Wednesday, October 9, 2019

ශ්‍රී ලාංකිකයින් පමණක් දකින මානය


ශ්‍රී ලාංකික අපි අනිත් ජාතීන්ට වඩා කොහොමත් වෙනස් ජාතියක්. අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් විතරක් තියෙන අපි අනිත් ජාතීන්ට වැඩ හැමතිස්සෙම වැඩි දෙයක් දකිනවා.

අපි කලින් කතා කරා මේ විශ්වයේ තියෙන මාන හතර ගැන.

දිග, පළල, උස සහ කාලය.

හැබැයි ඔබ දන්නවද ශ්‍රී ලාංකිකයින් තවත් මානයක් දකිනවා කියලා.

ඒ තමයි හීන මානය.

ඔව් මේ ලෝකේ තියෙන වැඩිම හීනමානයක් සහිත රට තමයි ශ්‍රී ලංකාව. පිළිගන්නේ නෑ?
ඔප්පු කරන්නම්.

ඔබ දන්නවද සාමාන්‍යයෙන් රූපවාහිනී වැඩසටහනක් අතරේ වෙළඳ දැන්වීමක් ඵල කරගන්න කොච්චර නම් අය කරනවද කියලා? ඒ ඒ වෙලාව අනුව වෙනස් වුනත් (ප්‍රවෘත්ති, ජනප්‍රිය ටෙලිනාට්‍ය වගේ වැඩසටහන් අතරේ ඉතාමත් අධික අයකිරීම්) සාමාන්‍යයෙන් රූපවාහිනී වෙළඳ දැන්වීමක් ඵල කිරීම කියන්නේ ඉතා මිළෙන් අධික කාර්යයක්.

අපි සාමන්‍යය අගයක් විදියට කියමු තත්පර 30 ක දැන්වීමක් ඵල කරන්න රුපියල් ලක්ෂයක් යනවා කියලා. ඒ කියන්නේ එක තත්පරයක ගුවන් කාලය වටිනවා රුපියල් 3333ක්. ඔන්න ගුවන් කාලයේ සාමාන්‍ය වටිනාකම නික තේරුම් ගන්න කිව්වේ.

මේ දේ ඔලුවේ තියාගෙන අපි තවත් දෙයක් දිහා බලමු.

උදේ ට යනවා නේද ලෝකය ගැන එක එක දේවල් පෙන්නන වැඩසටහන්. ලෝකේ වටේ, මේක පුදුම ලෝකයක්, ලෝකයා සහ ලෝකයෝ වගේ එක එක නම් වලින්.

මේ වැඩසටහන් වල ඔබ දැකල තියේද පිටරට ඉන්න මේ සාමන්‍යය සුද්දෝ, සුද්දියෝ නැත්නම් අප්‍රිකන් අය එහෙමත් නැත්නම් අල්ලපු රටේ ඉන්දියන් අය අපේ සිංහල සින්දු කියන වීඩියෝ යනවා.

හරි උජාරුවෙන් මෙන්න පිට රට මිනිස්සු අපේ සිංහල සින්දු කියනවා කියල ඒවා ගුවන් කාලය වැය කරගෙන ප්‍රචාරය කරනවා. මේකේ වැරද්දක් නෑ නේ.

හැබැයි හිතන්න මෙහෙම.

සාමාන්‍යයෙන් සින්දුවක් විනාඩි 3ක් විතර. අපි හිතමු මේ වගේ සුද්දෙක් සිංහල සින්දුවක් කියන වීඩියෝ එකක් විනාඩි 2ක් යනවා කියලා ඒ වැඩසටහනේ. ඒ කියන්නේ තත්පර 120ක්. අපි බලමු ගුවන් කාලයේ වටිනාකම කොච්චරද කියලා.

රුපියල් ලක්ෂ හතරක්.

මෙතන නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ.

අපි මේ ගුවන් කාලය වැය කරගෙන ඇයි  සුද්දී සිංහල සින්දු කියන වීඩියෝ පෙන්නන්නේ කියන එකෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ රටේ ප්‍රධාන ගායිකාවක් නම් තව කමක් නෑ කියමු. මේ නිකන් සාමාන්‍යය ඒරට වල උන්නද මලාද නොදන්නා සුද්දියෙක්.

මෙහෙම ගමු.

අපි උදේ ඉඳන් රෑ වෙනකන් හින්දි සින්දුයි ඉංග්‍රීසි සින්දුයි කියා කියා ඉන්න ජාතියක්නේ.

දැන් අපි කියන හින්දි සින්දුවක් ඉන්ටනෙට් එකෙන් හොයලා ඉන්දියාවේ චැනල් වල දානවද?

අපි කියන ඉංග්‍රීසි සින්දුවක් ඇමරිකාවේ චැනල් එකක දානවද?

නෑ. නෑ නෙමෙයි කොහෙත්ම නෑ.

ඔතන තියෙන්නේ හීනමානය කියන මානසික තත්වය.

අපිට අනිත් රටවල අය අපිට වඩා ගොඩක් ඉහලින් ඉන්නේ කියන මානසිකත්වය නිසයි අපි ඒ අයගේ කිසිම වටිනාකමක් නැති දේවල් අපේ වටිනා ගුවන් කාලය නාස්ති කරගෙන දාන්නේ.

මේක තවත් තේරෙන්න උදාහරණයක් දෙන්නම්.

මෙතන දේශපාලනය නැතුව කියන දේ විතරක් දකින්න උත්සහ කරන්න.

අපේ රටේ ඉන්න ගොඩක් මිනිස්සු චන්දෙ දුන්නත් නොදුන්නත් කැමති ගරු කරන කෙනෙක් නේ මහින්ද රාජපක්ෂ කියන්නේ.

දැන් ඔන්න මහින්ද එනවා ගමට. මිනිස්සු මහින්ද එක්ක ෆොටෝ ගන්න පොර කන්නේ නැද්ද? ඒ අමාරුවෙන් ගත්තු ෆොටෝ එක රාමු කරලා තියාගන්නේ නැද්ද? රාමු කරන්නම ඕනේ නෑ, ෆේස්බුක් එකේම දැකල නැද්ද ප්‍රොෆයිල් පික්චර් එකට එහෙම ෆොටෝ දාල තියෙනවා මම මහින්දත් එක්ක ෆොටෝ එකක් ගැහුවා කියල පෙන්නන්න.

එතන දී මහින්ද කියන්නේ තමන්ට වැඩ ගවු ගානක් උඩින් ඉන්න, රටට යමක් කරපු, යුද්දේ ඉවර කරපු වගේ මොන මොනවා හරි හේතු නිසා මහින්ද ගැන ලොකුවට හිතන් ඉන්න කෙනෙක් ට මහින්ද එක්ක ගහන ෆොටෝ එකත් වටිනවා. මොකද තමන් ගොඩක් පහල ඉන්න කෙනෙක් බව තමන්ම දන්නා නිසා. මේකට වහල් බාවය කියලත් කියන්න බැරි නෑ. ඒත් අපි එච්චර දේවල් කතා නොකර ඉමු දේශපාලනය මෙතනට වැඩක් නැති නිසා.

දැන් අපි ගමු කමල්. ඔන්න කමල් පොරකාලා මහින්ද එකක් ෆොටෝ එකක් ගන්නවා. එක රාමු කරලා නැත්නම් ෆේස්බුක් දානවා.

හැබැයි මහින්ද ඒ කමල් එක්ක ගහපු ෆොටෝ එක රාමු කරන්න යනවද? ෆේස්බුක් දාන්න යනවද?
කොටින්ම මහින්ද ට සතේක වැඩක් තියේද?

නෑ.

මොකද මහින්ද දන්නවා මට ගැලපෙන තත්වෙක කෙනෙක් නෙමෙයි කියලා. හැබැයි කමල් ට ඒ ෆොටෝ එක සෑහෙන්න වටිනා දෙයක්.

අන්න එකයි කමල් ගේ හීන මානය.

ලංකාවේ මාධ්‍ය අපිව තව තවත් හීන මානික ජාතියක් කරන්න ලොකු උදව්වක් කරනවා.
කමල් ශ්‍රී ලංකාව වෙද්දී අනිත් රටවල් නිකන් මහින්ද වගේ.

අනිත් රටවල් අපිව සතේකට ගණන් නොගද්දී, අපිට ඒ රටවල කිසිම වැඩකට නැති එවුන් මෙහේ ප්‍රධාන නාලිකා වල පෙන්නන්නවා.

ඔන්න අපි දකින අනිත් ජාතීන් නොදකින මානය.

හීන මානය.

No comments:

Post a Comment