Saturday, October 29, 2011

දේව්දාස් නම් වූ සහෝදරයා...

            අලුත් ජීවිතයක් පටන් ගන්න උත්සහ කරන දේව්දාස්; බ්ලොග් පිටුවේ මේ ලියන්න හදන්නේ දේව් ගේ සහෝදර, සහෝදරියෝ ගැන නම් නෙමෙයි... මේක විශ්වාස කරන්න අමාරු, නමුත් 100% ඇත්ත සිදුවීම් කිහිපයක් එක මාතෘකාවක් යටතට ගන්නට දරණ උත්සාහයකුයි...

            කතාව පටන් ගන්නේ දේව්දාස් උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න කාලයේදීයි... නිකන් ඉන්න කම්මැලි කම නිසා මුහුද පැත්තේ ගිහින් අනූ නමයෙන් බේරුණු සිද්ධිය දැනටමත් දන්නවනේ... මේ සිද්ධිය  වුණේ එහෙම අත කඩාගෙන ඇවිදින්න බැරුව ගෙදරට වෙලා ඉන්න කාලෙදියි... දේව් ගේ ගෙදර පෙර පාසලක් පැවැත්වෙනවා... ඒ කියන්නේ දේව් ගේ ගෙදර, ගොඩනැගිල්ලක ගුරුවරියෝ දෙන්නෙක් උගන්නවන පෙර පාසලක් තියනවා... දේව් ට කොහෙවත් යන්න තහනම් නිසා දේව් නිකන් ඉන්න කම්මැලි කමට මේ පෙර පාසලට යන්න පුරුදු වුණා... මේ පෙර පාසල පාලනය කරන්නේ දේව් ගේ අම්මා... ඒකයි එහෙම යන්න පුළුවන් වුණේ...

            ඉතින් මෙහෙම ගිය පළවෙනි දවසෙම දේව් ට එක පොඩි ළමයෙක්ව හිතට ඇල්ලුවා... එකට හේතු ගොඩක් තිබුණා... එකක් ඒ පොඩි ළමයට තිබුණේ පාරෝගේ පොඩි කාලෙට ගොඩාක් හුරු මුහුණුවරක්... අනිත් එක දේව්දාස් තමයි පවුලේ බාලයා... ඉතින් දේව් හරි ආසයි නංගිලාට... දැන් ඉතින් දන්නවනේ මේ පොඩි කෙනා ගෑණු ළමයෙක් කියලා...

            ඉතින් දේව්දාස් මේ පොඩි ගෑණු ළමයා එක්ක ගොඩක් යාලු වුණා... කොච්චර යාලු වුනාද කිව්වොත් ඒ පොඩි කෙනා දකින්නේ නැතුව දවසක් ඉන්න බැරි වුණා... දේව් ට විතරක් නෙමෙයි, ඒ පොඩි කෙනාටත් එහෙමමයි... ඉතින් අවුරුද්දකුත් මෙහෙම ගෙවිලා ගියා... මේ අවුරුද්දක කාලය ඇතුලත දේව් එක්ක පොඩි ගෑණු ළමයා වගේම, එයාගේ පවුලේ අයත් ගොඩක් ලං වුණා... ඒ ළමයගේ අම්ම දේව් ට කිව්වේ ලොකු පුතා කියලා... දේව් ඒ පොඩ්ඩි ගේ අක්කලට කිව්වේ පොඩි නංගි, ලොකු නංගි කියලා...

             ඒත් දේව් පාසලේ උගන්නන්න යනවාත් එක්කම ඒ පොඩ්ඩි එක්ක තිබුණ ආශ්‍රය ටිකක් අඩු වුණා... ඒත් දේව් ව දැකපු තැන දුවල ඇවිත් දේව් ව බදාගන්න තරම් ආදරයක් ඒ පොඩ්ඩි ගේ හිතේ තිබුණා... දේව් ටත් එහෙමමයි...

            මීට දවස් කීපයකට කලින් පෙර පාසලෙන් ළමයින් චාරිකාවක් එක්කරගෙන ගියා... ඒ චාරිකාවට සහභාගී වෙන්න දේව්දාස් ටත් අවස්තාවක් ලැබුණා... මුළු චාරිකාව පුරාවටම මේ පොඩ්ඩි හිටියේ දේව් එක්කමයි... අම්මලා ගාවට නොගිය තරම්... ඇවිද්දේ දේව් එක්ක... කෑවේ දේව් එක්ක... නිදා ගත්තේ දේව් ළඟ... මෙතැනදී පොඩ්ඩි දේව් ට ගොඩක් ලං වුණා...

            මේ ලිපිය ලියන්න හේතු වුණු සිද්ධිය සිද්ධ වුණේ අදයි... අද හවස දේව් ගේ අක්කා ගෙදර ආපු ගමන්ම දේව් හොයන් ආවා... ඇවිත් කිව්වා අර පොඩ්ඩියි එයාගේ අම්මයි, පොඩි නංගියි පාරේදී උදේ මුණ ගැහුණා කියලා... එතැනදී පොඩ්ඩි ගේ අම්මා දේව් ගේ අක්කට කියලා, මේ පොඩ්ඩි කියනවලු ගෙදරදී මේ මාස දෙකෙන් පස්සේ මොන්ටිසෝරි ගිහින් ඉවර නිසා දේව් අයියව බලන්න වෙන්නේ නැති නිසා, දේව් අයගෙන් ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලගන්න, කතා කරලා ඉන්න වෙලාවක් බලලා මාසෙට සැරයක් ගිහින් බලලා එමු කියලා...

             තාමත් පෙර පාසල් දරුවෙක් වුණත් ඒ පොඩ්ඩි හිතල තියන දුරක් කියලයි දේව් ට නම් හිතුනේ... පොඩ්ඩි දන්නවා තව මාස දෙකකින් දේව් අයියව බලන්න වෙන්නේ නෑ කියලා... ඉතින් එකට විසඳුමකුත් හිතලා... පොඩි අයගේ මොළයට ගොඩක් දේවල් හිතන්න, තීරණ ගන්න පුළුවන් හැකියාවක් තියනවා කියලා අපි කවදාවත් හිතන්නේ නෑ... ඒත් මේ පොඩ්ඩි තාමත් පෙර පාසල් දරුවෙක්... බලන්න හිතපු දුරක්... ප්‍රශ්නේ අඳුනගෙන, ඒකට උත්තරයත් එයාම හොයාගෙන...

            දේව්දාස් දන්නේ නෑ මේ පොඩ්ඩි දේව් ගේ ජීවිතේට කොහොම ආවද කියලා... ඒත් දේව් දන්නවා දැන් මේ පොඩ්ඩි දේව් ට දේව් ගේම නංගි වගේ කියලා... සමහර සම්බන්දතා උපතින් නොලැබුණත් ආශ්‍රයෙන් ඇති වෙනවා... මේ පොඩ්ඩි ත් දැන් දේව් ට තමන්ගේම නංගි වගෙයි... පෙර පාසලින් පාසලට ගියත්, පාසලෙන් විශ්ව විද්‍යාලයට ගියත්, මේ පොඩ්ඩි දේව් ට හැමදාමත් පොඩ්ඩි විදියටම පෙනෙයි...

            මේ දේව්දාස් ට උපතින් නොලැබුණත්, අහඹු ලෙස මුණ ගැසුණු හුරුබුහුටි සහෝදරිය මුණ ගැසුණු ආකාරයි...

දේව්දාස්...

Friday, October 28, 2011

දේව්දාස් Returns...

            ගොඩාක් කාලෙකට පස්සේ දේව්දාස් ට බ්ලොග් එක පැත්තේ එන්න ලැබුණා... ඇත්තටම කිව්වොත් දේව්දාස් පහු ගිය කාලේ ලිපියක් පළ කලේ නැත්තේ ලියන්න දෙයක් නොතිබුණු නිසාම නෙමෙයි... දේව්දාස් පහු ගිය දවස්වල කළේ කල්පනා කළ එකයි... හේතුව දේව්දාස්ට හිතුණා වෙනස් වෙන්න... ඔයාලට මේ මුකුත් තේරෙන්නේ නැතුව ඇති... ඉන්න මම පැහැදිලි කරලා දෙන්නම්...

           හැමෝම දන්නා විදියට දේව්දාස් කියන්නේ උසස් පෙළ විභාගය මහා ඉහලින් සමත් කෙනෙක් නෙමෙයි... දේව්දාස් උසස් පෙළ කළේ 2010 වසරේ... නමුත් දේව්දාස් ඒ තෝර ගත්තු විෂයන් දේව්දාස් කොහොමටවත් කැමැත්තක් තිබුණ විෂයන් නම් නෙමෙයි... පාසලේ තිබුණ විෂයන් වලින් තෝර ගන්න වුණු  විෂයන් තමයි කරන්න වුණේ... ආසා නැති දෙයක් කරන්න අපි කවුරුවත් ආසා නෑ වගේ, දේව්දාස් ටත් ඒ විෂයන් කරන්න කිසිම ආසාවක් තිබුණේ නෑ... ඉතින් වපුරන විදියටලුනේ අස්වැන්න... අස්වැන්නත් එහෙමම ලැබුණා...

           ඒත් අවුරුද්දකට පස්සේ දේව්දාස් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකකට යන්න පටන් ගත්ත කියල ඔයාලා දන්නවා... මේ අතර කාලයේදී දේව්දාස්ට අවස්තාව ලැබෙනවා ඒ පරිසරයට හුරු වෙන්න... ඒ පරිසරය අත්විඳින්න... ඒ පරිසරයට, ඒ ජීවිතයට, ඒ රටාවට දේව්දාස් ගේ හිත ඇදිල ගියේ කොහොමද කියන්න දේව් දන්නේත් නෑ... ඉතින් අපි හැමෝම ආසයි අපි කැමති දේවල් අපේ ලඟට ගන්න... ගන්න බැරි දෙයක් නම් එතනට යන්න... ඉතින් දේව්දාස් නුත් තමන්ගේ හිත එක්ක වාද විවාද කරලා, අන්තිමට තීරණයක් ගත්තා... "ආයෙත් උසස් පෙළ කරනවා... උපරිමයෙන් කරලා කොහොම හරි කැම්පස් යනවා..."

           ඇත්තටම කිව්වොත් මේ තීරණය ගත්තේ විශ්ව විද්‍යාලයේ ඉන්න වෙලාවෙමයි... අයෙත් ගෙදර එන අතරේ දේව්දාස් නැවතත් මේ ගැන හිතුවා... ඔව්... මේ තීරණේ දේව්දාස්ගේ ජීවිතේ වෙනස් කරයි... අකමැති විෂයන් වෙනුවට කැමති විෂයන් කරනවා... කලබලේට කරන්න ඕනේ නෑ... 2013 අයෙත් ලියනවා...

           ඉතින් මේ දේව්දාස් පහු ගිය මාස එකහමාර පුරාම කල දේ නොවුනත් දේව්දාස් මේ ගැන ගොඩාක් කල් ඉඳං හිතුවා... ඉතින් මේ දේව්දාස් ගේ ජීවිතය වෙනස් වෙන තීරණයක් සමග නැවත පැමිණි දේව්දාස් ගේ කතාවයි...

දේව්දාස්...