Friday, October 11, 2019

බැක්ටීරියා, සිංහයා, තල්මසා


අපි මිනිස්සු.

අපි දන්නවා අපේ ඇඟේ බැක්ටීරියා ඉන්නවා කියල,
අපි දන්නවා අප්‍රිකානු වනාන්තර වල සිංහයෝ ඉන්නවා කියලත්,
අපි දන්නවා මුහුදේ තල්මස්සු ඉන්නවා කියලත්.

හැබැයි,

බැක්ටීරියා දන්නේ නෑ මේ ලෝකේ තල්මස්සු වත් සිංහයෝ වත් ඉන්නවා කියලා.
සිංහයෝ දන්නේ නෑ මේ ලෝකේ බැක්ටීරියා වත් තල්මස්සු වත් ඉන්නවා කියලා.
තල්මස්සු දන්නෙත් නෑ මේ ලෝකේ සිංහයෝ වත් බැක්ටීරියා වත් ඉන්නවා කියලා.

හැබැයි අපි මිනිස්සු මේ හැමෝම ගැන දන්නවා.

ඒත් අපි අපි ගැන දන්නේ නෑ.

බැක්ටීරියා කියන්නේ කුඩාම ජීවියෙක්. ඔබේ ඔලුවේ එක කොන්ඩ ගහක ඉන්න බැක්ටීරියා හිතාගෙන ඇති මේ තමයි මුළු ලෝකෙම කියලා. ඌ දන්නේ නෑ ඌ ඉන්නේ කෙස් ගස් මිලියන ගානක් තියෙන ඔළුවක කියලා. ඒ වගේ ඔලු බිලියන ගානක් තියෙනවා කියලා. ඉතින් ඌ කොහොමද දන්නේ වනාන්තරේ සිංහයෝ ඉන්නව කියලවත් මුහුදේ තල්මස්සු ඉන්නවා කියලවත්.

සිංහයා කියන්නේ තරමක ජීවියෙක්. ඌ ඉන්න වනාන්තරය ගැන ඌ හිතාගෙන ඇති මේ තමයි මුළු ලෝකෙම කියලා. හැබැයි ඌ දන්නේ නෑ ඒ වගේ වනාන්තර තව බර ගානක් අප්‍රිකාවේ ම තියෙයි කියලා. ඌ දන්නේ නෑ සිංහයෝ නැතත් තවත් වනාන්තර දහස් ගානක් මේ ලෝකේ වටේම තියෙයි කියලා. ඌ දන්නේ නෑ සත්තු වත්ත කියල කෘතීම තැනක සිංහයෝ තව දහස් ගානක් ඉන්නවා කියලා. ඉතින් ඌ කොහොමද දන්නේ ඇහැට පෙන්නේ නැති බැක්ටීරියා ගැනවත් මුහුදේ ඉන්න තල්මස්සු ගැනවත්.

තල්මහා කියන්නේ මේ ලෝකේ ඉන්න විශාලම ජීවියෙක්. ඌ හිතාගෙන ඇති මේ මුහුද තමයි මුළු ලෝකෙම කියලා. හැබැයි ඌ දන්නේ නෑ මේ ලෝකේ ගොඩබිම කියල දේකුත් තියෙනවා කියලා. ඒකෙ සිංහයෝ වගේ ජීවින් වගේම මිනිස්සු කියලා ජීවින් ඉන්නවා කියලත්, බැක්ටීරියා වගේ ජීවින් ඉන්නවා කියලත්.

උන්ට ඒවා දැනගෙන වැඩකුත් නෑ. මොකද උන්ට තියෙන්නේ මේ ලෝකෙට බිහි වුනු දවසේ ඉඳන්ම කනවා, ජීවිතේ රැක ගන්නවා, වර්ගයා බෝ කරනවා (නිසි කාලය ආවට පස්සේ) මැරෙනවා. එච්චරයි. ඉතින් උන් ඒ දේවල් දැනගත්තම ඇති. ඒ නිසා උන් අනිත් ජීවින් ගැන දැන ගත්තේ නැති වුනාට කිසිම ගැටළුවක් නෑ.

මිනිස්සු?

මිනිස්සු මේ හැම ජීවියා ගැනම දන්නවා. තමන් ගැන දන්නවටත් වඩා.

මිනිස්සු දන්නවා මේ හැමෝටම තියෙන්නේ කන්නයි බොන්නයි පැටව් හදන්නයි මැරෙන්නයි විතරයි කියලා.
ඒ බව දැනගන්න පුළුවන් එකම ජීවියත් මමිනිසාමයි. මොකද ඒ දේ තේරුම් ගන්න පුළුවන් බුද්ධිය තියෙන්නේ මිනිසාට විතරයි.

ඒත් ඒ බව දැන දැන මිනිසා හැසිරෙන්නෙත් අනිත් ජීවින් වගේමයි.

ඒ නිසා මිනිසා තමන් ගැන දන්නවට වඩා අනිත් ජීවින් ගැන දන්නවා. හැබැයි මිනිසා තමන් ගැන හොයන්න පටන් ගත්ත දවසට මිනිසාට තේරෙයි තමන් මිනිසෙක් මිසක් තවත් තිරිසන් සතෙක් නෙමෙයි කියලා.

No comments:

Post a Comment