Saturday, October 12, 2019

ඔබේ ඇඳ අතිරිල්ලත් මේ වගේද?


හොඳින් මහන්සි වුනු දවසක හොඳින් දාඩිය දාපු දවසක පැයක් විතර හොඳින් නාගන්න එක මොන තරම් සනීපයක්ද?

ඔන්න ඉතින් හොඳින් නාගෙන හොඳට සබන් ගාල පැයක් විතර නාල ඉවර වෙලා අලුත් ඇඳුමක් එහෙම දාගෙන දැන් සනීපෙට නිදා ගන්න හදන්නේ.

ඇඳට ගියා විතරයි නිකන් මුහුදු වෙරළේ ඉන්නවා වගේ හන්ගීමක් නම් එන්නේ?
මේ අපි ගොඩක් දෙනෙක් ගේ කතාව.

අපි හොඳින් නානවා. හොඳින් සබන් ගාලා නානවා. හොඳට පිහිදගන්නවා. අලුත්ම ඇඳුමක් අඳිනවා. හැබැයි අපි නිදා ගන්නේ එකම වැලි පිරිච්ච කුණු පිරුණු ඇඳ ඇතිරිලි දාපු ඇඳේ,

ඉතින් අර නාපුව, ඇඟ පිරිසිදු කරගත්තුව නිකන් අපතේ යනවා.

අපි උදාහරණයක් ගමු.

ඔබට ඔබගේ වැරද්දක් හදාගන්න ඕනේ.

පාසල් යන කෙනෙක් නම් පලවෙනි පාර විභාගය අසමත් කෙනෙක් ට විභාගය සමත් වෙන්න ඕනේ. ඒත් එහෙම හිත හිත ඉන්නවා විතරයි. ඒ ගැන කිසිම ක්‍රියාවෙන් උත්සහයක් ගන්නේ නෑ. උපදේශන වලට ගිහින් නැත්නම් අනිත් ඇයගේ උපදෙස් අරන් හරි ඔලුව හදාගෙන එනවා, ඒත් කිසිම ක්‍රියාවෙන් උත්සහයක් ගන්නේ නෑ. ඉතින් හොඳින් නාගෙන ඇවිත් නිදාගන්නේ අර කුණු පිරිච්ච ඇඳේ නේද?

ඔබ ජීවිතේ වැරද්දක් විසඳගන්න ඔබ දරණ සමහර උත්සාහයන් නුත් මෙහෙමයි.

ඔබට උපදෙස් දෙන්න, හරි පාර පෙන්නන්න ඕනෑ තරම් අය හිටියත්, ඔබේ වරද නිවැරිදි කරගත යුත්තේ ඔබම මිස වෙන කිසිවෙකුත් නොවේ. කිසිම කෙනෙක්ට ඔබගේ ජීවිතය වෙනස් කර නොහැක. එය සිදු කල හැක්කේ ඔබටම පමණි.

ඔබ උපදෙස් ඇසීමට පමණක් දක්ෂයි නම් ඔබ කිසිදා වෙනස් වන්නේ නැත.

ඔබ අද උපදෙස් අසා, හෙට සිට නැවතත් සුපුරුදු පරිසරයේම හිඳියි නම් ඔබ නැවතත් නිදා ගන්නේ කුණු පිරුණු ඇඳේ ම මිස වෙන කොහිද?

ගැටලුව ඇති කරගත් මනසින් සහ පරිසරයෙන් ඒ ගැටලුවට විසඳුමක් කවදාවත් නොලැබෙන බව ඔබ තේරුම් ගත යුතුයි.

ඔබ ට සමාජය කලකිරී ඇත්නම් සමාජය හා ගැටී ගැටී කටයුතු කිරීම හොඳින් නාගත් පසු නැවත කුණු පිරුණු ඇඳෙහි වැතිරීම වැන්නකි.

ඔබ පළමු වර විභාගය අසමත් වී එසේ වීමට හේතුව නිසි පරිදි ඉගෙනුමට යොමු නොවීම බව තේරුම් ගැනීම හොඳින් පිරිසිදු වීමකි. නමුත් ඊළඟ වසරේත් ඔබ නිසි පරිදි උනන්දු නොවී පෙර වසරේ මෙන්ම උනන්දු නොවී වැඩ කටයුතු කරයි නම් ඔබ වැතිරෙන්නේ එකම කුණු පිරුණු ඇඳේ නොවේද?

ඔබට කෙනෙක් ඔබගේ යහපත පිණිස යම් උපදෙසක් දුන් විට හෝ, යම් අඩු පාඩුවක් පෙන්වූ විට, එය හොඳින් අසා සිට එයට හාත්පසින්ම විරුද්ධ හැසිරීමක් පෙන්නුම් කිරීම ද එසේම වේ.

ඔබගේ අඩු පාඩු ඔබම තේරුම් ගත විට එය නිවැරිදි කර ගන්නේ නැතුව කල් දැමීමද එසේම වේ.

සාරාංශයක් ලෙස, බොහෝ දෙනා හොඳින් සබන් ගා පිරිසිදු වන්නේ ද නැති ලෝකයක, ඔබ එසේ වේ නම් එය ඉතාමත් වටිනා පියවරකි. නමුත් එම පියවර සම්පූර්ණ වීමට නම් හොඳින් පිරිසිදු වීම මෙන්ම ඔබ ඉන්පසු වැතිරෙන ඇඳ ඇතිරිලිද පිරිසිදු විය යුතු බව හොඳින් අවබෝධ කරගන්න. එසේ නැත්නම් ඔබ පිරිසිදු වීම අපතේ යාමකි. එම කාලය ශ්‍රමය අපතේ යාමකි.

පිරිසිදු වීම වගේම පිරිසිදු ඇඳ ඇතිරිලිද එක සේ වැදගත් වේ.

No comments:

Post a Comment