Monday, September 30, 2019

සම්බධතා වෘත්තය


මෙම රුපයෙන් දැක්වෙන්නේ මිනිසාගේ සම්බධතා වෘත්තයයි.



එහි පිටත වෘත්තය හිතවතුන් ලෙසත්, දෙවන වෘත්තය යහළුවන් ලෙසත්, තුන් වන වෘත්තය හොඳම යහළුවන් ලෙසත් සහ ඇතුලත වෘත්තය ප්‍රේමවන්තයින් ලෙසත් කොටස් වලට බෙදේ.

මේ පිලිබන්දව මදක් සවිස්තරාත්මකව පැහැදිලි කරගනිමු.

පිටත වෘත්තය වන හිතවතුන් සිටිනා වෘත්තය යනු සෑම විටකම ප්‍රසාරණය වන වෘත්තයයි. හිතවතුන් යනු අපට එදිනෙදා ජීවිතයේ හමුවන, කතා බහ කරන සහ කතා බහ කිරීමට සිදු වන පිරිසයි. මොවුන් සමග විශේෂ ඇසුරක් නැති වුනත් ඔවුන් හා ඇසුරු කිරීමට සිදුවේ.

දෙවන වෘත්තය වන යහළුවන් සිටිනා වෘත්තය ද ප්‍රසාරණය වන වෘත්තයක් වුවත් එහි ප්‍රසාරණ වේගය ඉතාමත් සෙමින් සිදු වේ. එයට හේතුව අප යහළුවන් ලෙස තෝරාගන්නේ අපට ගැලපෙන යැයි සිතෙන, ගති ගුණ අප කැමති ආකාරයේ, අප කැමති ලක්ෂණ සහිත මෙන්ම ආශ්‍රයට ප්‍රියමනාප පිරිස පමණි.

නමුත් මෙහි විශේෂත්වය නම් අප අපගේ දෙවැනි වෘත්තය තුලට පැමිණීමට ඉඩ දෙන්නේ පිටත වෘත්තය තුල සිටිනා හිතවතුන්ගෙන්ම පිරිසකට වීමයි.

එය ඔබද මෙතෙක් සිතා නොමැති දෙයක් විය හැකිය.



ඔබ යහළුවන් කරගන්නේ ඔබගේ එදිනෙදා ජීවිතයේ හමු වූ හිතවතුන්ගෙන් ම යටත් පිරිසෙන් කෙනෙක් හෝ අයවලුන් පමණි. ඔබ හිතවතුන් ඇසුරු කරද්දී ඔවුන් පිළිබඳව ආකර්ෂණයක් ඇති වීම නිසාවෙන් ඔබ ඔවුන්ව යහළුවන් යන තනතුරට උසස් කරයි. එය ඔබගේ තීරණයක් වන අතර හිතවතුන් සෑම විටකම උත්සහ කරන්නේ යහළුවන් වීමටයි.

තුන්වන වෘත්තය නම් හොඳම යහළුවන් සිටිනා වෘත්තයයි. මේ වෘත්තයද ඔබ විසින් සපුරන්නේ ඔබගේ “යහළුවන්” සිටිනා වෘත්තය තුල සිටිනා අයවලුන්ගෙන් පමණි. ඔබගේ ජීවිතයට එක් වරම එක් මොහොතක හොඳම යහළුවෙක් පැමිණිය නොහැක. ඔබ හොඳම යහළුවෙක් කරගන්නේ ඔබගේ යහළුවන් අතාරින් අයෙකු හෝ කිහිපදෙනෙකුයි.

ඔබට යහළුවන් කෙතරම් සිටියත් හොඳම යහළුවන් සිටින්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයකි.

එයට හේතුව නම් ඔබ හොඳම යහළුවෙක් කරගැනීමේදී ඔබ විසින් සලකා බලන සුදුසුකම් සියලුම යාළුවන් හට නොමැති වීමයි. යම් හෙයිකින් ඔබ සොයනා සුදුසුකම් ඇති යහළුවෙක් හමුවුවහොත් ඔහු හෝ ඇය ඔබගේ හොඳම යහළුවා තනතුරට ඔබ විසින් උසස් කරනු ලබයි. එයද ඔබගේ තීරණයකි.

ඇතුලත වෘත්තය වන්නේ ප්‍රේමවන්තයින්ගේ වෘත්තයයි. මෙය තරමක් ඔබ පිළිගැනීමට අකමැති කරුණක් විය හැකි නමුත් සත්‍ය නම් මෙය බව පැහැදිලි කිරීම යුතුකමකි.

ඔබ ඔබගේ පෙම්වතා ලෙස තෝරාගන්නේ ඔබගේ හොඳම යහළුවන් අතරින් කෙනෙකු බව පැවසුවහොත්, ඔබ එක එල්ලේම මා සමග විරුද්ධ වනවාට කිසිදු සැකයක් නැත. නමුත් මෙය පැහැදිලි කරගන්නක් තෙක් ඉවසීමෙන් මෙම ලිපිය කියවන ලෙස ඉල්ලීමක් කරමි.

ඔබ බස්  රථයේදී හෝ කිසියම් ස්ථානයකදී ඔබ හට ලැබුණු දුරකථන අංකය ලියූ කොළ කෑල්ලක් ලබා දුන් අයෙකු හා ප්‍රේම කරයි නම් මේ කරුණ ඔබට අයත් වන්නේ නැත. ඔබ දුටු දිනයේම ඔබගේ දුරකථන අංකය ඉල්ලාගෙන ඔබ හා පෙම් බස් දෙඩු අයෙක් ඔබගේ වර්තමාන පෙම්වතා නම් ඔබට මේ කරුණ අයත් වන්නේ නැත. මා මෙහිදී කතා බහට ලක් කරන්නේ හොඳි න් ආශ්‍රය කර තමන්ගේ ආදර දිවිය කාත් සමග කුමන ගති ගුණ සහිත පුද්ගලයා සමග ගත කරන්නේද යන තීරණය කර එම දිවිය ඇරඹු අය පිළිබඳවයි.

මදක් සිතන්න. ඔබ ඔබගේ පෙම්වතාගෙන් බලාපොරොත්තු වන ගති ගුණ, ගති ලක්ෂණ හෝ ආකර්ෂණය ඔබ පාරේ යමින් සිටින කෙනෙකුගෙන් දුටුවත් ඔබ ඔහු පසු පස ගොස් “අනේ මම ඔයාට ආදරෙයි” කියා පවසා ඇත්ද?

ඒ වෙනුවට ඔබ කරන්නේ ඔහුට, ඔබ ඔහු පිළිබඳව උනන්දු බව එක් වරක් ඇඟවීම පමණි. මෙතැන් සිට එම අහිංසක තරුණයා ඔබ ගැන සිතමින් ඔබගේ සිත ගැනීමට උත්සහ කරයි. නමුත් ඔබ එක්වරම ඔහු ඔබගේ පෙම්වතා කරගන්නේද?

නැත. ඔබ ඔහුව ආශ්‍රය කිරීමට පටන් ගනියි. නමුත් වැඩි කල් හිතවතුන් ලෙස නොඉඳ ඔබගේ යහළුවෙක් බවට උසස් කරයි. එතැනදී ඔබ ඔහුව හොඳින් අධ්‍යනය කරයි. ඔහු ඔබගේ සුදුසුකම් ලැයිස්තුවේ සුදුසුකම් වැඩි ප්‍රමාණයක් සපුරයි නම් ඔබ ඔහුව හොඳම යහළුවා තනතුරට උසස් කරයි. (ඔබ ඔහුට පළමු ඉඟිය ලබා දෙන්නේ ඔහු තුල ඔබ සොයනා දේ ඇති නිසා බවට උපකල්පනය කරමින් නිසාවෙන්, ඔබ ඔහුව හිතවතා හෝ යහළුවා යන මට්ටමින් ඇත හැර දැමීමේ ඉඩ කඩ බොහොම අල්ප වේ. නමුත් එසේ නොවෙන අවස්ථාද නැතුව නොවේ. ඔබ පිටින් දුටු දේ ආශ්‍රය කරන අතරේදී වැරදි බව ඔබට වැටහී ගියහොත්)

ඔබ හොඳම යහළුවන් ලෙස ආශ්‍රය කරන අතර තුර ඔබට ඔහු ඉතාමත් ලං වේ. ඉතාමත් සමීප ආශ්‍රයක් පවතින විටදී බොහෝ විට පුද්ගලයන්ගේ සත්‍ය ස්වරුපය අපට එළිදැක්වේ.

නමුත් මෙහිදී තවත් දෙයක් සිදු වේ. එනම් ඔබ ඔහුව තමන්ගේ පෙම්වතා බවට පත් කරගන්න ඇති උවමනාව නිසා ඔහුව හොඳම යහළුවා තනතුරට උසස් කර පසු ඔබ ඔහුගේ වැරදි අඩු පාඩු දැකීම හදිසියේම නැවතී. ඔහු කරනා සෑම දෙයක්ම ඔබට නිවැරිදි මෙන්ම “කමක් නෑ පස්සේ හදාගන්න පුළුවන් නේ” තත්වයට පත්වේ. කෙසේනමුත් හොඳම යහළුවා මට්ටමෙන් ද ආපසු හැරුණු පිරිස් නැතුවා නොවේ. එයට හේතුව හොඳම යහළුවන් වී සිටීමේදී සත්‍ය ස්වරුපය මතු වීම නිසා ඔබට හැකියාවක් ලැබෙනවා ඔහු ඔබගේ බලාපොරොත්තු වන සහ බලාපොරොත්තු වුනු ගති ගුණ, ලක්ෂණ සහ ආකර්ෂණය සැබවින්ම පවතියි දැයි සිතා බැලීමට. නමුත් පෙර පැවසු පරිදි මෙහිදී ඔබගේ බලාපොරොත්තු එලෙසම ඉටු නොවුනත් ඍනාත්මක පැත්තට බොහෝ කරුණු තිබුනත් ඔබ නැවත හැරීමට අකමැති නිසා ඔබ ඔහුවම තෝරා ගනියි.

එයටද හේතුවක් තිබේ. එය මීළඟ ලිපියෙන් කතා කරමු.

ලිපිය අවසානයේ ඔබට යම් නිරීක්ෂණයක් සිදු කරන මෙන් ඉල්ලීමක් කරමි. ඔබ ඉහත සම්බන්ධතා වෘතය දෙස හොඳින් බලා මෙම ලිපියේ කරුණු අවබෝධ වුනි නම් ඔබට වැටහිය යුතුයි නාඳුනන කෙනෙකුගෙන් ඇරඹී හිතවතෙකු ලෙස වෘත්තයට ඇතුළු වී, යහළුවෙක් ලෙස සමීප වී, හොඳම යහළුවා ලෙස බලපෑම් කර හැකි අයුරින් සමීප වී අවසානයේ ඔබගේ ජීවිතයේ කොටසක් බවට පත් වීමට නම් ඔහුට මේ සියලු වෘත්තයන්හි සීමා මායිම් පසු කර පැමිණීමට සිදු වන බව.

නමුත් ඔහුට එම සීමා මායිම් පසු කිරීමට ඔබගේ අනුබල ලැබිය යුතු නොවේද? ඔහුට එය ඔහු පමාක් විසින් සිදු කර හැකි ක්‍රියාවක්ද?
මේ පිළිබඳව ද මීළඟ ලිපියෙන් සාකච්චා කරමු.

Sunday, September 29, 2019

කැමති නැද්ද, අකමැති නැද්ද?


මේ වචන අපි අපේ ජීවිතයේ ඕනෑ තරම් යොදාගෙන ඇති.

ඔබ දේශපාලනයට කැමතිද? - අනේ මම දේශපාලනයට කැමති නෑ.

ඔබ දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියේද? - දේශපාලනයට එන්න මගේ අකමැත්තක් නෑ.

මෙහි අර්ථය ඔබට අනුව එකක්ද නැත්නම් දෙකක්ද?

සත්‍ය ලෙසම මෙහි අර්ථ දෙකකි.

කැමති නෑ යනු කිසිදු කැමැත්තක් නැති බවයි. කැමතියි යනු කිසිදු අකමැත්තක් නැති බවයි. නමුත් මේ අකමැත්තක් නෑ යනු කුමක්ද? එහි අර්ථය කුමක්ද?




ඔබ පාසල් කාලයේ ඉගෙන ගෙන ඇති, ද්විත්ව නිශේධනය යනුවෙන් පාඩමක්. ද්විත්ව නිශේධනය යනු දෙවරක් නැත යන අර්ථය පැවසීමයි.

ගන්ධය යන පදයට ප්‍රධාන විශේෂණ පද දෙකක් ඇත. සුවඳ සහ ගඳ. සුවඳ යනු එහි ධානාත්මක ස්වරුපය වන අතර ගඳ යනු එහි ඍනාත්මක ස්වරූපයයි.



මෙහිදී ගඳ යනු ඍනාත්මක අර්ථය හැඟවීමට යොදා ගන්නා තනි පදයකි. වෙනත් ආකාරයකට එම අර්ථයම “සුවඳ නැති” ලෙස පැවසිය හැකිය.

ද්විත්ව නිශේධනය යනු, එවනි නැත යන අර්ථ ලබා දෙන තනි පදයක් නැවත “නැත” යන පදය සමග යොදාගනිමින් දෙවරක් නිශේධනය කිරීමයි.

එලෙස දෙවරක් නිශේධනය කල විට නැවත ලැබෙන්නේ ඇත යන අර්ථයම බව ද්විත්ව නිෂේධන නියමයෙන් පැවසේ.

සුවඳ නෑ = ගඳ යි


ගඳ නෑ = සුවඳයි

එබැවින් ඔබට කවුරුන් හෝ ද්විත්ව නිෂේධනයක් පැවසුවහොත් එහි අර්ථය ඔහු හෝ ඇය එම පවසන දෙයට කැමති නමුත් එය එක එල්ලේ කීමට නොහැකි යම් හේතුව ඇති බැවින් එසේ නොකියන බවයි. වෙනත් අයුරකින් පැවසුවහොත් “ශේප් න්‍යාය” භාවිතා කරන බවයි.

එය වටහා ගැනීම ඔබගේ බුද්ධිමත් කම වන අතර එය පැවසීම ඔහුගේ හෝ ඇයගේ කපටි කම බවද වටහා ගන්න.

මේ දිනවල පවතින දේශපාලන උණුසුම සමග ඔබට මෙවැනි කතා කොතෙක් නම් අහන්නට ලැබෙනු ඇත. බුද්ධිමත් වනවාද නැත්නම් ඔවුන්ගේ කපටි කම් වලට හසු වනවාද යන්න ඔබගේ තෝරාගැනීම මිසක සනාතන ධර්මය නොවේ.

ශේප් න්‍යාය Shape theory


අපේ ජීවිතයේ අපි වැඩියෙන්ම භාවිතා කරන්නේ මෙන්න මේ ශේප් න්‍යාය.

මුලින් බලමු මොකක්ද මේ ශේප් න්‍යාය කියන්නේ කියල.

ශේප් න්‍යාය කියන්නේ අවස්ථාවෙන් බේරෙන්න අපි සිද්ද වුනු දේ ඒ විදියටම නොකියා කරුණු හිතා මතා අඩු කරලා හෝ හංගලා කියන එකටයි.

උදාහරණයක් අරගමු.

සිද්ධිය 1 - ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට A හට X විසින් කොන්දේසි ඉදිරිපත් කිරීම.
කොන්දේසි -   බලයට පත් වූ විට හොඳම කැබිනට් අමාත්‍ය කම් අපිට ලබා දීම.
  අපේ වැඩ කටයුතු වලට ඇඟිලි නොගැසීම
  අපිට විරුද්ධව එන කිසිම පැමිණිල්ලක් විභාග නොකිරීම

මේ ගැන A ගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනවා.

මාධ්‍යවේදියා  - ඔබට ජනාධිපතිවරණයට සහය දෙන්න X කොන්දේසි දැම්මද?

A - කොන්දේසි කියල නෙමෙයි,  එයාල කිව්වා සහය දෙනවා එයාලටත් උදව්වක් කරන්න කියලා.

මාධ්‍යවේදියා - මොනවද ඒ උදව්?

A - දන්නේ නැද්ද ඔය පොඩි පොඩි දේවල්.

මේ සිද්ධියේදී ඇත්තටම කොන්දේසි දැම්ම කියලා A කිව්වොත් ඔහු දන්නවා ඔහුගේ දේශපාලනය එතැනින්ම ඉවරයි කියල. ඒ නිසා ඔහු ඒ ගැන කිසිවක් කියන්නේ නෑ. නමුත් සත්‍ය නම් ඔහු ඇත්තටම ඒ කොන්දේසි වලට එකඟ වෙලා සහය ගන්න පොරොන්දු වුනා කියන එක.

ඉතින් ඇයි මේ ශේප් න්‍යාය දාන්නේ?

ශේප් න්‍යාය දාන්නේ ඇත්ත කියල එක පැත්තක් නැති කරගන්න බැරි නිසා. දෙපැත්තම බේරා ගන්න ඕනේ වුනාම තමයි මේ ශේප් න්‍යාය යොදා ගන්නේ. ඒ වගේමයි එතැනදී බොරුවක් කියන්නෙත් නෑ. A ප්‍රතික්ෂේප කරන්නේ නෑ X කොන්දේසි දැම්මේ නෑ කියලා. නමුත් සත්‍ය ඇති සැටියෙන් කියන්නෙත් නෑ. අන්න ඒකටයි  ශේප් න්‍යාය කියල කියන්නේ.

තවත් සිද්ධියක් බලමු.

සිද්ධිය 2 - ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය රාත්‍රී 12 පසු වනතුරුත් ෆේස්බුක් ඔන්ලයින් පෙන්වීම. (පහසුව සඳහා පෙම්වතා ලෙස සලකමු)

හේතු -  ඔහු වෙනත් ගැහැණු ළමයෙක් එක්ක චැට් කිරීම.
  ඔහු වෙනත් ගැහැණු ළමයෙකු ට විශේෂ සැලකිල්ලක් දැක්වීම.
  ඔහු එම ගැහැණු ළමයා එක්ක වැඩ වෙලාවක් ගත කිරීමට ඇති කැමැත්ත.

මේ ගැන පෙම්වතිය ඒ පෙම්වතාගෙන් අහනවා.

පෙම්වතිය - ඇයි අයියේ (සුදු තාත්ති, සුදු අයියේ ඔබ කැමති වචනයක් යොදා ගන්න පුළුවන් ;) )ඔයා ගොඩක් රෑ වෙනකන් ඔන්ලයින් ඉන්නේ. මට නිදා ගන්න යනවා කියල ගිහින් ඇයි ඔන්ලයින් ඉන්නේ.

පෙම්වතා - මම ඔන්ලයින් හිටියේ නෑ නංගි. මම ඩේටා ඔන් එකේ තියාගෙන නිදා ගෙන තියෙන්නේ. ඒකයි ඔන්ලයින් පෙන්නලා තියෙන්නේ.

පෙම්වතිය - බොරු කියන්න එපා අයියේ. ඔයාට හැමදාම ඩේටා ඔන් එකේ තියාගෙන නින්ද යන්නේ නෑ නේ. මම දැන් දවස් ගානක් බලන් හිටියා. ලාස්ට් සීන් පෙන්නන්නේ රෑ 2 ට විතර. ඒ කියන්නේ ඔය රෑ 2ට ඕෆ්ලයින් ගිහින් කියන එකනේ.

පෙම්වතා - ඔව් ඉතින් ඇහැරුනාම ඩේටා ඕෆ් කරනවා. දැන් එකත් ප්‍රශ්නයක්ද? මට ඉස්සෙල්ල කියනවා මම ඔන්ලයින් පෙන්නන එක දකින්න තමුසේ මොකක්ද ඔන්ලයින් ඉඳන් කරේ කියල. තමුසේ කොල්ලෝ එක්ක චැට් කරනවද මහා රෑ වෙනකන් ඔන්ලයින් ඉඳගෙන?

පෙම්වතිය - අනේ නෑ අයියේ, මම උදේ අවදි වෙලා බලද්දී ලාස්ට් සීන් පෙන්නුවේ රෑ 2 ට නිසා ඇහුවේ. මම කවදාවත් ඔයාට එහෙම කරන්නේ නෑ.

පෙම්වතා - යනවා අයිසේ යන්න බොරු නොකිය. මම දන්නේ නැද්ද කෙල්ලොන්ගේ හැටි. මම යනකන් ඉඳල වෙන එවුන් එක්ක චැට් එක නේ. අර එදා මගේ යාළුවා කමල් එක්ක චැට් කරලා තිබුන හිතුවද කවදාවත් මට එතකොට මොනවා හිතෙනවා ඇත්ද කියල. දැන් එනවා මෙතන බණ කියන්න.

මෙන්න මේ සිද්ධිය ඔබගේ ජීවිත වල නැත්නම් ඔබගේ යාලුවෙක්ගෙ හරි ජීවිත වල සාමාන්‍ය සිදුවීමක් වෙන්න පුළුවන්.

දැන් මෙතන පිරිමි ළමයා ඇත්තටම වෙන ගැහැණු ළමයෙක් එක්ක චැට් කරන්නයි ඔන්ලයින් හිටියේ. ඉතින් එහෙනම් ඇයි ඒ බව කෙලින් කතා කරලා ඇත්ත කියන්න බැරි තමන්ගේ ගැහැණු ළමයට. පෙම්වතුන් අතරේ රහස් තියෙන්න බෑ නේ. එහෙනම් ඇයි මෙහෙම බොරු කියන්නේ.

එකට හේතුවක් තියෙනවා. ශේප් න්‍යාය කියන්නේ ඇත්ත ඇති සැටියෙන්ම කියන්නේ නැති එක විතරක් නෙමෙයි. තමන්ගේ වැරැද්ද වහගන්න අනිත් කෙනා කරපු ඊට සමාන දෙයක් අදාල ගැනීමත් ශේප් න්‍යාය යේම කොටසක්.

පෙම්වතා පෙම්වතියට චෝදනා කරාම මහා රෑ වෙනකන් ඉඳපු නිසයි ඔහු ඔන්ලයින් ඉන්නවා දැක්කේ, එහෙනම් පෙම්වතිය වෙන කොල්ලෝ එක්ක චැට් කරනවා ඇති කියලා, දැන් පෙම්වතියට මතක නෑ ඇයගේ පෙම්වතා රෑ 2 වෙනකන් ඔන්ලයින් ඉඳන් මොනවා කරාද අහන්න. මොනවා කරත් කමක් නෑ, දැන් ප්‍රශ්නේ ඇයගේ නිර්දෝෂිභාවය ඔප්පු කිරීම විතරයි. ඉතින් ඒක කරලා ඉවර වෙද්දී පෙම්වතියට මතයක්වත් නෑ තමන්ගේ පෙම්වතා රෑ 2 වෙනකන් ඔන්ලයින් ඉඳගෙන මොනවද කරේ කියල අහන්නවත්.
මේකට කියනවා “වඩා වැඩි බලධික  උපක්‍රමශීලී  න්‍යාය කියල”. (more powerful tactic theory)

කෙනෙක් ඉද්දි ඇයි තවත් කෙනෙක්ව ලං කරගන්න හදන්නේ? ඒ ගැන අපි තවත් ලිපියකින් කතා කරමු.

පාඩම් කිරීම සහ අවබෝධය


අපි හැමෝම පාසල් යන කාලයේ පාඩම් කරලා තියෙනවා. අපි පාඩම් කරන්න කැමති නොවුනත් අම්මලාගේ වදෙන් බේරෙන්න බැරි නිසා අපිට පාඩම් කරන්න සිද්ධ වෙනවා.

ඇයි අපි ඇත්තටම මෙහෙම අකමැත්තෙන් පාඩම් කරන්නේ?

ඒකට උත්තරය හොයන්න නම් මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනේ ඇයි ඇත්තටම අපි පාඩම් කරන්න හේතුව කියල.
සාමාන්‍යයෙන් මිනිස්සු දෙයක් පාඩම් කරන්නේ ඒ දේ ඒ පුද්ගලයට තේරෙන්නේ නැති නිසයි.

අපි සරල උදාහරණයක් අරගමු මේ කතාව පැහැදිලි කරගන්න.

අද කාලේ ගොඩක් දකින්න ලැබෙන දෙයක් තමයි ඉංග්‍රීසි භාෂා විභාග වල පාසල් ශිෂ්‍යයාගේ ඉඳන් ඉහලට කට පාඩමෙන් උත්තර ලිවීම.

ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්නයට දැන් සිසුන් උත්තර ලියන්නේ කට පාඩමෙන්. මේක සිසුන්ගේ වරදක් නෙමෙයි. මොකද ගුරුවරුන්මයි රචනා කට පාඩම් කරවන්නේ. සමහර ගුරුවරු රචනා 50ක් ඇතුලත් කරලා ටියුට් එකක් ගහල දීල හැම සතියෙම එක රචනාවක් කට පාදමින් ලියවනවා. මෙහෙම හැම සතියෙම රචනාවක් ලියවන එකෙන් ගුරුවරයා සාර්ථක ප්‍රතිඵල ලබනවා. මොකද ශිෂ්‍යයාට රචනා 50න් එකක් හරි විභාගයට එන්න තියෙන සම්භාවිතාව හරිම වැඩියි.

දැන් මේක අපි ටිකක් ගැඹුරින් තේරුම් ගමු.

රචනාවක් කට පාඩම් කරලා ලියන්න වෙන්නේ ඇයි?

හේතුව, ඒ ශිෂ්‍යයාට රචනාවක් ලියන්න අවශ්‍ය දැනුම නැති නිසා. රචනාව ලියන්න ඉංග්‍රීසි දැනුම වගේම මෘදු කුසලතා ත් තියෙන්න ඕනේ. වාක්‍යයක් ගොඩ නගා ගත්තට විතරක් මදි, ඒ වාක්‍ය ගලපලා හැඳින්වීමේ ඡේදයක් ඊට පස්සේ අවශ්‍ය කරුණු ගලපලා පක්ෂව හෝ විපක්ෂව කරුණු දැක්වීමේ ඡේද අවසානයේ නිගමන ඡේදය කියලා ගැලපීම් කරන්න ඕනේ. මොකද ලකුණු දෙද්දී මේ නිර්ණායක බලන නිසා.
දැන් ශිෂ්‍යයාට ඉංග්‍රීසි දැනුමත්, වාක්‍ය ගොඩ නැගීමේ හැකියාවත්, කලින් කියපු මෘදු කුසලතා නුත් තියෙනවා නම්, ඒ ශිෂ්‍යයාට රචනාවක් ලියන එක හරිම සරල දෙයක්.

එතකොට කිසිම දවසක රචනාවක් කට පාඩම් කරන්න ඕනේ වෙන්නේ නෑ.

නමුත් සිද්ද වෙන්නේ එක නෙමෙයි. මේ සියලු උගන්වනවට වඩා ලේසියි රචනාවක් කට පාඩම් කරන්න දෙන එක. කට පාඩම් කිරීම සිසුන්ගේ වැඩක්. එකට ගුරුවරයා වගකියන්නේ නෑ. ඉතින් ශිෂ්‍යයා රචනාව කට පාඩම් කරන්නේ නැත්නම් එක ගුරුවරයාගේ වැරැද්ද නෙමෙයි ශිෂ්‍යයාගේ වැරැද්ද.

ඒත් ඇත්තටම වරද කරන්නේ ගුරුවරයා නෙමෙයිද. ගුරුවරයාගේ වගකීම ශිෂ්‍යයාට වැරැද්ද පටවන එක නෙමෙයි. හරියට දැනුම ලබා දීම. ඒත් ගුරුවරයා ඒක නොකර කට පාඩම් කරන්න දීල එක බැරි වුනාම ශිෂ්‍යයාටම වරද පටවනවා.

කිසිම කෙනෙක් කැමති නෑ කට පාඩම් කරන්න. ඒ මිනිස් මොලය හැදුනු හැටි. නමුත් දැන් දැන් කට පාඩම් කියන්නේ සාමන්යකරණයක් බවට පත්වෙලා එක මිනි ස්වාභාවය බවට පත් වෙන තරමට සාමාන්‍ය දෙයක් වෙලා.

ඒ කතාව තේරෙන්නේ නැත්නම් මෙහෙම කියන්නම්.

ඔබ දන්නවද මිනිස්සුන්ට ළදරු අවධියෙන් පස්සේ කිරි බොන්න ජානමය හැකියාවක් තිබුනේ නෑ. ඒ කියන්නේ ළදරුවෙක් විදියට මව් කිරි බිව්වට පස්සේ මිනිස් ශරීරයෙන් ඊට ඇති හැකියාව නැති කරනවා. හැබැයි එඬේර යුගය එක්ක මිනිස්සු සත්ව කිරි බොන පටන් ගත්තා. නමුත් කිරි බිව්වා සැනින් අනිත් පැත්තට ඒ කිරි වමනය විදියට පිට වුනා. මොකද ශරීරය කිරි ජීරණය කරන්න අවශ්‍ය හැකියාව ළදරු අවදියෙන් පස්සේ නැති කරපු නිසා. නමුත් මිනිස්සු කිරි බොන එක නැවැත්තුවේ නෑ. මේ විදියට මිනිස්සු කිරි බොන එක දිගටම කරපු නිසා ශරීරය අර ළදරු අවධියෙන් පස්සේ ජීරණය නැති කරන වැඩේ නැවැත්තුවා.

ඊට පස්සේ ශරීරය ජානමය වශයෙන් ඕනෙම කිරි ජාතියක් බීමට ඔරොත්තු දෙන විදියට සැකසුනා.

මෙන්න මේ වගේ දෙයක් තමයි අද කට පාඩම් කිරීමට සිද්ධ වෙලා තියෙන්නේ.

අපි ඇත්තටම දෙයක් අවබෝධ කරගන්නවා නම් අපිට කිසිම දෙයක් කට පාඩම් කරන්න උවමනාවක් නෑ. හැබැයි අපිට දෙයක් අවබෝධ කරගන්න බැරි නම් අපිට ඒ දේ තේරුම් ගැනීමකින් තොරව කට පාඩමෙන් මතකයේ තියාගෙන් ඉන්න වෙනවා.

හැබැයි හිතල බලන්න වඩා වටින්නේ කට පාඩමද (කිසිම අවබෝධයකින් තොරව) නැත්නම් එකින් එක අවබෝධ කරගන්න එකද කියලා.
අද අපේ අධ්‍යාපන ක්‍රමය අපේ ශිෂ්‍ය පරම්පරාව හදන්නේ කිසිම දෙයක් තේරුම් අරගන්න පිරිසක් විදියට නෙමෙයි, කිසිම අවබෝධයකින් තොරව කට පාඩමෙන් විභාග සමත් වෙන පිරිසක් විදියට.

අවසානයේ මේකත් කියන්න ඕනේ.

සමහර අය ඉන්නවා කොච්චර කිව්වත් කට පාඩම් කරන්න බැරි අය. මේ අයට අවශ්‍ය අවබෝධයෙන් වැඩ කරන්න. නමුත් අවාසනවකට මේ පිරිස පාසලෙන් කොන් වෙන පිරිස. මොකද මේ අය ලේබල් වෙනවා ඉගෙන ගන්න බැරි අය විදියට.

ඇත්තටම ඒ ඉගෙන ගන්න බැරි අය නෙමෙයි. හොඳට ඉගෙන ගන්න පුළුවන් අය. ඉගෙනීම අවබෝධයෙන් කරන දෙයක් වුනා නම්.

Saturday, September 28, 2019

හොල්මන් කියන්නේ සිව් වෙනි මානයද?



මානයන් කියන්නේ ලංකාවේ අපි තාමත් අධ්‍යාපනයෙන් වත් හරි හැටි අත නොතියපු නමුත් බටහිර රටවල  පොඩි  දරුවාගේ පවා දන්නා දෙයක්. ඒක කියන්න ලජ්ජා වෙන්න වුනත් ඒ තමයි ඇත්ත.

අපි කවුරුත් හොඳින්  දන්නා මානය  තමයි  ත්‍රිමාණ ය. නමුත් මේ කියන්න යන්නේ ත්‍රිමාණය ගැන නෙමෙයි. ත්‍රිමාණ අපිට හුරු පුරුදු නමුහ් විස්තර කරන්න බැරි සිද්ධීන් තේරුම් ගන්න උත්සහ කිරීමක්.

ඒකට අපි මුලින් බලමු ත්‍රිමාණ කියන්නේ මොකක්ද කියලා.

ත්‍රිමාණ කියන්නේ මානයන් තුනක් කියන එකනේ. ඒ කියන්නේ දිග, පළල සහ උස කියන මානයන් තුන. අපිට ඕනෙම දෙයක දිග පළල සහ උස පේන නිසා අපි ත්‍රිමාණ ජීවින්.

පහල පින්තුරයෙන් ඒ බව පැහැදිලි කරගමු,





දැන් අපි බලමු ද්විමාන කියන්නේ මොකක්ද කියලා.


ද්විමාන කියන්නේ දිග සහ පළල කියන මානයන් දෙකට. මේකෙදි උස කියලා මානයක් නෑ.

පහත පින්තුරයෙන් එක පැහැදිලි කරගමු.




දැන් හිතන්න, ද්විමාන ජීවියෙක්ට ත්‍රිමාණ ජීවියෙක් කොහොම පෙනෙයිද?

ද්විමාන ජීවියෙක් කියන්නේ දිග සහ පළල විතරක් තියෙන උස කියල මානයක් ගැන අහලවත් නැති දන්නෙවත් නැති පැතලි ජීවියෙක්.

නමුත් ත්‍රිමාණ ජීවියෙක් කියන්නේ දිග, පළල සහ උස කියන මානයක් තුනම තියෙන ජීවියෙක්.

ද්විමාන ජීවියා පැතලි නිසා අපි මෙතැන් ඉඳන් ද්විමාන ජීවින්ව හඳුන්වමු පැතලි වාසීන් කියලා.


දැන් පැතලි වාසියෙක්ට කොහොමද ලෝකේ පෙනෙන්නේ කියලා අපි මුලින් තේරුම් අරන් ඉන්න ඕනේ.


උඩ තියෙන්නේ නිකන් ඇඳුනු ඉරක් නෙමෙයි. ඒ පැතලි වාසියෙක්ට ලෝකය පෙනෙන හැටි. මොකද පැතලි වැසියා දන්නේ දිග සහ පළල විතරයි.  උස කියල දෙයක් දන්නේ නැති නිසා ඔහුට පෙන්නේ පැතලි දෘෂ්ටියක් විතරයි.

දැන් අපි බලමු පැතලි වාසියෙක්ට තවත් පැතලි වැසියෙක් පෙන්නේ කොහොමද කියලා.


මේක ටිකක් තේරුම් ගන්න අමාරු නිසා අපි අපිට පුරුදු ත්‍රිමාණ දෘෂ්ටියෙන් බලමු.


මෙතන ඉන්නවා පැතලි වැසියන් 3 දෙනෙක්. දෙන්නෙක් ඉන්නේ ඔවුන්ගේ ගෙවල් ඇතුලේ. එක්කෙනෙක් ඉන්නවා ගෙයක් නැතුව එළියේ. අපිට ඔවුන්ව පෙනුනට ඔවුන්ට ඔවුන් එකිනෙකාව පෙන්නේ නෑ. ඇයි?

මොකද ඔවුන් පැතලි වැසියන් නිසා ඔවුන්ට උඩ කියල මානයක් නෑ.

අපේ නිල් පැතලි වැසියා ඉන්න කාමරේ ඇතුල අනිත් දෙන්නටම පෙන්නේ නෑ. කහ පැතලි වැසියා ඉන්න කාමරේ ඇතුල අනිත් දෙන්නටම පෙන්නේ නෑ වගේම කොළ පැතලි වැසියා එළියේ හිටියත් අනිත් දෙන්නටම ඔහුව පේන්නෙත් නෑ.

ඒත් අපිට එයාලව පේනවනේ.

ඔව්. මොකද අපි ත්‍රිමාණ ජීවින් නිසා. පැතලි වැසියන් දන්නේ නෑ උඩ කියල මානයක්. ඉතින් ඔවුන් කාමර ඇතුලේ කාටවත් පෙන්නේ නෑ කියල හිතුවත් ඇත්තටම ත්‍රිමාණ ජීවින් වෙන අපිට ඔවුන්  කරන හැමදේම පේනවා. අපිට හොරාට ඔවුන්ට මුකුත් කරන්න බෑ. නමුත් පැතලි වැසියන් එහෙම මානයක් දන්නේ නැති නිසා ඔවුන් හිතාගෙන ඉන්නවා මේ ලෝකේ තියෙන්නේ මානයන් දෙකයි කියලා.


දැන් හිතන්න ත්‍රිමාණ ජීවියෙක් මේ පැතලි වැසියන් ගෙන් එක්කෙනෙක්ට කතා කරනවා කියලා. අපි හිතමු  නිල් පැතලි වැසියට කතා කරා කියලා.



දැන් නිල් පැතලි වැසිය මුළු කාමරේම බැලුවත් එයාට කවුරුවත් පෙන්නේ නෑ. එයා බලනවා කොහෙන්ද මේ සද්දයක් ආවේ කියලා. ත්‍රිමාණ ජීවියා අයෙත් කතා කරනවා. නිල් පැතලි වැසිය ආයෙත් පුදුමෙන් මුළු කාමරේම සෝදිසි කරලා බැලුවත් කවුරුවත් නෑ. දැන් නිල් පැතලි වැසිය ට හරිම ප්‍රශ්නයක්. මෙයා දැන් බය වෙනවා. කොහෙන්ද මේ සද්දයක් ආවේ කියලා.
එහෙම වෙන්න හේතුව මොකක්ද?

නිල් පැතලි වැසිය උඩ කියන මානයක් දන්නේ නැති නිසා උඩින් එන සද්දය ඇහෙනවා විතරයි. හැබැයි උඩ කියල දෙයක් දන්නේ නැති නිසා සද්දේ එන්නේ කොහෙන්ද හිතාගන්න බෑ. තමන්ගේ කාමරේ වහගෙන ඉන්න පැතලි වැසියාට කාමරෙන් එන මේ සද්දේ හරිම ප්‍රහේලිකාවක්. ඉතින් බය වෙන එක අහන්නත් දෙයක්ද.

දැන් හිතන්නේ, අපි ත්‍රිමාණ ජීවින්. අපිට වඩා තවත් මානයක් හිමි ජීවින් හඳුන්වන්නේ සිව්මාන ජීවින් කියලා. අපි දන්නවා සිව් වෙනි මානයක් තියෙනවා කියලා. හැබැයි අපි දන්නේ නෑ ඒ මොකක්ද කියලා. එක දිග, පළල සහ උස කියන මානයන්ට වඩා  වෙනස් මොකක් හෝ මානයක්.

දැන් හිතන්නේ අපිට සිව් වෙනි මානයේ ඉඳන් කවුරු හරි කතා කරත් අපිට වෙන්නේ අර නිල්  පැතලි වැසියාට සිද්ධ වුනු දේම තමයි. අපි දන්නේ නෑ කොහෙන්ද සද්දේ එන්නේ කියලා. ඉතින් අපි බය වෙනවා. අපිට තේරුම් ගන්න බැරි හැමදේටම බය වෙන එක මිනිස්සුන්ගේ විදිය.

ඉතින් මේ වගේ දේවල් වලට මිනිස්සු හොල්මන් කියලා කියනවා වෙන්නත් පුළුවන්.