත ගොඩනගා ගන්න එක.

මේ හැමදේම වෙන්නේ අපි දකින්නේ අපිට පෙන්නන දේ විතරක් නිසා. මේ දේ තේරුම් ගන්න කෙනෙක් පෙන්නන දෙයින් තවත් ගැඹුරට දකින්න උත්සහ කරනවා.

උදාහරණයක් විදියට මේ උඩින් කිව්වා වගේ දේවල් තේරුම් යද්දී ඒ නාලිකාවෙන් කාටද පක්ෂව නිව්ස් කියන්නේ කියල තේරුම් අරන් එතන ඉඳන් මැද ඉඳන් හිතන්න උත්සහ කරන්න පුළුවන් කෙනෙක්ට.
ඒ වගේම එහෙම මුකුත් නැතුව ඒ නාලිකා කියන්නේ සම්පූර්ණ ඇත්ත කියල හිතාගෙන ඒ අනුව වැඩ කරන්නත් පුළුවන්.

ඔබ හිතන්න මේ ඡන්දයක් නිසා මෙහෙම නම්, මේ අපි හැමදාම බලන නාලිකා වලට අපේ ජීවිත වල කොච්චර බලපෑමක් කරන්න පුළුවන් ද?

හොඳ දේ නරක විදියට කිව්වමත් අපි පිළිගනියි, නරක දේ හොඳයි කිව්වමත් අපි පිළිගනියි.
මොකද අපි දකින්නේ අපිට පෙන්නන දේ විතරයි.

No comments:

Post a Comment