Friday, October 25, 2019

බොරු කියන්නේ ඇයි..?


මේ සමාජයේ ඉන්න නම් බොරු නොකියා බෑ.

එහෙම නේද?

නෑ. ඒ ඔබ නිදහසට හදාගන්න කරුණක් විතරයි.

මේ සමාජයේ බොරු නොකිය ඉන්න පුළුවන් ඕනේ හැටියේ. ඒත් ඔබ බොරු කියා කියා නිදහසට හේතුවක් දෙනවා මේ සමාජයේ ඉන්න නම් බොරු නොකිය බෑ කියලා.

ඔබ බෞද්ධයෙක් නම්, ඔබ ඒ කියන කතාව මහම මහා හරක් කතාවක් කියල හිතෙන්නේ නැද්ද?

සමාජයේ රැඳෙන්න බොරු කියනවා නම් ඔබ බෞද්ධයෙක් වෙන්නේ කොහොමද?

ඔබ බොරු කියන්නේ ඔබගේ වාසියට විතරයි. ඒක තමයි ඇත්ත.

ඔබ වැරද්දක් කරොත් ඒකෙන් බේරෙන්න ඔබ කියන්නේ බොරුවක්.

ඉතින් ඔබ එකෙන් බේරෙන්න බොරුවක් කියනවා නම් ඒ කියන්නේ ඔබ ඒ දේ වැරද්දක් බව දැන දැන නේ කරලා තියෙන්නේ. නැත්නම් ඒ වැරැද්දෙන් බේරෙන්න බොරු කියන්න ඕනේ නෑ නේ.

ඔන්න ඔබ ඒ දේ කරේ වැරද්දක් කියල නොදැන නම්, ඔබ ඒ දේ ගැන අහද්දී ඇත්තම කියයි. මම මෙන්න මෙහෙම කරා කියලා. මොකද ඔබ දන්නේ නෑ ඒක වැරද්දක් කියලා. ඊට පස්සේ ඒක වැරදියි කියල ඔබට වෙන කෙනෙක් තේරුම් කරලා දෙයි.

හැබැයි ඔබ ඒ ක්‍රියාව කරලා ඒ ගැන අහද්දී බොරු කියනවා කියන්නේ ඔබ ඒ දේ කරලා තියෙන්නේ වැරද්දක් බව දැනගෙනමයි. එහෙනම් ඉතින් ඔබ දැන දැන වැරැද්ද කරලා තියෙන්නේ. මෙහෙම කියන්න හේතුව ගොඩක් අය වරද්දත් කරලා, එකෙන් බේරෙන්න බොරුත් කියලා අන්තිමට කරන්නම දෙයක් නැති වුනාම කියනවා, මම ඒක කරේ වැරද්දක් කියල දන්නේ නැතුව, වැරද්දක් බව දන්නවා නම් කරන්නේ නෑ නේ කියල තර්ක කරන නිසා.

ඉතින් ඔබ වැරදි කරන්නේ නැත්නම්, බොරු කියන්න ඕනේ වෙන්නෙත් නෑ.

හැබැයි අපි බොරු කියන හැම අවස්ථාවකම වැරදි කරලා ඒවලින් බේරෙන්නම නෙමෙයි.

අපි සාධාරණ බොරු කියනවා.

මොනවද මේ සාධාරණ බොරු?

අනුන්ට හානියක් වෙන්නේ නැති බොරු සාධාරණ බොරු ලු. හි පුදුමයි මේ නිර්වචන ගැන. තමන් කරන බොරුවත් සාධාරණීයකරණය කරගන්න “බොරුව” ඉස්සරහට විශේෂණ පද දානවා.

අනුන්ට හානියක් වුනත් නැතත් බොරුව බොරුවම තමයි. අනුන්ට හානියක් වුනේ නැති වුනාට බොරු කියන හැමවෙලාවෙම ඔබට නම් හානියක් වෙනවා. ඉතින් ඔබ කියන බොරුව සාධාරණ වුනාට කර්මය නම් ඔබේ ඔය බොරු විශේෂණ පද ගණන් ගන්නේ නෑ. ඊට අදාළ විපාක ලැබෙයි. මොකද ඔබ ඔබවම රවට්ටගත්තට ඒක කර්මයට අදාළ නෑ.

සාධාරණ බොරු කියන දේ පිළිගන්න නම් සාධාරණ අපරාධ කියන දේත් පිළිගන්න ඕනේ.

මොකද මිනියක් මරණ ඕනෙම කෙනෙක්ට ඒ දේ කරන්න සාධාරණ හේතුවක් තියෙයි. එක්කෝ පුද්ගලික තරහක්, සල්ලි හොයන්න කොන්ත්‍රාත් එකක්, මේ මොකක් වුනත් ඒ මිනීමරුවාගේ පැත්තෙන් සාධාරණයි.
ඒ දේට එකඟයි නම් සාධාරණ බොරුත් පිළිගන්න පුළුවන්.

ආහ් මිනීමරන එකෙන් අනිත් කෙනාට හානියක් වෙනවනේ, සාධාරණ බොරුවෙන් එහෙම වෙන්නේ න නේ.
ඒ ඉතින් ඔබේ තර්කය නේ. ඒක නිකන් අර හාල්මැස්සෝ කෑවම පව් අඩුයි හරක් මස් කෑවම පව් වැඩියි වගේ කතාවක්. මෝඩ තර්කයක්.

බෞද්ධයෙක් නම් ඔබ, ඔබ මොන මොන විශේෂණ පද දැම්මත්, බොරුව බොරුවමයි. බොරුව සාධාරණ වෙන්නෙත් නෑ, අනුන්ට හානි නොවෙන බොරු වෙන්නෙත් නෑ.

ඔබ කලින් කියවන්න ඇති විහිළුව සහ බොරුව අතර සම්බන්ධය. එතන කියන බොරුවත් අපි විහිලුවට කිව්වත්, ඒත් බොරුවක්ම තමයි. ඔබ සිදු කරගන්න පවේ කිසිම වෙනසක් වෙන්නේ නෑ.

විහිලුවට කිව්වත්, සාධාරණ හේතුවකට කිව්වත්, මොකට කිව්වත්, බොරුව බොරුවමයි.

No comments:

Post a Comment