Monday, December 5, 2011

දේව්දාස් වයසට යයි...

            මාතෘකාව දැක්කම මේ මොකක් ගැන කියන්න යනවද කියල හිතෙනවා ඇති... ඇත්තටම මේ කියන්න යන්නේ අපි හැම කෙනාටම ජීවිතයේ වැදගත්ම දවස එහෙමත් නැත්නම් උපන් දිනය ගැනයි... දේව්දාස් ඊයේ 20 වන උපන් දිනය සැමරුවා... ජීවිතයෙන් 1/4 ගෙවුණ දවස ඊයේ දවසයි...

            දේව්දාස් කවදාවත් උපන් දිනය සමරන්න විශේෂ දෙයක් කළ කෙනෙක් නෙමෙයි... ඒ වගේම දේව්දාස් ට කවුරු සුභ පැතුවත්, කවුරු සුභ නොපතුවත් දේව්දාස් ට එහි කිසිම විශේෂයක් නෑ... මොකද උපන් දිනය දෙව්දාස්ට තවත් එක් දිනක් පමණයි...

            නමුත් මේ ලිපිය ලියන්නට එක් කාරණයක් හේතු වුණා... මෙන්න මේකයි කතාව... දේව්දාස් උපන් දිනය දවසේ වුණත් පරණ පුරුදු දින චරියාවම ගෙවලා රෑ 8 ට විතර මුහුණු පොත පැත්තේ ගියා... ආහ්හ්... කලින් කියන්න අමතක වුණා... දේව්දාස් කලින් දවසේ මුහුණු පොතෙන් දේව්දාස් ගේ උපන් දිනය මැකුවා... ඒක නිසා කිසිම උපන් දින සුභ පැතුමක් හෝ කිසිම විශේෂ දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මුහුණු පොතට ඇතුළු වුණේ...

            ඇතුළු වුණු ගමන්ම messages 2 ක තියනවා කියල දැක්කා...  ගිහින් බැලුවා කවුද එවල තියෙන්නේ කියලා... එකක් එවල තිබුණේ කලින් ලිපියෙන් සඳහන් කළ "මුරණ්ඩු හිතුවක්කාරී"... අනික දේව්දාස් ට අහම්බෙන් හමු වුණු මුහුණු පොතේ යෙහෙළියකගෙන්... දැනට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ඈ දේව්දාස් ට උපන් දින සුභ පැතුම් එවල තිබුණා... නමුත් විශේෂත්වය ඇය උපන් දිනය මතක තියාගෙන ඉඳපු එක නෙමෙයි... ඇය උපන් දින සුභ පැතුම එවල තිබුණේ හරියටම ඊට කලින් දවසේ රාත්‍රී 12...

            මේ යෙහෙළිය දේව්දාස් ට අහම්බෙන් හමු වුණු කෙනෙක් වුණත්, දේව්දාස් ට ගොඩක් සමීප යෙහෙලියක් වුණා... බොහෝ දේවල් දේව්දාස් සමග කතා කරලා තියනවා... කොපමණ සමීප කෙනෙක් වුණත් දේව්දාස් හීනෙකින් හෝ මෙවැනි දෙයක් බලාපොරොත්තු වුණේ නම් නෑ...

            එය දේව්දාස් ට විශේෂ දෙයක් වන්නේ ඇයිදැයි ඔබට ගැටළුවක් ඇති... හේතුව... හේතුව මේකයි... දේව්දාස් උපන් දිනය දවසේ රාත්‍රී 12 ට අවංකවම සුභ පැතුමක් බලාපොරොත්තු වුණා... නමුත් ඒ දේව් ගේ පාරෝ ගෙනුයි... නමුත් ඉන් පැය 24 නොවෙයි, මේ ලිපිය ලියන විට පැය 45 පසු වී තිබුණත් පාරෝගෙන් තවමත් සුභ පැතුමක් නෑ...

            පාරෝගෙන් එවැන්නක් බලාපොරොත්තු වුණු දේව් කිසිම විටක මේ යෙහෙලියගෙන් මෙවැනි කැප වීමක් බලාපොරොත්තු වුණේ නෑ... දේව් මේකට කැපවීම කියන්නේ, දේව් හිතන විදියට මේක කැපවීමක් නිසා... මොකද නැත්නම් උපන් දිනය දවස ඇතුලත ඕනෙම වෙලාවක සුභ පතන්න පුළුවන් කම තිබුණත්, 12 වෙනකන් ඇහැරිලා ඉඳල සුභ පතන ඒක දේව් හිතන්නේ කැපවීමක් කියලයි...

           ඇත්තටම මේ ලිපියෙන් දේව්දාස් කිසිම දුක ප්‍රකාශ කිරීමක් හෝ වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ... දේව්දාස් ට හිතුණා මේ ලිපිය ලියන්න... ඉතින් ලිව්වා... බයිලයක් කියල හිතෙනවනම් සමාවෙන්න...

දේව්දාස්...

Thursday, December 1, 2011

දේව්දාස් ගෙන් මුරණ්ඩු හිතුවක්කාරියෙක්ට...

               ටික දවසක් නිහඬව ඉඳල මේ වගේ ලිපියක් පල කරන්න වෙයි කියල දේව්දාස් කීයටවත් හිතුවේ නෑ... වැඩි වැල් වටාරම් ඕනේ නෑ... සිද්ධ වුණු දේ කියන්නම්...

            දේව්දාස් ට හොඳ යාළුවෙක් හිටියා... මෙයා ගැහැණු ළමයෙක්... ටිකක් මුරණ්ඩු හිතුවක්කාර කෙනෙක්... දේව්දාස් නුයි මෙයායි යාළුවො වුණේ මීට මාස 6 කට විතර කලින් මුහුණු පොතෙනුයි... පස්සේ ගොඩක් ලඟින් ඇසුරු කරන යාළුවෙක් වුණා... ගැහැණු ළමයෙක් වුණත් දේව්දාස් පිරිමි ළමයෙක් වුණත් යාළුකමට ඒ කිසි දෙයක් බලපෑවේ නෑ...

            කොච්චර මුරණ්ඩු වුණත්, හිතුවක්කාර වුණත් මෙයා දේව්දාස් කියන දේ ඇහුවා... වැරද්දක් කරන කොට ඒක පෙන්නලා දුන්නම ඒ දේ හදා ගන්න තරම් නිහතමානි වුණා... දේව්දාස් මෙයාව හම්බවෙලත් තියනවා... මේ ලිපිය ලියන්න හේතුව වුණේ, මේ හිතුවක්කාරී දේව්දාස් ගේ හිත රිද්දවපු නිසයි... මේකයි වුණේ...

            දේව්දාස් ගේ අම්මට මේ හිතුවක්කාරිගේ අම්මව හම්බවෙන්න ඕනේ කිව්වා මොනවද වැඩකට... ඉතින් දේව්දාස් අම්මයි තාත්තයි එක්ක දැන් ටිකකට කලින්, දන්නා කියන විස්තර හොයාගෙන ගියා මෙයාගේ ගෙදර හොයාගෙන... ගෙදර එනවා කියල නොකිව්වේ පුදුම කරවන්න හිතාගෙනයි...

           එත දේව්දාස් දන්න විස්තර මදි වුණා ගෙදර හොයා ගන්න... ඉතින් ඒ වෙලාවේ දේව්දාස් මෙයාට call එකක් අරන් කිව්වා "අපි දැන් ගෙදර එන ගමන්... දැන් ඉන්නේ ***** තැන... මෙතනින් එහාට එන්නේ කොහොමද" කියලා... එතකොට මෙයා ටිකක් කලබල වෙලා කිව්වා "ඉන්න මම තව ටිකකින් call එකක් ගන්නම්" කියලා...

           මේ වෙලාවේම මොකක්දෝ අවාසනාවකට දේව්දාස් ගේ phone එකේ battery ඒක බැස්සා... දැන් කරන්න දෙයකුත් නෑ... මේ number ඒක තියෙන්නේ දේව් ගේ phone එකේ විතරයි... දේව් තාත්තගේ phone ඒක අරන් දේව් ගේ සිම් ඒක දාල බලන හිටියා call ඒක එනකන්... විනාඩි ක් විතර හිටියා... ඒත් නෑ... ටිකකින් sms එකක් එනවා "අපි මේ *** ලගේ ගෙදර ඉන්නේ... එයාගේ බාප්පා හදිස්සියේම නැති වෙලා... අපි මේ එහෙ ඉන්නේ" කියලා...

            මේ වෙලාවේ දේව්දාස් ට ඇති වෙච්ච වේදනාව හිතා ගන්නවත් බැරි තරම්... වෙන මොහොකටවත් නෙමෙයි... ඒ කිව්වේ බොරු කියලා දැනුන නිසා... දේව් ට ඒක බොරු කියල හිතුනේ මොකද කියල ඔයාලා බලනවා ඇති... හිතන්න පොඩ්ඩක්... ඇයි එහෙනම් දේව් ට ටිකක් ඉන්න කියල විනාඩි 10 කට පස්සේ ඔය දේ කිව්වේ..? ඇයි ඔය දේ ඒ වෙලාවේම කිව්වේ නැත්තේ..? ඒක හිතල කිව්වා දෙයක් කියන්න ඒ දේම ඇති නේද..?

            දේව්දාස් ට ඒ වෙලාවේ හිතුනා ඇයි මෙච්චර දුරක් ආවේ කියලා... දේව් ලගේ ගෙදර ඉඳං මෙයාලගේ ගෙදරට එන්න ටිකක් නෙමෙයි ඇත්තටම ගොඩක් දුරයි... ඒ ආවෙත් වෙන දෙයකට නෙමෙයි දේව් ගේ අම්මට මෙයාගේ අම්මව හම්බවෙන්න ඕනේ කිව්වා නිසා... ඒත් දේව් ට හිතා ගන්න බැරි ඇයි මෙයා එහෙම දෙයක් කලේ කියලා... මෙයා කලේ බොරුවක් කියන ඒක දේව් හොඳටම දන්නවා... ඒත් මෙච්චර හොඳ යාළුවෙක් වෙලත් ඇයි එහෙම කලේ..?

           හේතු ඇති... ඒත් ඒ හේතු කියන්නේ නැතිව බොරුවක් කියපු එකට දේව් කවදාවත් සමාව දෙන්නේ නෑ... දේව් ට බොරු කියන අය පෙන්න බෑ... කොච්චර හොඳ යාළුවෙක් වුණත් බොරු කිව්වා නම් දේව් එයාව තවත් යාලු කමේ තියා ගන්නේ නෑ...

           දේව් දන්නවා මේ ලිපිය මේ මුරණ්ඩු හිතුවක්කාරිත් බලනවා කියලා... දේව් ට කියන්න ඕනේ වුණු හැම දේම මේකේ කියවිලා නෑ... මොකද මේ ලිපිය ලියන්නේ සැලසුම් කරලා නෙමෙයි... හිතට එන දේ ලියනවා... ඔයාගේ හිත දන්නවා ඔයා කලේ බොරුවක් කියලා... ඒ වගේම ඔය දන්නවා දේව් ට බොරුකාරයෝ පෙන්න බෑ කියලත්... ඉතින් සමාවෙන්න... අදින් පස්සේ ඔයාට දේව් කියල යාළුවෙක් නැති වෙයි... ඒ වගේම ඔයා කියල තියන විදියට හොඳ සහෝදරයෙකුත් නැති වෙයි... මේ ඔයාගේ වැරැද්ද නිසයි... ඉතින් අපි සමුගනිමු... දුක වුණත් මේ අපේ යාලු කමේ අවසානයි...

දේව්දාස්...

Monday, November 21, 2011

දේව්දාස් ගෙන් පුංචි කතාවක්...

            ගොඩාක් කාලෙකට පස්සේ ආයෙත් ආවත් දේව්දාස් ට ඉස්සර වගේ ලියන්න වෙලාව හොයාගන්න අමාරුයි... මේ පාර උසස් පෙළ වුවමනාවක් ඇතුව කරන නිසා ටිකක් මහන්සි වෙනවා ඒ වෙනුවෙන්... ඒ වුණත් ලියන්නේ නැතුව ඉන්නවා කියන එක නම් දේව් ට ටිකක් අමාරු වෙන දෙයක්... මොකද දේව්දාස් මේ බ්ලොගේ එක ලියන්නේ තමන් ලබන අද්දැකීම්, දුක, සතුට වගේ දේවල් බෙදා ගන්නනේ... ඉතින් දේව් ලියන්නේ නැතුව ඉන්න නම් කොහෙවත් නොගිහින්, මොනවත් නොකර එකම තැන ඉන්න වෙයි... මොකද එහෙම උනොත් විතරයිනේ ඔය කිව්ව එකක්වත් අත්දකින්න වෙන්නේ නැත්තේ...

             අද කියන්න යන්නෙත් දේව් අත්දැකපු දෙයක්... මීට දවස්‌ 2 කට කලින් දේව් අම්මත් එක්ක ගියා දේව් ගේ පෙර පාසැල් කාලේ යාලුවෙක්ගෙ ගෙදර... ඇත්තටම කිව්වොත් ඒ ගියේ අවුරුදු 14 න් කියන එක කවුරුවත් විශ්වාස කරන එකක් නෑ... පෙර පාසලෙන් අයින් වුනාට පස්සේ එදායි ආපහු ගියේ...

             අවුරුදු ගානකට පස්සේ වුණත් යාළුවගේ ගෙදර නම් වෙනස් වෙලා නෑ පොඩ්ඩක්වත්... දේව් යාළුවා එක්ක කතා කර කර ඉන්නකොට දැක්කා බිත්තියේ එල්ලලා තියනවා යාළුවගේ පුංචි නංගිගේ පින්තූරයක්... ළමා සාරිය ඇඳන් ඉන්න ඒ පින්තූරේ දැක්කම අවුරුදු ගානකින් දැකල නැති වුණත් නංගි කොච්චර පින්වන්ත පාටද කියල දේව් ට හිතුණා...

             ඒත්... විශ්වාස කරන්න එතකොටම දොරකින් එලියට මතු වුණේ ඒ පින්තූරේ ඉඳපු නංගිම  තමයි... ඒත් ස්වරූපය නම් සම්පූර්ණයෙන්ම වෙනස්... අඟල් වලින් මනින්න පුළුවන් පුංචි සාය කෑල්ලක් ඇඳන් ස්කිනර් එකක් ඇඳන් ආපු ඒ නංගි මද මේ පින්තූරේ ඉන්නේ කියල මම ආයෙත් පින්තූරේ දිහා බැලුවා... ඔව් මේ නංගි ම තමයි... ඒත් අර මුලින් හිතට දැනුණු දේවල් යටපත් කරගෙන පිළිකුලක් වගේ දෙයක් මතු වුණා... ඒත් ඒ ඇයි කියන්න දන්නේ නෑ...

             දේව්දාස් ට කියන්න ඕනේ වුණේ මෙන්න මේ දේයි... අපේ ළමා සාරිය අඳින ඕනෙම ගැහැණු ළමයෙක් හරිම පින් පාටයි... හරිම අහිංසක පාටයි... ඒත් අපේ ගැහැණු ළමයින්ට ඔය ළමා සාරියම දහම් පාසලට වුණත් ඇඳන් එන එක කොච්චර අමාරු වැඩක්ද? ගොඩක් ගැහැණු ළමයි කැමති නෑ ළමා සාරිය අඳින්න... ඊට වඩා හොඳයි එයාලට ගවුම අඳින එක... ඒත් ළමා සාරියෙන් මතු වෙන ඒ චාම් බව, පින්වන්ත බව මතු කරන්න මේ ලෝකේ කිසිම ඇඳුමකට බෑ කියලයි දේව් ට හිතෙන්නේ...

            මේ දේව්දාස් අත්දැකපු පුංචි සිදුවීමක් පමණයි... නමුත් දේව්දාස් හිතනවා මෙතන හිතන්න යමක් තියනවා කියලා... ඒ නිසයි මේ පුංචි සිදුවීම පළ කළේ... ඉතින් සිතීම හෝ සිනාසීම ඔබට භාරයි...

දේව්දාස්...

Saturday, October 29, 2011

දේව්දාස් නම් වූ සහෝදරයා...

            අලුත් ජීවිතයක් පටන් ගන්න උත්සහ කරන දේව්දාස්; බ්ලොග් පිටුවේ මේ ලියන්න හදන්නේ දේව් ගේ සහෝදර, සහෝදරියෝ ගැන නම් නෙමෙයි... මේක විශ්වාස කරන්න අමාරු, නමුත් 100% ඇත්ත සිදුවීම් කිහිපයක් එක මාතෘකාවක් යටතට ගන්නට දරණ උත්සාහයකුයි...

            කතාව පටන් ගන්නේ දේව්දාස් උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න කාලයේදීයි... නිකන් ඉන්න කම්මැලි කම නිසා මුහුද පැත්තේ ගිහින් අනූ නමයෙන් බේරුණු සිද්ධිය දැනටමත් දන්නවනේ... මේ සිද්ධිය  වුණේ එහෙම අත කඩාගෙන ඇවිදින්න බැරුව ගෙදරට වෙලා ඉන්න කාලෙදියි... දේව් ගේ ගෙදර පෙර පාසලක් පැවැත්වෙනවා... ඒ කියන්නේ දේව් ගේ ගෙදර, ගොඩනැගිල්ලක ගුරුවරියෝ දෙන්නෙක් උගන්නවන පෙර පාසලක් තියනවා... දේව් ට කොහෙවත් යන්න තහනම් නිසා දේව් නිකන් ඉන්න කම්මැලි කමට මේ පෙර පාසලට යන්න පුරුදු වුණා... මේ පෙර පාසල පාලනය කරන්නේ දේව් ගේ අම්මා... ඒකයි එහෙම යන්න පුළුවන් වුණේ...

            ඉතින් මෙහෙම ගිය පළවෙනි දවසෙම දේව් ට එක පොඩි ළමයෙක්ව හිතට ඇල්ලුවා... එකට හේතු ගොඩක් තිබුණා... එකක් ඒ පොඩි ළමයට තිබුණේ පාරෝගේ පොඩි කාලෙට ගොඩාක් හුරු මුහුණුවරක්... අනිත් එක දේව්දාස් තමයි පවුලේ බාලයා... ඉතින් දේව් හරි ආසයි නංගිලාට... දැන් ඉතින් දන්නවනේ මේ පොඩි කෙනා ගෑණු ළමයෙක් කියලා...

            ඉතින් දේව්දාස් මේ පොඩි ගෑණු ළමයා එක්ක ගොඩක් යාලු වුණා... කොච්චර යාලු වුනාද කිව්වොත් ඒ පොඩි කෙනා දකින්නේ නැතුව දවසක් ඉන්න බැරි වුණා... දේව් ට විතරක් නෙමෙයි, ඒ පොඩි කෙනාටත් එහෙමමයි... ඉතින් අවුරුද්දකුත් මෙහෙම ගෙවිලා ගියා... මේ අවුරුද්දක කාලය ඇතුලත දේව් එක්ක පොඩි ගෑණු ළමයා වගේම, එයාගේ පවුලේ අයත් ගොඩක් ලං වුණා... ඒ ළමයගේ අම්ම දේව් ට කිව්වේ ලොකු පුතා කියලා... දේව් ඒ පොඩ්ඩි ගේ අක්කලට කිව්වේ පොඩි නංගි, ලොකු නංගි කියලා...

             ඒත් දේව් පාසලේ උගන්නන්න යනවාත් එක්කම ඒ පොඩ්ඩි එක්ක තිබුණ ආශ්‍රය ටිකක් අඩු වුණා... ඒත් දේව් ව දැකපු තැන දුවල ඇවිත් දේව් ව බදාගන්න තරම් ආදරයක් ඒ පොඩ්ඩි ගේ හිතේ තිබුණා... දේව් ටත් එහෙමමයි...

            මීට දවස් කීපයකට කලින් පෙර පාසලෙන් ළමයින් චාරිකාවක් එක්කරගෙන ගියා... ඒ චාරිකාවට සහභාගී වෙන්න දේව්දාස් ටත් අවස්තාවක් ලැබුණා... මුළු චාරිකාව පුරාවටම මේ පොඩ්ඩි හිටියේ දේව් එක්කමයි... අම්මලා ගාවට නොගිය තරම්... ඇවිද්දේ දේව් එක්ක... කෑවේ දේව් එක්ක... නිදා ගත්තේ දේව් ළඟ... මෙතැනදී පොඩ්ඩි දේව් ට ගොඩක් ලං වුණා...

            මේ ලිපිය ලියන්න හේතු වුණු සිද්ධිය සිද්ධ වුණේ අදයි... අද හවස දේව් ගේ අක්කා ගෙදර ආපු ගමන්ම දේව් හොයන් ආවා... ඇවිත් කිව්වා අර පොඩ්ඩියි එයාගේ අම්මයි, පොඩි නංගියි පාරේදී උදේ මුණ ගැහුණා කියලා... එතැනදී පොඩ්ඩි ගේ අම්මා දේව් ගේ අක්කට කියලා, මේ පොඩ්ඩි කියනවලු ගෙදරදී මේ මාස දෙකෙන් පස්සේ මොන්ටිසෝරි ගිහින් ඉවර නිසා දේව් අයියව බලන්න වෙන්නේ නැති නිසා, දේව් අයගෙන් ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලගන්න, කතා කරලා ඉන්න වෙලාවක් බලලා මාසෙට සැරයක් ගිහින් බලලා එමු කියලා...

             තාමත් පෙර පාසල් දරුවෙක් වුණත් ඒ පොඩ්ඩි හිතල තියන දුරක් කියලයි දේව් ට නම් හිතුනේ... පොඩ්ඩි දන්නවා තව මාස දෙකකින් දේව් අයියව බලන්න වෙන්නේ නෑ කියලා... ඉතින් එකට විසඳුමකුත් හිතලා... පොඩි අයගේ මොළයට ගොඩක් දේවල් හිතන්න, තීරණ ගන්න පුළුවන් හැකියාවක් තියනවා කියලා අපි කවදාවත් හිතන්නේ නෑ... ඒත් මේ පොඩ්ඩි තාමත් පෙර පාසල් දරුවෙක්... බලන්න හිතපු දුරක්... ප්‍රශ්නේ අඳුනගෙන, ඒකට උත්තරයත් එයාම හොයාගෙන...

            දේව්දාස් දන්නේ නෑ මේ පොඩ්ඩි දේව් ගේ ජීවිතේට කොහොම ආවද කියලා... ඒත් දේව් දන්නවා දැන් මේ පොඩ්ඩි දේව් ට දේව් ගේම නංගි වගේ කියලා... සමහර සම්බන්දතා උපතින් නොලැබුණත් ආශ්‍රයෙන් ඇති වෙනවා... මේ පොඩ්ඩි ත් දැන් දේව් ට තමන්ගේම නංගි වගෙයි... පෙර පාසලින් පාසලට ගියත්, පාසලෙන් විශ්ව විද්‍යාලයට ගියත්, මේ පොඩ්ඩි දේව් ට හැමදාමත් පොඩ්ඩි විදියටම පෙනෙයි...

            මේ දේව්දාස් ට උපතින් නොලැබුණත්, අහඹු ලෙස මුණ ගැසුණු හුරුබුහුටි සහෝදරිය මුණ ගැසුණු ආකාරයි...

දේව්දාස්...

Friday, October 28, 2011

දේව්දාස් Returns...

            ගොඩාක් කාලෙකට පස්සේ දේව්දාස් ට බ්ලොග් එක පැත්තේ එන්න ලැබුණා... ඇත්තටම කිව්වොත් දේව්දාස් පහු ගිය කාලේ ලිපියක් පළ කලේ නැත්තේ ලියන්න දෙයක් නොතිබුණු නිසාම නෙමෙයි... දේව්දාස් පහු ගිය දවස්වල කළේ කල්පනා කළ එකයි... හේතුව දේව්දාස්ට හිතුණා වෙනස් වෙන්න... ඔයාලට මේ මුකුත් තේරෙන්නේ නැතුව ඇති... ඉන්න මම පැහැදිලි කරලා දෙන්නම්...

           හැමෝම දන්නා විදියට දේව්දාස් කියන්නේ උසස් පෙළ විභාගය මහා ඉහලින් සමත් කෙනෙක් නෙමෙයි... දේව්දාස් උසස් පෙළ කළේ 2010 වසරේ... නමුත් දේව්දාස් ඒ තෝර ගත්තු විෂයන් දේව්දාස් කොහොමටවත් කැමැත්තක් තිබුණ විෂයන් නම් නෙමෙයි... පාසලේ තිබුණ විෂයන් වලින් තෝර ගන්න වුණු  විෂයන් තමයි කරන්න වුණේ... ආසා නැති දෙයක් කරන්න අපි කවුරුවත් ආසා නෑ වගේ, දේව්දාස් ටත් ඒ විෂයන් කරන්න කිසිම ආසාවක් තිබුණේ නෑ... ඉතින් වපුරන විදියටලුනේ අස්වැන්න... අස්වැන්නත් එහෙමම ලැබුණා...

           ඒත් අවුරුද්දකට පස්සේ දේව්දාස් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකකට යන්න පටන් ගත්ත කියල ඔයාලා දන්නවා... මේ අතර කාලයේදී දේව්දාස්ට අවස්තාව ලැබෙනවා ඒ පරිසරයට හුරු වෙන්න... ඒ පරිසරය අත්විඳින්න... ඒ පරිසරයට, ඒ ජීවිතයට, ඒ රටාවට දේව්දාස් ගේ හිත ඇදිල ගියේ කොහොමද කියන්න දේව් දන්නේත් නෑ... ඉතින් අපි හැමෝම ආසයි අපි කැමති දේවල් අපේ ලඟට ගන්න... ගන්න බැරි දෙයක් නම් එතනට යන්න... ඉතින් දේව්දාස් නුත් තමන්ගේ හිත එක්ක වාද විවාද කරලා, අන්තිමට තීරණයක් ගත්තා... "ආයෙත් උසස් පෙළ කරනවා... උපරිමයෙන් කරලා කොහොම හරි කැම්පස් යනවා..."

           ඇත්තටම කිව්වොත් මේ තීරණය ගත්තේ විශ්ව විද්‍යාලයේ ඉන්න වෙලාවෙමයි... අයෙත් ගෙදර එන අතරේ දේව්දාස් නැවතත් මේ ගැන හිතුවා... ඔව්... මේ තීරණේ දේව්දාස්ගේ ජීවිතේ වෙනස් කරයි... අකමැති විෂයන් වෙනුවට කැමති විෂයන් කරනවා... කලබලේට කරන්න ඕනේ නෑ... 2013 අයෙත් ලියනවා...

           ඉතින් මේ දේව්දාස් පහු ගිය මාස එකහමාර පුරාම කල දේ නොවුනත් දේව්දාස් මේ ගැන ගොඩාක් කල් ඉඳං හිතුවා... ඉතින් මේ දේව්දාස් ගේ ජීවිතය වෙනස් වෙන තීරණයක් සමග නැවත පැමිණි දේව්දාස් ගේ කතාවයි...

දේව්දාස්...

Monday, August 29, 2011

දේව්දාස් සහ චන්ද්‍රමුඛී

            දේව්දාස් කාලෙකින් පොස්ට් එකක් දැම්මේ නෑ... වෙන මුකුත් නිසා නෙමෙයි... මේ දවස් වල දේව්දාස් ගේ හිතට ආවේ පාරෝ ගැන මතකයන් විතරයි... දේව්දාස් කැමති නෑ ඒ මතකයන් පොස්ට් වල ලියන්න... වෙනමුකුත් නිසා නෙමෙයි... දැන් ලියන්න පටන් ගත්තොත් දවස් ගානක් උනත් ලියල ඉවර වෙන්නේ නැති නිසයි...

            ඒත්... මේ මහ රෑ බ්ලොග් කියෙව්ව දේව්දාස් ට මේ පොස්ට් එක ලියන්නම හිතුණා... ඒ සමහර පොස්ට් දැක්කම හිතට එන හැගීම් පාලනය කර ගන්න බැරි වුණු නිසයි... මාතෘකාව දැක්කම කතාව මොන වගේද කියලා හිතා ගන්න පුළුවන් වෙයි... ඒත්...

     මෙන්න කතාව...

            පාරෝ ගේ හොඳම යාලුවෙක් හිටියා... නම *****... දේව්දාස් පාරෝ ගැන උනන්දු වුණේ දේව්දාස් - පාර්වතී  කියන හොඳ යාළුවොන්ගේ යාළුකම ඇති වෙලා ගොඩක් කාලෙකට පස්සෙයි... මේ යාළුකමට එකතු වෙන්න ***** ආසාවෙන් හිටියා... ඒත් පාරෝ ඒකට කැමති වුණේ නෑ... දේව් - පාරෝ කොච්චර හොඳ යාළුවො වුණත්, දේව් ට වෙනම යාළුවො පිරිසකුත්, පාරෝ ට වෙනම යාළුවො පිරිසකුත් හිටියා... පාරෝ ගේ යාළුවෝ අතරින් ලඟින්ම හිටිය යාළුවා තමයි *****...

            කතාව පටන් ගන්නේ දේව් - පාරෝ යාළුකම, දේව් - පාරෝ - ***** යාළුකම විදියට වෙනස් වුණු දා ඉඳං... දේව් ට පාරෝ එක්ක විතරක් කතා කරන්න බෑ... මොකද දේව් ට තමන් පාරෝ ගැන උනන්දු වෙන බව අඟවන්න ඕනේ නෑ... ඉතින් දේව් ට සිද්ධ වෙනවා ***** එක්ක කතා කරන්න... ඒත් හැම දේම වෙනස් වුණේ, ***** ගේ ගෙවල් දේව් ලගේ ගෙවල් පැත්තේ තියෙනවා කියල දැනගත්ත දවසේ ඉඳං... මේ වෙනකන් දේව් ගියේ වෙනම, ***** ගියේ වෙනම... ඒත් ගෙවල් එක පැත්තේ කියල දැන ගත්තු දවසේ ඉඳං දේව් සහ ***** පන්ති ගිහින් ගෙදර යන්නේ එක බස් එකේ... එක දවසක්...

           එක දවසක්... ***** වාඩි වෙලා ගිය තැන ඉඩ තිබුණු නිසා දේව් එතනින් වාඩි වුණා... ඒ දේව් ජීවිතේ පළවෙනි වතාවට ගෑණු ළමයෙක් ලඟින් වාඩි වෙල ගිය දවස... එදා හිතට දැනුනු වෙනස් හැගීම, දේව් ට දිගින් දිගටම ඒ දේ කරන්න කියල බල කළා... ඒත්... ***** වෙනස් වුණා... දේව් ට ලං වෙන්න උත්සහ කළා... දේව් ට ඒ බව නොතේරුණා නොවෙයි... ඒත් දේව් නොතේරුණා වගේ හිටියා... ඒත් ඒ අතරේ දේව්දාස් - පාර්වතී  ආදර කතාව ලියවුණා...

           ඒ ආදර කතාව ලිව්ව එක් කතුවරයෙක් තමයි ***** කියන්නේ... ඒත් එහෙම දේව් - පාරෝ ආදර කතාව ලියන අතරතුරෙත් දේව් ට ලංවෙන්න උත්සහ කළා... දේව් නොදැනීම ඒ ලංවීමට උනන්දුවෙනුයි හිටියේ... ඒත් දේව් කවරදාකවත් ඇයට ලංවෙන්න උත්සහ කලේ නෑ...

           මේ ලියන මොහොත වෙන විට දේව් ට පාරෝ අහිමි වෙල ඉවරයි... දේව් තමන්ගේ ආදරේ වෙනුවෙන් ***** නැති කරගෙනත් ඉවරයි... දේව් ට සියලු දේ නැති වී හමාරයි... නමුත් එක් කාලයකදී, දේව් ට සමීපතම මිතුරා ලෙස සිටියේ ***** යි... දේව් උදවු බලාපොරොත්තුවෙන් ගියේ ***** වෙතටයි... කිසිදු අපේක්ෂාවකින් තොරව දේව් ට උදවු කලෙත්  ***** මයි...

          දේව්දාස් දන්නවා... මේ ලියපු, කියපු කිසිම දෙයක් ඔබට වැටහෙන්නේ නැති බව... හිතන්න... මේ කියූ කාරණා අනුව ***** යන්නට දිය හැකි හොඳම වචනය චන්ද්‍රමුඛී යන්න නොවෙයිද? දැන් ඔබ චන්ද්‍රමුඛී යන නාමය යොදමින් නැවත කියෙව්වොත් ඔබට යම් වැටහීමක් ගත හැකි වෙයි... නමුත් ඔබ එය නොකරන බව දේව්දාස්  මනාව දනියි... කතාවක් පටන් ගත්තානම් අතරමග නැවැත්වීමේ පුරුද්දක් දේව්දාස් ට නොමැති බැවින්, ඔබට තේරෙන ලෙස නැවත මෙය ලිවීමට අදහස් කරමි...

             දැන් ඔබ සිතනවා ඇති දේව්දාස් මේ සමාජයේ සිටින තවත් එක් පිරිමියෙකු පමණක් බව... ඔබට සිතෙන දේ ලියන්න... දේව්දාස් තවමත් ඔහු කලේ වැරද්දක් දැයි දන්නේ නැත... හේතුව... දේව් ගේ හදවතේ සිටියේද, සිටින්නේද, සිටිය හැකි වන්නේද පාර්වතී යට පමණක් බැවිනි...

             ඔබට සිතෙන දේ ලියන්න... මේ දේව්දාස් හා චන්ද්‍රමුඛී ගැනයි...

දේව්දාස්...

Thursday, August 25, 2011

දේව්දාස් ගේ දෙවැනි උපත 2...

            ඊයේ දේව්දාස් මරණයෙන් ගැලවුණු හැටි කිව්වා මතකයි නේ... මේ ලිපිය ඒ සිද්ධිය හා සම්බන්ධ තවත් වැදගත් කියල දේව් ට හිතෙන කාරනා ටිකක් කියන්නයි ලියන්නේ... මතකයි නේ, දේව් ගෙදර අයත් එක්ක රෝහලට යන තැනින් තමයි නැවැත්තුවේ පොස්ට් එක දිග වැඩි නිසා...

            දේව් හොඳටම තුවාල වෙලා හිටියේ... දේව් ට තමන්ගේ වම් උරහිස හොලවන්නවත් බැරි වුණා... දකුණු කකුල වාඩි වෙලා ඉන්න නිසාමදෝ ගොඩක් රිදෙන්න ගත්තා... මේ වගේ ලෙඩ්ඩු භාර ගන්නේ රජයේ රෝහලකින් විතරක් නිසා දේව් ට සිද්ධ වුණා මාතර මහා රෝහලට ඇතුලත් වෙන්න... මේ වෙනකොට දේව් ට ගොඩක් අමාරු වුනත් දේව් තීරණය කළා ගෙදර අයට ඒ ගැන අඟවන්නේ නැතිව ඉන්න... දේව් ව රෝහලට ඇතුලත් කළාට පස්සේ වෛද්‍යවරු නිගමනය කළා දේව් ගේ වම් උරහිසත්, දකුණු කකුලත්, පපු ප්‍රදේශයත් පරීක්ෂා කරන්න... ඒත් මේ සියලු දේ හවස් වරුවේ නිසා, දේව් රෝහලට ඇතුලත් කරනකොට රෑ 6.30 විතර ඇති... ඒ වෙලාවේ කිසිම පරීක්ෂණයක් කරන්නේ නෑ කියලයි රෝහලේ වැඩ කරන සහ වෛද්‍යවරු පවා කිව්වේ...

             ඒත් රෝහල් දේව් ට මොකක්දෝ ක්‍රමයකින් අවශ්‍ය පරීක්ෂණ කරලා වාර්තා ඉදිරිපත් කරන්නට පුළුවන් වුණා... වාර්තා අනුව දේව් ගේ වම් උරහිස පැනලා, දකුණු කකුලේ අස්ථියක් පුපුරලා... පපු ප්‍රදේශයට නම් කිසිම බලපෑමක් නෑ... දවස් එකහමාරක් රෝහලේ ගත කළ දේව් ඊළඟ දවසේ හවස් වරුවේ බලෙන් ticket කපා ගෙන ගෙදර ආවා...

             දේව් මේ ලිපිය ලිව්වේ දේව් ට මේ සිද්ධියෙන් දැක ගන්න ලැබුණු කාරණා කිහිපයක් සම්භන්දයෙන් කියන්නයි... දේව් ට අවශ්‍ය පරීක්ෂණ කරන්න අනුමැතිය ලැබිල තියෙන්නේ රෝහල අධ්‍යක්ෂක මගින්... දේව් ගේ තාත්තා රෝහල අධ්‍යක්ෂකගේ හිතවතෙක් වීමෙන් දේව් ට අවශ්‍ය පරීක්ෂණ එවෙලේම කරගන්න හැකි වුණා... ඒත් හිතන්න දේව් ගේ පව්ලේ අය ඒ කව්රුවත් අඳුනන්නේ නැත්නම්, දේව් ට සිද්ධ වෙනවා ඊළඟ දවසේ උදේ වෙනකම් ඉන්න... ඒ අතරේ දෙයක් උනොත්... මේ කියන්නේ දේව් ගැනම නෙමෙයි... මේ වගේ රෝගීන් කීදෙනෙක් අපහසු තාවයන්ට පත වෙනවා ඇත්ද?

              දේව්ට රෝහලෙන් තනියම ඉන්න ඇඳක් ලැබුණා... ඒත් සමහර රෝගීන් එක ඇඳේ දෙන්නා බැගින් ඉන්නවා දේව් දැක්කා... ඇඳවල් අඩු කම නිසා වෙන්න පුළුවන්... ඒත් ඒ රෝගීන්ට රෝහල සේවකයන් කතා කරන විදිය, දේව් ට නම් අහන් ඉන්න බෑ... කතා කරනවා නෙමෙයි. ඒක සමාන වෙන්නේ බැනුමකට... මේ රජයේ දේ විවේචනය කරනවා නොවෙයි... නමුත් මේ ස්වභාවය...

              දේව් ට සිද්ධ උණු දේ දැනගෙන දේව් ව බලන්න ආපු අය, බලන්න ආවේ නැති අය, එන්න ඕනෙවට ආව අය, මේ හැම දෙනාම දේව් ට හිතන්න දේවල් ඉතුරු කරලයි ගියේ... දේව් ගේ අක්කගේ දුව, රෝහලට ඇවිත් මාමා දාල යන්න බෑ කියල අඬනකොට දේව් ට ඇති වෙච්ච හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ...

             තවත් දෙයක් ගැන දේව් කනගාටු වෙනවා... දේව් ට උදවු කළ ඒ පිටරටියට (පිටරටියා කියන්නේ දේව් සුද්දා කියන වචනේපාවිච්චි නොකරන නිසා) ස්තුති කරන්න දේව් ට බැරි වුණා... තාමත් ඒකට දේව් සූදානම් වුණත්, දේව් ට ඒකට තාමත් අවස්තාවක් හම්බ වුණේ නෑ... ළඟදීම දේව් ඒ යුතුකම ඉෂ්ට කරන්න යනවා...

              ඉතින් අද මේ ලිපිය ලිව්වේ ඒ සිද්ධියෙන් දේව් දැකපු, අහපු, දැනුනු දේවල් ගැන කියන්නයි... ඒත් දේව් මේ සිද්ධියෙන් ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ඉතින් මේ දේව්දාස් ලබපු දෙවැනි උපත ගැනයි...

දේව්දාස්...

Wednesday, August 24, 2011

දේව්දාස් ගේ දෙවැනි උපත...

            අද ලියන ලිපිය බලන්න නම් ටිකක් වෙලා ගනියි load වෙන්න... මොකද අද පින්තූර 3 ක් එකතු කළා ලිපියට... දේව්දාස් මේ ලිපිය ලියන්නේ, කම්මැලි කමට computer එකේ අහු මුළු වල රිංගන වෙලාවේ හම්බ වුනු පින්තූරයක් දැකලා... හ්ම්ම් ඔන්න එහෙනම් අහගන්නකෝ විස්තරේ...

            ගිය අවුරුද්දේ හරියටම අගෝස්තු මාසේ දේව්දාස් ටත් උ/පෙ ඉවර උනානේ... ඉතින් දේව් යාළුවො ටිකත් අඬගහගෙන හැම තැනම සංචාරය කරන්න තමයි සැලසුම් කලේ... දේව් ටම හරියන යාළුවො ටික නිසා ඒගොල්ලොත් එක පයින්ම කැමති වුණා වැඩේට...

            දේව් ගේ යාලුවෙක් ඉන්නවා තලල්ල කියන ගමේ... තලල්ල කියන්නේ පිටරටින් එන සංචාරකයෝ නිතර ගැවසෙන ස්ථානයක්... ඉතින් යාළුවො හැමෝම නොවුනත් 4 දෙනෙක් ගමනට එකතු උනා... තලල්ල මුහුදු වෙරළ කියන්නේ දේව් විශ්වාස කරන විදියට ලංකාවේ තියෙන ලස්සනම මුහුදු වෙරළක්... නැත්නම් ඉතින් පිටරට අය එයිද නිකන් වෙරළකට...

            ඉතින් දේව් එයාගේ යාළුවො ටිකත් එක්ක තලල්ල මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන ගිහින් මුහුද අද්දරම තිබුණ විශාල ගල් තලාවට නැග්ගා... දේව් පොඩි කාලේ ඉඳලම හිතුවක්කාර, අනිත් අය කරන්න බය දේවල් කරන්න කැමැත්තක් තිබුණා... ඉතින් මේක අනිත් අයට මහා පුදුම දෙයක් නෙමෙයි... මොකද යාළුවො දන්නවා දේව් කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා... ඉතින් ගල් ගොඩක් උඩට නගින එක මහා ලොකු දෙයක් නෙමෙයිනේ කියල හිතපු දේව් කල්පනා කළා යාලුවන්ට පේන්න වැඩ කැල්ලක් දන්නේ කොහොමද කියලා... ඔහොම කල්පනා කරනකොට දේව් දැක්කා මුහුද අද්දරම, මුහුදට නෙරා ගිය ප්‍රමාණයෙන් ටිකක් විශාල ගල් තලාවක් තියෙනවා... ඉතින් දේව් ඔතෙන්ට යනවා දැකපු යාලුවෙක් "මචෝ රැල්ල නම් සැරයි" කියල කිව්වා... ආපහු හැරෙන්නද රැල්ල සැරයි කියලා... දේව් නම් හැරෙයි ආපහු... :/ ඉතින් දේව් වීර ක්‍රියාවක් කරන්න යනවා වගේ ගියා මුහුදට නෙරලා තිබුණු ගල් තලාව උඩට... එත එක තැනකදී, ගලට නගින්න කකුල තියන කොට කකුල ලිස්සලා දේව් වැටෙන්න ගියා... වෙලාවට අනිත් අය ඒක දැක්කේ නෑ...

             කකුල ලිස්සුවට දේව් කරන්න යන වීර ක්‍රියාව නවත්තන්න කාටවත් බැරි නිසා දේව් තමන්ගේ ගමන දිගටම ගියා... ගිහින් නිකන් හිටියෙත් නෑ, යාලුවෙක්ට කිව්වා ෆොටෝ එකක් ගන්න කියලා... ඉතින් ඔය පහලින් තියෙන්නේ ඒ ගත්තු පින්තූරේ තමයි...

ඔය කූඹියෙක් වගේ ඉන්නේ දේව්දාස්


            
            ඉතින් ෆොටෝ එකත අරන් වීරයා වගේ ආපහු දේව් එන්න හදනකොටම, විශාල රැල්ලක් ඈතින් එනවා දැක්ක... කලින් කියන්න අමතක උනා, ඒ එන රැල්ල දේව් ඔය ඉන්න ගල උඩිනුත් පෙණ කැටි වගේ විසිරිලා යනවා... කලිනුත් කිව්වා වගේ මේ ගල තියෙන්නේ මුහුදට නෙරලා... ඒ කියන්නේ දැන් දේව් ඉන්නේ මුහුදේ... මුහුදෙන් එන රැල්ල ගල් වල වැදිලා බිඳිලා සර බාල වෙලා තමයි වෙරළට යන්නේ... ඒ එන රැල්ල දේව් ඉන්න ගලේ වැදිලා පෙණ කැටි විසිරෙනවා... (පින්තූරෙත් පේනවා ඇති නේ...)

            ආපහු කතාවට අවොත්, ඈතින් රැල්ල එනවා කියල දේව් දැක්කත් ලිස්සන ගලක් උඩ දුවල නිකන් මුහුදට වැටිලා ගිලෙන්නේ මොකටද කියල හිතපු දේව් ට ඒ වෙලාවේ කල්පනා වෙනවා, හිට ගෙන හිටියොත් රැල්ල වැදිලා දේව් විසි වෙන්න ඉඩ තියෙන නිසා පහත් වෙලා හිටිය නම් රැල්ල දේව් ගේ ඇඟට  උඩින් යයි කියලා... (කොහොමද ටිකිරි මොලේ) ඉතින් දේව් රැල්ල කිට්ටු වෙන කම් ඉඳල පහත් උනා... උඩ හිටිය යාලුවොන්ට නම් ගානක් නෑ මේ වෙන දේවල් ගැන...

            ඒත් ඒක පාරටම දේව් ගේ වම් උරහිසේ මොකක්දෝ දෙයක් වේගයෙන් වැදුණා... ඊට පස්සේ දේව් ගේ ඔලුව තවත් ශක්තිමත් දෙයක වැදුණා... ඊට පස්සේ දේව් ට එයාව පාවෙනවා වගේ දැනුණා... ඊට පස්සේ එයා ටික ටික කොහේදෝ ඇතුලකට අරගෙන යනවා වගේ දැනුණා... පියවි සිහියට ආපු දේව් ට තමන් වතුරේ ගිලෙන බව දැනුණා... ඉක්මනින් යමක් අල්ලගන්න හිතාගෙන වට පිට අතගානකොට, මේ වෙනකොට පණ නැති වෙමින් තිබුණු දේව් ගේ අත් දෙකට ගලක් අහුවුණා... සිහියක් නැතිව ඒ ගලේම එල්ලිලා උඩට ආපු දේව් තාමත් ඉන්නේ රැල්ල එද්දී හිටපු ගල් තලාව උඩයි... හිත හිත ඉන්න වෙලාවක් නැති කම නිසාම නොවුනත්, හිතන්න තරම් ශක්තියක් දේව් ගේ ඇඟේ නොතිබුණු නිසාවෙන් දේව් ඉක්මණින් ගල් තලාවෙන් බැහැල යාළුවො ඉන්න ගල් තලාව ලඟට ගියා...

             මේ වෙනකොට උඩ හිටිය යාළුවො හැමෝම පල්ලෙහාට ඇවිත් දේව් ව හොයනවා... මුළු ඇඟේම ලේ පෙරා ගෙන ඉස්සරහට එන දේව් ව දැකල බය වුනු යාළුවො මොහොතක් මුකුත්ම හිතා ගන්න බැරිව ඉඳපු විදිය දැකල දේව් ට තමන්ගේ පෙනුම මොන වගේද කියල හිතා ගන්න පුළුවන් උනා...

             යාළුවො ඉඳපු ගල් තලාව උඩින් පිහිටි කඳු ගැට්ටේ තිබුණ ගෙදර පදිංචි වෙලා හිටියේ පිට රට මනුස්සයෙක්... යාළුවො දේව් ව ඒ ගෙදරට එක්කරගෙන ගිය මොහොතේ ඒච ගේ දිහා මොහොතක් බලන් ඉඳපු ඔහු, ඔහුගේ පෞද්ගලික ගමන් බිමන් වලට පාවිච්චි කරන ත්‍රී රෝද රථයෙන් දේව් ව dispensary එකකට අරන් යන්න කියල රියදුරාට කිව්වා...

            ඒ වෙනකොටත් යාළුවො දුරකතනෙන් දේව් ගේ ගෙදරට සිද්ධිය බොහෝම සැර බාල කරලා කියල තිබුණ නිසා, දේව් ගේ දෙමව්පියෝ එතනට ඉක්මනට ආවා... එතනින් එහාට ලියන්න හදනකොටත් අහපු මිහිරි වදන් කන් දෙකේ රැව් දෙනවා...

            දැනටමත් පොස්ට් ඒක දිග වැඩි වුනු නිසා මෙතනින් එහාට සිද්ධ වුනු දේවල් දේව් කියන්න යන්නේ නෑ... ඒත් මේ සිද්ධිය නිසා දේව් ට කවදාවත් දුකක් දැනුනේ නෑ... ඒ මොකද කියල දේව් කියන්නම්... හැබැයි හෙට... තාම දේව් කිව්වේ මේ සිද්ධියේ භාගයයි... ඉතුරු ටික කියන්න ගියොත් පොස්ට් ඒක ගොඩක් දික් වෙනවා... ඒක නිසා හෙට ඉතුරු ටික කියන්නම්...

            කියපු විදියට අදාළ තැන ගැන චිත්‍රයක් ඔලුවට ආව නම් බලන්න ඒක මෙන්න මේ වගේද කියලා... මේ යටින් තියෙන්නේ ඒ සිද්ධිය වුනු තැන google maps වලින් ගත්තු පින්තූර... හරියටම තැන ඔන්න යටින් තියෙනවා...                          මේ දේව්දාස් ගේ දෙවැනි උපත ගැනයි...


  
               රවුම් කරලා තියෙන්නේ වැටුන තැන...          ඔන්න ඔහොමයි දුරට පෙන්නේ...
උඩ තියෙන්නේ උදවු කළ පිටරැටිය ගේ ගෙදර...          කොහොමද සැප අර ගල අල්ලගන්න බැරි උනානම්..?




දේව්දාස්... 

Monday, August 22, 2011

දේව්දාස් නම් වූ මෝඩයා...

            කාලෙකට පස්සේ දේව්දාස් නෑවා ඊයේ දවසේ... දේව්දාස් කොන්ඩේ ටිකක් වවාගෙන ඉන්න නිසා ඉක්මනට කොන්ඩේ වේලගන්න කියල ඔඩිකොලෝන් ටිකක් ඔලුවට දාගත්තා... ඔඩිකොලෝන් බෝතලේ අයිතිකාරයා දේව්දාස් නොවෙන නිසාදෝ ඔලුවටත් දාගෙන ලේන්සුවටත් ටිකක් දාගත්තා...

            දේව්දාස් සති අන්තේ රුහුණු විශ්ව විද්‍යාලේ ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් හදාරන බව කලින් කිව්වනේ... ඔන්න ඔය ගමන යන්න ගිහින් තමයි මේ දේවල් උනේ... නමුත් මෙතනින් ඔබ්බට සිදු වූ දේවල්...

             වේලාසනින් දේශන ශාලාවට ගිය දේව් කව්රුවත්ම ඇවිත් හිටියේ නැති නිසා නිකමට විශ්ව විද්‍යාලය වටේ ඇවිදලා එන්න තීරණය කළා... මුළු විශ්ව විද්‍යාල භූමියේම ඇවිදින්න දවසක් නුත් මදි නිසා ටිකක් දුර ගිහින් ආයෙත් ශාලාවට ආවා.... ඇවිත් අනිත් අය කීයට එයිද කියල හිත හිතා ඉන්නකොට දේව් නිකමට ලේන්සුව නහයට ලං කරගත්තා...

             දේව් ගේ පාර්වතිය, නැතිනම් පාරෝ නම් වූ ඒ අහිංසකාවිය වෙතින් හමා ආවා වූ, දේව් ගේ හදවතේ යම් සැඟවුණු පෙදෙසක අදටත් රහසින් සැඟවී තිබෙන්නා වූ එම සුවඳ, දේව් ගේ මතකයට නැගුනේ කෙසේදැයි දේව් මදක් සිතන්නට විය...

            "මට සෙන්ට් ගන්න සල්ලි නෑ දේව්. තිබුනත් මේ ඔඩිකොලෝන් එක මට හොඳයි... මම මේ සුවඳට ආසයි..."

            "ඉතින් සෙන්ට් එක වගේ ඔඩිකොලෝන් එක spray කරන්න බෑ නේ..."

            "ඔව්, බෑ තමයි. මම ඔඩිකොලෝන් ටිකක් ඔලුවට දාගෙන, ලේන්සුවටත් දාගෙන එන්නේ..."

            "එතකොට මේ මෙච්චර සුවඳ එකයි එහෙනම්..."

            දේව්දාස් ටත් නොදැනීම දේව් ගේ හිත අතීත සිද්ධීන් වලින් දේව් ගේ හිත පුරවන්නට විය... අතිශය චාම් යුවතියක් වූ ඇයව, දේව් අහිමි කර ගත් කාරණාව ඇයද තවමත් නොදන්නවා විය හැකිය... ඇය ඒ බැව් දැන ගත්තද නැවත දේව් හට ඇය නොලැබෙන බව දේව් නියත වශයෙන්ම දනී...

            "පාරෝ, මට ඔයාගේ ලේන්සුවක් දෙනවද...?"

            "අනේ දේව් දන්නේ නැද්ද ලේන්සු දුන්නම තරහ වෙනවා කියලා..."

            "හ්ම්ම් එහෙනම් එපා..."

            පාරෝ, හොඳින් බලන්න, ඔයාගේ සුදු පාට කොටු වැටිච්ච රෝස පාටට හුරු ලේන්සුව තියේද කියල... බැලුවට වැඩක් වෙන්නේ නෑ... ඒක මගේ ලඟ...

            ඔබගෙන් ලැබූ සෑම මතකයක් මෙන්ම, සෑම මතක සමරුමක්ම දේව් ලඟ පරිස්සමට තියෙන බව ඔබ දන්නවානම්... අපි මුණ ගැහුණු අවසාන දිනයේ මගෙන් ලැබූ සියලු මතක සැමරුම් නැවත මා හට දුන් පසු ඒවාද ඔබගේ මතක සැමරුම් අසල අලුතින් පදිංචි වූ බව ඔබ දන්නවානම්...

            මේ ලිපිය ලිව්වේ දේව් ගේ හිත සැහැල්ලු කරගැනීමේ අරමුණින්... ඔබලාගේ කාලය අපතේ යැවූ ලිපියක් කියල හිතෙනවා නම් දේව්දාස් ට සමාවෙන්න... මේ දේව්දාස් නම් වූ මොඩයා ගැනයි...

දේව්දාස්...

Friday, August 19, 2011

දේව්දාස් දුටු ගැහැණු ළමයි 2...

            ඊයේ දැම්ම පොස්ට් එක දිග වැඩි උන නිසා අද ඉතුරු ටික දැම්මේ... ඒක ගැන දේව්දාස් ආපහු කියන්නේ නෑ... ඇත්තටම අද දාන පොස්ට් එක ගැනයි පොල් the සමන් ගේ " ඒ මගේ කෙල්ල ඕයි..." ලිපියේ මම සඳහන් කලේ... මෙන්න මේකයි කතාව...

            මතකයි නේ දේව්දාස් දෙවුන්දර පෙරහැර බලන්න දවස් 7 ම ගිය කිව්වා... ඔන්න ඔහොම ගියේ ස්කොලේ කාලේ යාළුවො එක්ක කිව්වනේ... මේ යාළුවො අතරේ ඉන්නවා සාමාන්‍යයෙන් එයත් එක්ක ගියාම අපේ ලකුණු කැපෙන ජාතියේ යාලුවෙක්... ඒ කියන්නේ කොල්ල කඩවසම්... අපි එයත් එක්ක ගියාම, නිකම්මු වගේ... ඔක්කොම බලන්නේ එය දිහා... ඉතින් අපි පෙරහැර බලලා දේවාලේ ටිකක් ඉඳල තමයි ගෙදර එන්නේ... මෙහෙම දේවාලේ ඉන්නකොට වයස අවුරුදු 23 ක විතර ගෑනු ළමයෙක් අපි ඉන්න තැනින් අපි දිහා බලන් ගියා... (අපි කිව්වට අපි දිහා නෙමයි, අර යාළුවා දිහා...)

            අපි දිහා බලන් ගිහින් අපේ ඉස්සරහ හිටපු කීපදෙනෙක්ට එකතු උනා... අපේ යාලුවත් ඒ පැත්තම බලන් හිටියා... ඒ ගෑනු ළමයත් දැන් අපේ පැත්ත සැරින් සැරේ බලනවා... අපේ යාලුවට දැන් ෆෝන් නම්බර් එක දෙන්න ඕනේ මේ ගෑනු ළමයට... ඉතින් අපේ තව එක්කෙනෙකුත් අල්ලාගෙන නම්බර් එක කොළ කෑල්ලක ලියලා දැන් බලන් ඉන්නවා කෙල්ල තනි වෙනකන් නම්බර් එක දෙන්න... ගෑනු ළමය මේ වෙලාවේම දේවාලේ ඇතුලට ගියා පූජාවට... අපේ කොල්ලෝ දෙන්නත් නම්බර් එකත අරන් දේවාලෙ ඇතුලට ගියා...

            ටික වෙලාවකින් මූණු හිනාවෙන් පුරවගෙන මේ දෙන්නා එනවා එලියට... අහන්න දෙයක් නෑනේ... වැඩේ හරි... ඉතින් ගෑනු ළමයත් එලියට ආවා... දැන් දෙන්නා හොරාට බල බල මුකුළු කරනවා... අපි ඉන්නවද කියල ගානක් නෑ... ඉතින් ඔහොම ඉඳල ගෑනු ළමයා යන්න හදනකොට අපේ යාළුවා අර Dialog advertisement එකේ වගේ call me කියල අතින් පෙන්නුවා... ඒ ගෑනු ළමයත් හිනා වෙලා ගියා... ඊට පස්සේ තමයි ඇතුලේ උන දේවල් අහගන්න පුළුවන් උනේ... ඇතුලෙදි නම්බර් එක දෙනකොට ඒ ගෑනු ළමය අතින් ඇල්ලුවා කියල කිව්වා... ඇත්ත බොරු දන්නේ යාළුවයි, ඒ ගෑනු ළමයයි, ඇතුලේ හිටිය දෙයියෝයි තමයි... හැබැයි මේ යාලුවට එහෙම බොරු කියන්න උවමනාවක් නම් නෑ...

            ඉතින් අපි ඊළඟ දවස වෙනකන් පුන පුනා බලන හිටියේ විස්තරේ දැන ගන්න... ඒත් අපේ බලාපොරොත්තු සුන් උන දෙයක් වෙලා තිබුනේ... යාළුවගේ ෆෝන් එකේ මොකක්දෝ අවුලක් වෙලා on කළ ගමන්ම off උනාලු... ඉතින් ඒ ෆෝන් එක හදපු කෙනාගේ සියලු නෑයන් මතක් කරමින් අපි පෙරහෙර බලලා පුරුදු විදියට දේවාලේ ගාවට අවා.. මෙන්න අදත් ඉන්නවා... දැන් ඉතින් අපි හැමෝගෙම ඉහේ මල් පිපිලා ආයෙත් පිපුණා...(අපිට මොකටද කියල අහන්න එපා...)

           දැන් ඉතින් අපේ යාලුවට ඕනේ face to face කතා කරන්න... ඒත් ගෙදර අය ඉන්නවනේ... ඉතින් ගොළු භාෂාවෙන් කිව්වා චෛතයේ ලඟට එන්න කියල... ඉතින් මේ ගෑනු ළමයා නංගි එක්ක චෛතයේ ලඟට එන්න හදනකොට තාත්තත් පස්සෙන් ආවා... දැන් ඉතින් මොකෝ කරන්නේ... පොඩ්ඩක් කැරකි කැරකි ඉඳලා ආව ආපහු... ආයෙත් ටික වෙලාවකින් ආයෙත් කිව්වා බෝ ගහ ලඟට එන්න කියලා... ඒත් තාත්ත පස්සෙන්මයි... ඉතින් ඒ බලාපොරොත්තුවත් ඉෂ්ට නොවුන නිසා අපි තීරණය කළා ඊළඟ දවසක වෙනකන් ඉවසල ඉන්න... අපේ යාළුවා වෙන යාලුවෙක්ගෙන් ෆෝන් එකක් ඉල්ලගෙන තමයි ගියේ...

            ඉතින් ඊළඟ දවසේ අපි යාළුවා එනකන් හිටියේ උන දේ අහගන්න... ඒත් අපිට අහන්න උනේ කොහොමවත් බලාපොරොත්තු උන දෙයක් නෙමෙයි... මෙන්න මේකයි වෙලා තියෙන්නේ...

            අපේ යාළුවා කලින් දවසේ බලාපොරොත්තු සුන් කරගෙන motor bike ඒකෙන ගෙදර යන අතරතුරේ අඳුනන්නේ නැති නම්බර් එකකින් call එකක් ඇවිත්... කතා කරලා තියෙන්නේ වෙන කව්රුවත් නෙමෙයි, අර ගෑනු ලමයම තමයි... හැබැයි කොච්චර කතා කරලද කියනවනම් ඒ යාලුවට දෙවුන්දර ඉඳං ගෙදර යන්න පැය 1 1/2 ක යනවා... රෑ නිසා පැයකින් විතර ගිහින්... ඒ පැය පුරාවටම ඒ ගෑනු ළමයා එයාගේ ෆෝන් එකෙන් කතා කරලා... ඒ කියන්නේ එයාගේ සල්ලි වලින්... හැබැයි කතා කරනකොට අපේ යාළුවා අහලා boyfriend කෙනෙක් ඉන්නවද කියලා... ඔව් කියලා... තව කියල තියනවා එයාට නම්බර් ගොඩක් ලැබුනලු... අනිත් ඒවා විසික් කරාලු... තියා ගත්තේ මේ නම්බර් එක විතරලු...

            ඔහොම ගෙදරට යනකන් කතා කර කර ගිය අපේ යාළුවා ගෙදර ගාවදි එයාගේ උවමනාවට ෆෝන් එක cut කරලා තියනවා...අපිට කිව්වා... "අපෝ බං මට නම් එපා උනා... කෙල්ලෙක් ඔහොම වෙයි කියල මමනම් හිතුවේ නෑ බං...: කියලා... හොඳම හරිය උනේ ඊට පස්සේ... මෙතන හිටිය අපේ සෙට් එකේ කෙල්ලෙක් ජීවිතේට හිටියේ නැති යාලුවෙක් "ඔන්න බං එහෙනම් මට ඔය නම්බර් එක දියන්..." කියල ඉල්ලා ගත්තා... ආරංචියේ හැටියට දැන් ඒ ගෑනු ළමයා කතා කරන්නේ ඒ යාලුවත් එක්ක...

            මේ පොස්ට් එක මම ලිව්වේ ගෑනු ළමයින්ට අපහාසයකටවත්,දේව්දාස් ගේ යාළුවො පොර කරන්නවත් නෙමෙයි... පොල් the සමන් ගේ පොස්ට් එක දැක්කම මේ සිද්දීන් මතකයට ආව නිසයි...

            අවසානයට මේ දේ මතක් කරන්නම්... මොන දේ කලත් පිරිමි ළමයෙක් වතුර කාලයක් නාවල ගෙට ගන්න පුළුවන් ලු... ඒත් ගෑනු ළමයෙක් කිරි කල හතක් නෑවෙවුවත් බෑ ලු... මේ සමාජ පිලි ගැනීම... පිළිගැනීම නොගැනීම ඔබ සතුයි... මේ දේව්දාස් දුටු ගැහැණු ළමයි...

දේව්දාස්...

දේව්දාස් නම් වූ නාම විශ්ලේෂකයා...

            මේ ලියන්නේ දේව්දාස් ලියන්න හිටිය ලිපියක් නෙමෙයි... ඒත් දේව්දාස් ට නිකමට හිතුණා තමන්ට තියෙන හැකියාවක් ගැන අනිත් අයටත් කියල එයාලා එක්ක බෙදාගන්න... වැඩිය දිගට කියන්න ඕනේ නෑ... මෙන්න මේකයි වැඩේ... දේව්දාස් ට පුංචි හැකියාවක් තියෙනවා ඕනෙම කෙනෙක් ගේ නමේ තේරුම කියන්න... විකාරයි වගේද? එහෙනම් මෙතනින් එහාට කියවන්න එපා... එච්චර දුර හරි කියපු එකට ගොඩක් ස්තුතියි...

            මෙන්න මේ හැකියාව උපයෝගී කරගෙන දේව්දාස් බ්ලොග් අවකාශයේ ඕනේ කෙනෙක් කියන ඕනේ නමක තේරුම කියන්න සූදානම්... එකක් දෙකක් ඔන්න දැන්ම කියන්නම්...

             රත්ගමයා - ර , ත්, ගමයා
                              රා , අත්, ගමයා
                              ඔය ගමගේ අතේ නිතරම රා මුට්ටියක් තියෙනවලු නේ...

              පොල් the සමන් - අපි සමන් කියන කෑල්ල ගමු...
                              සම, න්
                              සමාන අන් තියෙනවලු නේ කිසි ඇදයක් උස පහත් බවකින් තොරව...

             කාටහරි තමන්ගේ නැත්නම් යාලුවෙක්ගේ නමක තේරුම් දැන ගන්න ඕනේ නම් කමෙන්ට් ලියන තැනින් නම ලියන්න... දේව්දාස් නිතරම බ්ලොග් එකේ ඉන්නේ නැති නිසා මූණු පොතේ ග්රූප් එකේ මේ ලිපිය ගැන පළ කරන පොස්ට් එකේ යටින් පොඩි සටහනක් දාන්න... එතකොට දේව්දාස් ට නොටිෆිකේෂන් එකක් එනවනේ... එහෙනම් කට්ටිය නම් එවන්නකො...

             ඊයේ දාපු ලිපියේ ඉතුරු කොටස අද රෑ වෙන්න දාන්නම්... මතකයි නේ, ගෑනු ළමයි ගැන ලියල තිබුනේ...

              රත්ගමයා සහ පොල් the සමන් සමග මාගේ කිසිදු තරහක් නැති බවත්, හුදෙක් උදාහරණයට පමණක් ඔවුන් දෙදෙනාගේ නම් ඉහත සඳහන් කල බවත් කරුණාවෙන් සලකන්න...


දේව්දාස්...

Thursday, August 18, 2011

දේව්දාස් දුටු ගැහැණු ළමයි...

            අද උදේ දේව්දාස් 11 ට විතර පාන්දරින්ම නැගිට්ටා... සුපුරුදු ක්‍රියා පටිපාටියට පස්සේ අලුතෙන් දාපු බ්ලොග් ලිපි කියෙව්වා... ඔහොම කියවන අතර තුරේ පොල් සමන් ගේ ලිපියකුත් කියවන්න ලැබුණා... වෙන මුකුත් ගැන නෙමෙයි, ඔය උඩින තියෙන මාතෘකාවට සම්බන්ධ දෙයක් ගැන... ගෑණු ළමයි ගැන... ඉතිං ගෑණු ළමයි ගැන නිසා දේව්දාස් නුත් අනිත් ලිපි පැත්තකින් තියල හනිකට පොල් සමන් ගේ ලිපිය බැලුව... ඉතිං ඔහොම ආසාවෙන්  ඔය ලිපිය කියවල ඉවර උනාම දේව්දාස්ටත් මතක් උනා මමත් දැකපු අහපු ඔය වගේ සිද්දීන්... හෝ දහය විස්ස ගහල ඔන්න දේව්දාස් සිද්දි දෙකක් තෝර ගත්තා... මෙන්න මේකයි උනේ...

             1. දේව්දාස් A/L කරන කාලේ, ඒ කියන්නේ ගිය අවුරුද්දේ, දේව්දාස් එයාගේ යාලුවෝ එක්ක විභාගයට  මාස 2 ක් විතර කල් තියෙන කාලෙක ගියා ටිකක් relax වෙන්න කියල ෆිල්ම් එකක් බලන්න... (ඒකයි මේ තාම relax එකේ ඉන්නේ) ඉතිං අපි ෆිල්ම් එකක් බලන්න ගියොත් ඒක බලල ඉවර වෙලා හැමදාම වගේ එලියට වෙලා ඉන්නවා ෆිල්ම් එක බලන්න ආපු අය කව්ද කියල බලන්න... (කුතුහලය මිසක් වෙන දෙයක් නෙමෙයි)

              ඉතිං ඔහොම බලන් ඉන්නකොට දේව්දාස් ගේ ගෙවල් පැත්තේ නංගි කෙනෙක් එනවා එලියට එයාගේ වෙන්න ඉන්න මහත්තයා එක්ක... මාම හිතුවේ නෑ ඒ නංගි මාව අඳුනනවා ඇති කියල... ඒත් ඒ නංගි මාව දැක්ක ගමන් වෙන්න මහත්තයට මුවා වෙලා ගියා... හැබැයි ඉතිං මම එයාව දැකල ඉවරයි...

              හැබැයි ඉතිං හොඳම වැඩේ උනේ ඊළඟ සතියේ... අපි ෆිල්ම් එක බලන්න ඊට කලින් සතියේ කට් කල පන්තියේ ඉස්සරහම පේලියේ වාඩි වෙලා හොඳ ළමයි වගේ හිටියා... පන්තියේ කම්මැලි පැය දෙක ඉවර උන හැටියේ අපි දුවන්නේ අර ෆිල්ම් එක බලන්න ගිය ෆිල්ම් හෝල් එක ගාව තියෙන බේකරි එකට... මොකද ඒකෙ රුපියල් 15 ට දෙනවා උළුඳු වඩේ එකක්, ගහල බිම දාන පුළුවන් මිනිහෙක්ව... ඉතිං අපි බඩ පැලෙන්න කාලා එලියට බැස්ස විතරයි මෙන්න අර නංගි අදත් ෆිල්ම් එක බලල එනවා එලියට...

             පළවෙනි දවසේ ෆිල්ම් එක බලන්න ගිය කියමු, දෙවනි දවසේ බලන්න යන්නේ මග ඇරිච්ච ඒවා බලන්නද? මග ඇරෙන්න මොනවා කලාද? ඔන්න ඕවා තමයි දෙව්දාස්ට ආපු ප්‍රශ්න... කොහොම කොහොම හරි නංගි නම්  දේව්දාස් ව දැක්කේ නෑ එදා... ඔය සිද්දිය වෙලා සතියක් යන්න උනේ නෑ මෙන්න ගමේ හැමෝගෙම ෆෝන් වල  අර නංගි ගේ video එකක් තියෙනවා... මොන වගේ video එකක්ද කියල කියන්න ඕනේ නෑ නේ...

              ඔය සිද්දිය ගමේ ගොඩක් ලොකුවට ඇවිලුනා... මේ නංගි ව එයාලගේ අම්මලා නෑ කෙනෙක්ගේ ගෙදරක නැවැත්තුවා මාතර වල්ගම පැත්තේ... හැබැයි ඒ ගෑණු ළමය ගැන සක්සේරුවක් ගන්න පුළුවන් විදියේ  සිද්දියක් දේව්දාස් ඊට ටික කාලෙකට පස්සේ දැක්කා... ඒ නංගි ම වෙන වෙන්න මහත්තයෙක් එක්ක බස් එකක යනවා පස්සේ සීට් එකේ... අච්චර දෙයක් වෙලත්... අනේ මන්දා... දේව්දාස් මේ කතාව කිව්වේ පොල් සමන් කියල තිබුණ ගෑණු ලමයයි මේ ගෑණු ලමයයි අතරේ තියෙන්නේ කෙස් ගහක වෙනසක් විතරක් නිසා...

             දෙවෙනි කතාව කියන්න ගියොත් මේ ලිපිය පැදුරක් වෙන නිසා ඒ කතාව හෙට පළ කරන්නම්... දේව්දාස් දන්නවා හැම ගෑණු ලමයම එක වගේ නෑ කියල... ඒත් බහුතරයක් එක වගේ... ඒ මෙන්න මේ කිව්ව වගේ... ඉතිං මේ ලිපිය දේව්දාස් දුටු ගැහැණු ළමයි ගැනයි...

දේව්දාස්

Wednesday, August 17, 2011

දේව්දාස් ආදරය දකින හැටි...

            දේව්දාස් ඊයේ ආදරේ පොඩ්ඩක් සම්බන්ධ වුනු ලිපියක් පළ කළා... ඉතින් බ්ලොග් අඩවියට සහ පෞද්ගලිකව ලැබුණු අදහස් ගැන හිතල බලන කොට දේව්දාස් ට හිතුනා දේව්දාස් ආදරේ දකින විදිය ගැන ලියන්න... මේ දේව්දාස් ට ආදරේ ගැන හිතෙන හැටි...

            කෙලින්ම කිව්වොත් අපි ගොඩක් දෙනා ආදරේ කරලා නෑ... ආදරේ කරනවා කියල කරලා තියෙන්නේ ආදරේ නෙමෙයි... ඉන්න මට බනින්න එපා... මම තේරුම් කරන්නම්...

             අපි කියනවා නේද "ඔයාව දැක්ක වෙලාවෙමයි මට ඔයා ගැන ආදරේ හිතුනේ" කියල... ඒත් ඒ ඇති වෙලා තියෙන්නේ ආදරේ නෙමෙයි... ආදරේ ඇති වෙන්න බොහෝ දුරට ගොඩක් කල යනවා... සමහරවිට ගොඩක් කල් යන්නේ නැතිව ආදරේ ඇති වෙන්න පුළුවන්... තේරෙන්නේ නෑ නේද..? ඉන්න සරලව තේරුම් කරන්නම්...

             මිනිස්සු එක පාරට තරුණ වෙලා ඉපදෙන්නේ නෑ නේද..? ඒ වගේම ආදරේ කියන කාරණාව එක පාරටම ඇති වෙන්නේ නෑ... ආදරේ කියන කාරණාව ඇති වෙන්න කලින් අවධි 4 ක් පහු කරන්න තියෙනවා...

              1.  ආකර්ෂණය
                                     විරුද්ධ ලිංගිකයෙක් දැක්කම අපි කාටත් ඇති වෙන දේ... අපි ඕකට තමයි දැක්ක ගමන් ආදරේ ඇති උනා කියල කියන්නේ... ඒත් නෑ... අපි කෙනෙක් දැක්කම ඇති වෙන ආසාව තමයි පළවෙනි අවධිය...

               2.  ආශ්‍රය
                            ආකර්ෂණය ඇති උනාට පස්සේ අපි උත්සහ කරන්නේ මෙන්න මේ දේට... ආකර්ෂණය ආදරේ කියල හිතාගෙන කැමැත්ත අහනවා... අහල කැමති උනාම ආදරේ කරනවා කියල කරන්නේ ආශ්‍රය කරන එක... මේ ඉහත කිව්ව දෙකම අපිට සුපුරුදු කරුණු...

               3.  සොයා බැලීම
                                        ආශ්‍රය කරන කාලයේදී අපි සොයන දේවල් එයා ළඟ තියේද නැද්ද, අපි කැමති නැති දේවල් එයා ළඟ තියේද නැද්ද,  එයා කැමති නැති දේවල් අපි ළඟ තියේද, මේ අපි හොයන කෙනාද කියන එක හොයල බලන එකයි මේ අවධියේදී කරන්නේ... අපිට ආදරේ කරනවා කියල ආශ්‍රය කරනකොට  ඒ කෙනාගේ වැරදි පෙන්නේ නෑ මේ කාලෙදි... හැබැයි පස්සේ නැති වැරදිත් පේනවනේ...

               4.  තේරුම් ගැනීම
                                         සොයා බැලීම තුලින් තමන් තේරුම් ගත් තමන්ගේ වැරදි අඩු පාඩු, අනෙකාගේ වැරදි අඩු පාඩු හදාගන්න, ඒ අනුව හැඩ  ගැහෙන්න පුලුවන්ද කියල තමන් තේරුම් ගැනීම තමයි 4 වෙනි අවධිය...

               5.  ආදරය
                              මේ අවධි 4 පහු කරලා තමන්ට ගැලපෙන කෙනා තෝර ගන්නා කෙනෙක්ට ආදරේ ගැන පසු තැවෙන්න අවශ්‍ය වෙන එකක් නෑ... ඒ වගේම ජීවිතේට ආදරය දෙතුන් වතාවක් අවශ්‍ය වෙන එකකුත් නෑ...

              කෙනෙක් දැක්කම ඇතිවන ආකර්ෂණය මත ගොඩ නැගෙන සම්බන්දතාව ආදරය කියල වරදවා වටහා ගත්ත අපේ මුළු සමාජයටම මේ ලිපිය වැදගත් වෙයි කියල දේව්දාස් විශ්වාස කරනවා... විශේෂයෙන්ම ගැහැණු ළමයින්ට... මොකද, වර්තමානයේ එයාල තමන්ගේ වටිනාකම ගැන හැගීමක් නැතිව කරන වැඩ ගැන හැම තැනින්ම අහන්න ලැබෙනවා... ඒ ගැන වෙනම ලිපියක් පළ කරන්න බලාපොරොත්තු වෙනවා...

              ඉතින් මීට වඩා වෙනස් අදහස් ඔයාලට ඇති... දේව්දාස් සූදානම් ඒවා ගැන දැනගන්න... මේ දේව්දාස් ආදරේ දකින හැටි...

Tuesday, August 16, 2011

දේව්දාස් ගේ කතාව...

           ඊයේ (15) දේව්දාස් ට ටිකක් දුක සතුට එක වගේ හිතුන දවසක්... වැඩි වැල් වටාරම් ලියන්නේ නෑ... මෙන්න මේකයි හේතුව...

           ඊයේ උසස් පෙළ සිංහල විෂය තිබුන දවසනේ... ඉතින් දේව්දාස් ගේ පාරෝ ත් සිංහල ප්‍රශ්න පත්‍රයට පෙනී හිටියා... විභාගේ පටන් අරන් සතියක් උනත් පාරෝ ට මුලින්ම තිබුණ විෂය තමයි සිංහල විෂය... ඉතින් පාරෝ මුලින්ම විභාගයට ගියේ ඊයේ දවසෙයි... ඉතින් දේව්දාස් ට ඕනේ උනා පාරෝ ට සුභ පතන්න... ඒත් දේව්දාස් ගේ මොකක්දෝ අවාසනාවකට දෙව්දාස්ට එකට ඉඩක් තිබුනේ නෑ...

          මොකද දේව්දාස් පාරෝව නැති කරගෙන ඉවරයි... මම මේ ලිපිය ලියන්නේ දේව්දාස් ගේ විරහ කතාව ලියන්න නෙමෙයි... පාරෝව නැති වෙච්ච හැටි ලියන්නත් නෙමෙයි... මට පාරෝ ට සුභ පතන්න විදියක් නැති වෙන්න හේතු දෙකක් තිබුණා... එකක් පාරෝ එයාගේ phone number එක වෙනස් කරගෙන... අනිත් හේතුව තමයි මම ආයෙත් එයාගේ මතකයට ඇවිත් එයා විභාගේ upset කර ගනියිද කියල තිබ්බ බය...

         ඒත් මට සුභ පතන්නේ නැතුව ඉන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ... මම එයාගේ ගෙදර number එකට සුභ පතලා message එකක් දැම්මා... මම දන්නවා ඒක දැක්කම එයා upset වෙයි කියලා... ඒ වගේම මම ගැන මතක උනාම එයාට මං ගැන වෛරයක් ඇතිවෙයි... ඒත් මගේ හිත මට අවනත උනේ නෑ... දැන් මේ හැම දේම වෙලා ඉවරයි...

        දේව්දාස් බලාපොරොත්තු වෙන්නේ නෑ එයාගේ විරහ කතාව බ්ලොග් එකේ ලියන්න... නමුත් දේව්දාස් ට කවද හරි තමන්ගේ හිත නිදහස් කර ගන්න හිතුනොත් ඒ ගැන ලියයි... මොකද දේව්දාස් මේ ලිපිය ලියන්නෙත් හිතට දැනුන දුක අඩු කර ගන්න...

       හැබැයි මේ දේව්දාස් කවදාවත් පාරෝ නැති උනා කියල ගිනි වතුර කටේ තියලවත් චන්ද්‍රමුඛ් ලා හොයන් ගිහිල්ලත් නෑ... හැබැයි චන්ද්‍රමුඛ් කෙනෙක් නොවුනත් ඒ හා සමාන අද්දැකීම් නුත් දෙව්දාස්ට අත්විඳින්න ලැබිලා තියෙනවා... දෙව්දාස්ට හිතුනොත් ඒ ගැන ඉදිරියේදී ලිපියක් පල කරන්නම්...

       ඉතින් මේ දේව්දාස් ගේ කතාව කියවල කාට හරි කම්මැලි කමක් හිතුනා නම් දේව්දාස් ට සමාවෙන්න... මොකද කම්මැලි ලිපි බලන්න ඔයාල එන්නේ නෑ කියල දේව්දාස් දන්නවා... මේ දේව්දාස් ගේ කතාවයි...

Monday, August 15, 2011

සතියකට පසු දේව්දාස්...

                කාලෙකින් දේව්දාස් මේ පැත්තේ ආවේ... ඔයාලා දැනටමත් දන්නවනේ දේව්දාස් මාතර කෙනෙක් කියල... ඉතින් නුවර ට දළදා පෙරහැර වගේ මාතරට උප්පලවණ්ණ පෙරහැර ගොඩක් වැදගත්... ඉතින් පහු ගිය සතියෙම පෙරහැර බලන්න ගිහින් එද්දී ගොඩක් රෑ උන නිසා බ්ලොග් එකක් ලියන්න වෙලාවක් තිබුනේ නෑ...

              ඉතින් අද දේව් ගේ ලිපිය දෙවුන්දර පෙරහැර ගැන නෙමෙයි... ඒත් ඒ සම්භන්ධ දෙයක් ගැන කිව්වොත් හරි... මේ ලිපිය මම ලියන්නේ කාටවත් අපහාසයක් කරන්න නෙමෙයි කියල දැන්ම කියන්නම්... මෙන්න මේකයි සිද්ධිය...

              අපි (මම + මගේ පාසල් මිතුරෝ) පෙරහැර බලන්නේ දෙවුන්දර අපේ තවත් එක් පාසැල් මිතුරෙකුගේ ගෙදර ගිහින්... අපිට කෑම බීම motor cycle නවත්තන්න ඕනේ දෙයක් එහෙන් ඕනේ වෙලාවක ready. ඉතින් අපි හැමෝම එහේ ගිහින් පෙරහැර පටන් ගන්න පැය භාගෙකට කලින් විතර පන්සලට එනවා... ඔහොම අපි ඇවිත් කතා කර කර ඉන්න අතරේ අපේ යාලුවෙක්ගෙන් හොඳ මාතෘකාවක් ඉදිරිපත් උනා...

             වෙන මුකුත් නෙමෙයි... පන්සලට ඇවිත් හිටිය ගෑණු ළමයි, එයාලගේ අම්මල එහෙම ඇඳන් හිටපු ඇඳුම් ගැන... අපි ඒ යාලුවට විහිලු කරා අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න කියල... ඒත් ගෙදර ඇවිත් කල්පනා කළාම ඒ දේ ගැන, ඒ වෙලාවේ ඒ යාළුවා කියපු දේවල් හරි කියල හිතෙනවා...

            ඇවිල්ල හිටිය අයගෙන් 98% විතරම ඇඳන් හිටියේ සීනි බෝල පාට ඇඳුම්... නිල් පාට, කහ පාට, රතු පාට, රෝස පාට, කොළ පාට ඇඳුම්... අපේ යාළුවා ගෙනාපු තර්කය තමයි මේ ගෑණු ළමයි එන්නේ පෙරහැර බැලීමට වඩා පිරිමි ළමයින්ට පෙන්න කියලා... ඒක ඇත්ත කියල මටත් හිතෙනවා... අපි කැපිල පේන්න උත්සහ කරන විදි තියෙනවා...

           රූපයෙන්, කතාවෙන්, ඇඳුමෙන්, හැසිරීමෙන් වගේ නොයෙක් විදි වලට අපි හැමෝම කැපිල පේන්න උත්සහ කරනවා... ඒක මම, මේ කියවන ඔයා, අපි හැමෝටම පොදු දෙයක්... ඉතින් ඒ යාළුවා කිව්වා වගේ එයාල ඒ ඇස් කඩාගෙන යන පාටවල ඇඳුම් ඇඳලා ඇවිත් ඉන්නේ පන්සලට ඇත්තටම බැති සිතින්ද නැත්නම් අනිත් අය ඉදිරියේ කැපිල පේන්නද කියන එක හිත ගන්න අමාරුයි... හැබැයි මම මගේ ගැන කල්පනා කරනකොට මටත් තේරුන දේ තමයි, මමත් ඇත්තටම පෙරහැර බලන්න ගිය හේතු වලින් 30% විතර වෙන් වෙන්නේ මේ මම කිව්ව දේට තමයි කියල...

           මේ කියපු දේ විකාරයක් කියල හිතුන නම් දේව්දාස් ට සමාවෙන්න... මම පැහැදිලි කරන්න උත්සහ කලේ අපි නොදැනීම අපේ යටි හිත අපිව පාලනය කරන විදිය... මේ කිව්වේ එක දෙයක් ගැන විතරක් උනත් ඔයාට මේ ගැන මීට වෙනස් අද්දැකීම් තියෙනවා ඇති... පුළුවන් නම් ඒ ගැන සඳහන් කරන්න... මොකද ගුරුවරයෙක් විදියට දේව් ට ඒ දේවල් කොයි මොහොතක හෝ වැදගත් වෙන්න පුළුවන්... විශේෂයෙන්ම මම මිශ්‍ර පාසැලක උගන්වන නිසා...

          ඉතින් කාලෙකින් ඇවිත් දාපු ලිපිය විකාරයක් කියල හිතන්න එපා... හැමදාම අපි කතා කරන්නේ ආදරේ, විරහව, ඕප දූප, විහිළු වගේ දේවල් විතරයි... දේව්දාස් ලියන්නේ දෙව්දාස්ගේ අද්දැකීම් විතරයි... ඉතින් මේ තියෙන්නේ දෙව්දාස්ට හිතුන දෙයක්... ඔයාට මේකෙන් දෙයක් හිතන්න පුළුවන් වෙයි කියල දේව්දාස් විශ්වාස කරනවා...

දේව්දාස්...

Wednesday, August 3, 2011

දේව්දාස් නැමති ගුරුවරයා...

            කලින් ලිපි වලින් කිව්වා වගේ දේව්දාස් කියන්නේ ගුරුවරයෙක්... අද මේ ලිපිය දේව්දාස් නැමති ගුරුවරයාගේ ගුරු ජීවිතය ගැන යමක් පැවසීමට ලියන ලද්දක්... කලින් ලිපියේ විසිතුරු අහල තිබුනා පාරෝ, චන්ද්‍රමුඛ් ගැන... එයාල ගැන ලිපි ඉදිරියට පල කරන්න බලාපොරොත්තු වෙනවා... ඉතින් අද කියන්න හදන්නේ දේව්දාස් ගේ ගුරු ජීවිතේ ගැන...

            මම ඉංග්‍රීසි විෂය භාර ගුරුවරයෙක් උනත් අනිත් භාහිර වැඩ කටයුතු, පරිගණක අංශයේ වැඩ කටයුතු වලටත් සම්බන්ධ වෙනවා... මම මුලිනුත් කිව්වා වගේ මම ඉගැන්වීම් කරන පාසල ගම්බද පාසලක්... මට ඉගැන්වීම් කටයුතු තියෙන්නේ 1 කාල පරිච්චේදයක විතරයි... දවසක් මම දැක්ක 8 හෝ 9 යේ පන්තිවල පෙනුම තියෙන ළමය ටිකක් ඩෙස්ක් එකක ලෑලි කඩනවා... ඉතින් මම ලඟට ගිහින් සැරෙන් ඇහුව මොකද ඔය කරන්නේ කියල... එතකොට බයෙන් බයෙන් අ ළමය කිව්වේ සර්, බෝල ගහන්න බැට් එකක් හදා ගන්න කියල... අපි අතරේ ක්‍රිකට් කියන ක්‍රීඩාව කොච්චර ජනප්‍රියද කියල මම කියන්න ඕනේ නෑ... මම පාසලේ ක්‍රීඩා ගැන හොයන කොට තමය දන ගන්න ලැබුණේ මේ පාසලේ ක්‍රිකට් කණ්ඩායමක් වත නෑ කියල... හැබැයි ලොකු පිට්ටනියක් නම් තියෙනවා...

             ඉතින් මම ක්‍රීඩා කරන ගුරුතුමා එක්ක කතා කරලා 8 , 9 පන්තිවලින් කණ්ඩායම් හදල ක්‍රිකට් තරඟාවලියක් පවත්වන්න සූදානම් කළා... එක පන්තියකින් එක කණ්ඩායමක් විදියට තරඟය සූදානම් කළා... ඉතින් ඒ තරගාවලිය ඊයේ දවසේ ඇතලත පවත්වලා ඉවර කළා... ඒත් අන්තිම මහා තරඟය අද දවසේ පාසලේ ළමුන් , ගුරුවරු ඉදිරියේ පවත්වන්න ළමයි කැමති උනා... මොකද උන් ආසයි කොල්ලෝ කෙල්ලෝ ඉස්සරහා, තමන්ට උගන්නන ගුරුවරු ඉස්සරහා තමන්ගේ වැඩ පෙන්නන්න... උන් විතරක් නෙමෙයි අපිත් ආසයි නේ...

             අද අවසන් මහා තරඟය පැවැත්වුවත් යම් යම් හිත රිදෙන සිද්ධීන් නොවුනාම නෙමෙයි... 35 කට ආසන්න ගුරු මණ්ඩලයට කල ආරාධනය පිළිගෙන ළමයින්ගේ දක්ෂතා බලන්න ආවේ ගුරුවරු 2 යි... අනිත් ගුරුවරු නොආපු හේතුව මම දන ගත්තේ පස්සේ... හේතුව තමයි මේ තරඟාවලිය සූදානම් කලේ දේව්දාස් වීම... හැම තැනකම මෙහෙම අය ඉන්නවා කියල මම දන්නවා... එක නිසා මම සැලෙන්නේ නෑ... හැබැයි මේ තරඟාවලිය දැකල ඒ අතර හිටිය දක්ෂතා ඇති ළමුන් එකතු කරලා පාසැල් ක්‍රිකට් කණ්ඩායමක් හදන්න ක්‍රීඩා භාර ගුරුතුමා තීරණය කළාම දේව්දාස් ට දැනුන සතුට වචනෙන් විස්තර කරන්න බෑ...

            දේව්දාස් මේ පාසැල තුල සිදු කළ තවත් දේවල් ඉදිරි ලිපි වලින් ලියන්න දේව්දාස් බලාපොරොත්තු වෙනවා... නමුත් මම මේ දේ කියන්නම ඕනේ... මේක අද මගේ ඇස දෙක ඉස්සරහා සිදු උන සිදුවීමක්...

            මම විභාග ශාලාවේ ඉන්න වෙලාවේ එකතරා ගුරුතිමියක් *** කියන්නේ කව්ද කියල ඇහුවා... ඉතින් *** කියන ළමයා ඇත ඉස්සුවා... ඊට පස්සේ ඒ ගුරුතුමිය ඒ ළමයට හොඳටම බැන ගෙන බැන ගෙන ගියා... මුළු විභාග ශාලාවම මේ ළමය දිහා බලාගෙන... හේතුව අ ගුරුතුමිය ගේ ප්‍රශ්න පත්‍රයට ලියල තියෙන උත්තර වැරදි නිසා... මේ ළමය ඔලුව උස්සන්නේ නැතුව ඉන්නවා... ඇස දෙකේ කඳුළු පිරෙනවා නොදැක්කත් එහෙම වෙන්න ඇති... මොකද එයා ගැහැණු ළමයෙක්... පාසලේ ඉන්න අහිංසක ළමයෙක්... මේ ළමයා ඒ වෙලාවේ ලිය ලිය හිටිය ප්‍රශ්න පත්‍රය දිහා බලාගෙන ඉන්නවා... මම ලඟට ගිහින් කිව්වා " *** ඔයා ඕවා ඔලුවට ගන්නේ නැතුව දැන් ඕකට උත්තර ලියන්න, නැත්නම් ඕකටත් ඔහොම බැනුම් අහන්න වෙයි. " කියලා... ඒත් ඒ ළමයා ඒ ප්‍රශ්න පත්‍රයට හරියට උත්තර ලිව්වා කියල මම හිතන්නේ නෑ...

            මම මේ දේ ලිව්වේ මෙහෙම ගුරුවරුත් අපි අතරේ ඉන්නවා කියල කියන්න... තමන්ගේ විෂයට ලකුණු අඩු උනොත් කලාප කාර්යාලයට ඒ ගැන හේතු කියන්න වෙනවා...  ඒකයි මේ ගුරුවරු අසරණ ළමයන්ට මෙහෙම කරන්නේ... ගොඩාක් ගුරුවරු හිතන්නේ ළමයි ගැන නෙමෙයි තමන් ගැන... ඒ අසරණ කෙල්ලා ඒ ලිය ලිය හිටපු විෂයට හරියට උත්තර ලිව්වා කියල ඔයාල හිතනවද? මම නම් හිතන්නේ එහෙම උනේ නෑ කියලා...

දේව්දාස්

Saturday, July 30, 2011

දේව්දාස් කැම්පස් යයි...

                   නෑ නෑ දේව්දාස් එච්චර මීටරයක්‌ නෙමෙයි... මේ කියන්න හදන්නේ දේව් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝම එක හදාරන්න හා හා පුරා කියල ගිය හැටි... ඇත්තටම දේව් පොඩි කාලේ ඉඳන්ම ඉංග්‍රීසි වලට ආසයි... දේව් විශ්වාස කරනවා ඉංග්‍රීසි එයාගේ ඇඟේම තියෙනවා කියල... :ඩ්

                 ඒ වගේම දේව් ට පුළුවනුත් ඉංග්‍රීසි විතරයි... පොඩි කාලේ ඉඳං ඉගෙන ගන්න කොච්චර විෂයන් තිබ්බත් දේව් ලකුණු 75 න් එහා ගත්තේ ඉංග්‍රීසි වලට විතරයි... ( ලකුණු 18 ගත්තු විෂයනුත් තිබ්බ 1 + 1 = 3 කියල ලිව්ව ) හැබැය් දේව් සා/පෙ  අසමත් උනේ නෑ... දේව් උ/පෙ ට තෝර ගත්තේ කලා විෂයන්... 2010 අගෝස්තු වල ලිව්ව විභාගෙන් දේව් අසමත් උනා... දැන් කට්ටිය බලනවා ඇති උසස් පෙළ අසමත් කෙනෙක් කොහොමද රජයේ පාසලක ඉංග්‍රීසි උගන්නන්නේ කියල... ඔව් දේව් උසස් පෙළ අසමත් තමයි... හැබැය් ඒ ආර්ථික විද්‍යාවයි දේශපාලන විද්‍යාවයි මිසක් ඉංග්‍රීසි නෙමෙයි... ඔන්න ඉතින් යන්නේ කොහෙද මල්ලේ පොල් උනා...

                 ඔන්න ඉතින් දේව් අද උදෙන්ම නැගිටල දත කට මැද ගෙන යන්න ලේස්ති වෙලා ආව මූණු පොත පැත්තේ... ඊළඟට බ්ලොග් අඩවි පැත්තෙත් රවුමක් දාලා වෙලාව යවා ගත්තා... හරියටම දවල් 12 ට ගෙදරින් එලියට බැහැපු දේව් විශ්ව විද්‍යාලෙට ගියා... ඒත් කව්රුවත් නෑ... වෙලාව 12.15ය්... ඇවිල්ල නෙමෙයි විදලා... දේව් ගේ දඬු මොණරෙට පින් සිද්ද වෙන්න තමයි... ඉතින් දේව් පැය භාගයක් කට්ට කෑවා කව්රුහරි එනකන්... ඔන්න ඉතින් පැය භාගෙකින් විතර ආවා තව කොල්ලෙක්... වැඩේ හරි, එකම පන්තියට... ඉතින් දෙන්න ඔහොම කතා කර කර ඉන්නකොට පංතියට එකා දෙන්න ඇවිත් පිරුනා... ඊට පස්සේ පංතිය පටන් අරන් ඉවර වෙනකන් ගෙවිල ගිය පැය 4 ගෙවෙනවා දේව් ට දැනුනේ නැත්තේ ඉංග්‍රීසි විෂයට තියෙන ආසාව නිසා වෙන්න ඇති...

                  කොහොම උනත් දේව් ගේ හිත අද සතුටින් පිරිලා... ඒ නිසයි අද නම් පොස්ට් එකක් දානවමයි කියල හිත හිත ඇවිත් තව පොඩ්ඩෙන් කාණුවක පීනන්න හැදුවේ...

                  මේ ලිපියේ තේරුමක් නැතුව ඇති ඔයාලට... මම මේක ලිව්වේ හිට්ස් කමෙන්ට්ස් වලට නෙමෙයි... මගේ හිතේ තියෙන සතුට ප්‍රකාශ කරන්න... මේක කියවල තමන්ගේ වටිනා කාලය අපතේ ගිය කියල හිතෙනවා නම් දේව් ට සමාවෙන්න...
මට අද හරි සතුටුයි...!!!

දේව්දාස්

Thursday, July 28, 2011

දේව්දාස් යනු කව්රුන්ද...?

                   ආරම්භක බ්ලොග් සටහනින් කිව්වා වගේ මම ඉංග්‍රීසි ගුරුවරයක්‌... හ්ම්ම්ම්... මේක නිකන් තැනින් තැනින් කතාවක් අහනවා වගේනේ... ඔන්න එහෙනම් මම ගැන මුල ඉඳන්ම පුංචි රචනාවක්...

                   මම දේව්දාස්... කෙටියෙන් දේව්... මම ගිය අවුරුද්දේ තමයි උ/පෙ කළේ... හෑ... ගිය අවුරුද්දේ උ/පෙ කරපු එකෙක් කොහොමද ගුරුවරයෙක් උනේ කියල බලනවා ඇති නේද? ඇත්තටම මම ස්වෙච්චා ගුරුවරයෙක්... අපේ ගමේ පාසලේ ඉංග්‍රීසි උගන්නනවා... ඔන්න ඔහොමයි මම ගුරුවරයෙක් කියන්නේ... ඇත්තටම මම දන්නේ නෑ මම ඒ විදියට හඳුන්වල දෙන එක සාධාරණද කියල... මොකද මම රජයේ පත්වීමක් නොලබපු අයෙක් නිසා... කොහොම උනත් මම උගන්නන්නෙත් රජයේ පත්වීම් ලබපු ගුරුවරු උගන්නන්නෙත් එකම විෂය කරුණු...

                   මම මේ බ්ලොග් අවකාශයට ඇවිත් අදට තාම දවසයි... මම මේ ලියන දෙවැනි බ්ලොග් සටහන... දවසින් දවස ලියන්න අදහසක් නැති උනත්, මට හැකි හැම වෙලාවෙම ලියන්න බලාපොරොත්තු වෙනවා... ඉතින් මට වචනයෙන් හෝ ශක්තියක් වූ සැමට ස්තුතියි... නැවත හමුවෙමු...

දේව්දාස්

Wednesday, July 27, 2011

දේව්දාස් ගේ පළමු ලියමන...

        මම අන්තර්ජාලේ පදිංචි උනේ මීට මාස 2 කට විතර කලින්. ඒ කියන්නේ dongle එකක් ගත්තේ... ඉස්සෙල්ල කියන්නම් කෝ මම ගැන. මම ගුරුවරයෙක්. ඉංග්‍රීසි විෂය උගන්නන ගුරුවරයෙක්. වැඩ කරලා නිකන් ඉන්න කාලයේ Internet සැරිසරනකොට අහම්බෙන් දැක්ක සිංහල බ්ලොග් සටහනක්. ඉතින් එදා ඉඳං මම අද වෙනකන් බ්ලොග් සටහන් කියවන්න අමතක කරන්නේ නෑ...

         ඔහොම කියවන අතරේ මටත් හිතුනා බ්ලොග් එකක් ලියන්න. හරියටම කිව්වොත් ඊයේ රෑ 10.26ට. ඉතින් මම අද ඒ ආශාවට පණ පෙව්වා. මේ ඔයාල කියවන්නේ අන්න ඒ සිතුවිල්ලෙන් මල් ඵල ගැන වුනු මගේ බ්ලොග් සටහනය්...

        මම ආගන්තුකයෙක් මේ මහා අවකාශයට. ඒත් මම කැමතියි මේ අවකාශයේ සැරිසරන්න, මගේම සටහන් ඉදිරිපත් කරන්න. ඉතින් මෙන්න දේව්දාස් ගේ පළවෙනි බ්ලොග් සටහන. ආයෙත් හමු වෙමු.

දේව්දාස්