Wednesday, October 9, 2019

කතාව ලියන්න නම් නොමැරී ඉන්න...


මේ කතාව ගොඩක් ප්‍රසිද්ධ කතාවක්. “කතාව ලියන්නේ හැමතිස්සෙම ජයග්‍රාහකයා විසිනි”. මේ කතාව ඇතුලේ තියෙන වෙනත් කතාවක් අපි එලියට ඇදලා ගමු.

හැමතිස්සෙම අපි අහල තියෙන කතාවල නරක පැරදිලා හොඳ දිනිනවා.

ඒත් ඇත්තටම වෙන්නේ එහෙමද?

අපි ඒ ගැන කතා කරමු. මේකත් දැනගෙනම.

ඔන්න එක නැවක ගියපු නාවිකයෝ කණ්ඩායමකට මහා මුහුදේ මැද ඉන්න විශාල බූවල්ලෙක් පහර දුන්නලු. මේ බූවල්ලා කොච්චර ලොකුද කියනවා නම්, අර නාවිකයෝ ගිහිපු නැව මේ බූවල්ලා ට එක පාරට ගිලින්න පුළුවන් ලු. කොහොම හරි නාවිකයෝ ටික උපරිමෙන්ම සටන් කරලා, ඒත් එක්කෙනෙක්ට වත් තමන්ගේ ජීවිතේ බේරගන්න බැරි වෙලා. ඉතින් හැමෝම මහා මුහුදේ දී තමන්ගේ ජීවිතේ පරිත්‍යාග කරපු වීරයෝ විදියට සලකනවා දැන්.

ඔන්න ඕකයි කතාව. දැන් ප්‍රශ්නයක් එන්නේ නැද්ද, මුහුදේදී හැමෝම මැරුණා නම්, කොහොමද මේ ගොඩබිම ඉන්න මිනිස්සු මේ කතාව දන්නේ? කවුද මෙහෙම එකක් වුනා කියලවත් දන්නේ? මොකද ඒ සිද්දියට මුහුණ දුන්නු හැමෝම මුහුදේදීම මැරුණා. එතකොට මෙහෙම දෙයක් වුනා කියලා දන්න එක්කෙනෙක්වත් ඉතුරු වුනෙත් නෑ. එහෙනම් කොහොමද මෙහෙම කතාවක් අපි දන්නේ?

එහෙනම් මේ කතාව ගොතලා නේද?

හරි අපි හිතමු එක්කෙනක් ඔන්න යන්තම් බේරිලා ඇවිත් කියලා. දැන් සිද්ධ වුනු දේ දන්නේ මේ කෙනා විතරමයි. වෙන කවුරුවත් නෑ. එහෙනම් මෙයාට පුළුවන් නේද ලස්සනට කතාව ගොතන්න අතින් පයින් දාල තමන් වීරයා කරගෙන, අන්තිමට ලස්සන කතාවක් එන විදියට?

ඔන්න ඕකයි ඇත්තම කතාව. අපි අහලා තියෙන කතා වල ඇත්තම වීරයෝ කරපු දේවල් අපි දන්නෙවත් නැතුව ඇති. මොකද ඒවා කියන්න ඒ වීරයෝ ජීවත් වුනේ නෑ. ඒ වීරයෝ සටන අතරේම මැරුණා. ඒ වීරයෝන්ගේ අරමුණ පොතට වීරයෙක් වෙන එක නෙමෙයි, ක්‍රියාවෙන් වීරයෙක් විදියට සේවයක් කරලා වීරයෙක් වගේ මැරෙන එක වෙන්න ඇති.

හැබැයි බයගුල්ලෝ වගේ හිටපු අය හැංගිලා ඉඳලා සටන ඉවර වුනාම එලියට ඇවිත් මෙහම් වුනා හරම වුනා කියල කියයි තමන් වීරයා වෙලා. එතැනදී තමන්ගේ පුද්ගලික කැමැත්ත අකමැත්ත මත ඇත්ත වීරයෝ සඳහන් නොවෙන්නත්, වෙන්නත් පුළුවන් වගේම, වීරයෝ නොවුණු අය වීරයෝ කරන්නත් පුළුවන්.

මොකද සිද්ධිය දන්නා කෙනා කියන දේ අපි විශ්වාස කරන නිසා. හැබැයි අපි දන්නේ නෑ ඒ කෙනා කියන හැමදේම ඇත්තද කියලා. මොකද එතන වැඩි වාසිය ලැබෙනවා ඒ කෙනාට.

දැන් එතකොට ඇත්තටම වීරයා සටනේදී ජීවිතේ පුපු කෙනාද නැත්නම් හැංගිලා ඉඳලා අන්තිමට එලියට ඇවිත් කතාව තමන්ට ඕනේ විදියට කියලා ඉතිහාස පොත් වල අකුරු අතරේ වීරයා වුනු කෙනාද?

මේ දෙන්නම වීරයෝ.

හැබැයි අපි ඒක තේරුම් ගත යුතුයි.

එක්කෙනෙක් ක්‍රියාවෙන් වීරයෙක් වෙද්දී අනිත් කෙනා කපටි කමින් වීරයෙක් වෙනවා. හැබැයි දෙන්නම වීරයෝ දෙවිදියකට.

ඔබ අගය කරන්නේ ක්‍රියාවෙන් වීරයෙක් නම්, ඔබ කියයි සටනේදී ජීවිතය පුජා කරපු කෙනා වීරයෙක් අනිත් කෙනා බය ගුල්ලෙක් කියලා. ඔව් ඔබ හරි.

ඔබ අගය කරන්නේ මොනවා හරි කරලා, මොනවා වුනත් තමන්ගේ ජීවිතේ ගැට ගහගන්න එක නම්, ඔබට හැංගිලා ඉඳල පොතට කතාවක් දීල වීරයා වුනු කෙනාව එහෙම පෙනෙයි. ඔබත් හරි.

ඉතින් මේ සියල්ල අපේ දෘෂ්ටිකෝණය අනුව වීරයා දුෂ්ඨයා තීරණය වෙන බව තේරුම් ගනිමු.

No comments:

Post a Comment