Monday, October 14, 2019

කර්මය


විඥාණය කියන්නේ කර්මයේ ගබඩාව.

අපේ විඥාණය තමයි අපි නොදැනුවත්ව වුනත් අපේ කර්මය ගබඩා කරගෙන ඉන්නේ. නිසි වෙලාව ආවම නිසි කර්මය ඵල දෙන එක අපිට නවත්තන්න බැරි ඒ නිසයි.

මේ ලිපියෙන් කර්මය ගැන ටිකක් ගැඹුරින් කතා කරමු.

කර්මයේ තියෙනවා කොටස් 3ක්.

1.සංචිත කර්ම
2.ප්‍රාරත්ව කර්ම
3.ආගමීය කර්ම

එකින් එක බලමු.

සංචිත කර්ම කියන්නේ ඔබ මේ සංසාරයේ ගෙවපු හැම භවයකම (තිරිසන්, ප්‍රේත, මනුස්ස දේව ඕනෑම භවයක) ඔබ විසින් කරන ලද ක්‍රියා අනුව රැස් වුනු කර්ම වල එකතුව. යහපත් ක්‍රියා නිසා ඇති වුනු යහපත් කර්මත්, අයහපත් ක්‍රියා නිසා ඇති වුනු අයහපත් කර්මත් දෙවර්ගයම මේ සංචිතය තුල තියෙනවා. මේ සියලුම කර්ම ඔබට අනාගතේදී ගෙවන්න තියෙන කර්ම.

ප්‍රාරත්ව කර්ම කියන්නේ ඔබ යම් භවයක් ලබද්දී ඔබට කලින් කිව්ව සංචිත කර්මයෙන් අරගන්න කර්මයන්. අපි මේ ගැන උදාහරණ වලින් පැහැදිලි කරගමු.

ආගමිය කාර්ම කියන්නේ ඔබ විසින් ප්‍රාරත්ව කර්ම ගෙවන අතරේ අලුතින් එකතු කරගන්නා කර්ම.
අපි මේ කතාව උදාහරණයකින් පැහැදිලි කරගමු.



සංචිත කර්ම කියන්නේ විලක් කියලා හිතන්න. මේ සංචිත කර්ම කියන විලේ ඔබ විසින් කරපු හොඳ සහ නරක ක්‍රියා අනුව හොඳ කර්මත්, නරක කර්මත් දෙකම තියෙනවා. ඔබ සංසාරය පුරා කරපු සියලුම කර්ම එකතු වෙන්නේ මෙන්න මේ සංචිත කර්ම කියන විලටයි. (සංචිතයක් යනු එකතුවකි). මේ මුළු විලම හිඳෙන කම් ඔබට මේ සංසාරයේ දුක් විඳින්න වෙනවා. වෙන විදියකට කිව්වොත් මේ සංචිත කර්ම විලේ තියෙන හැම වතුර බින්දුවක් ම ඔබට අනාගත භව වලදී ගෙවන්න සිද්ධ වෙන කර්ම, ඔබ විසින් අතීත භව වල කරපු ක්‍රියා අනුව එකතු වුනු කර්ම.



ප්‍රාරත්ව කර්ම කියන්නේ මෙහෙම හිතමු. ඔබ භවයක් ලබද්දී මේ සංචිත කර්ම විලෙන් ඔබට ලැබෙනවා බොකටු හැන්දකින් වතුර ටිකක්. (කර්ම විපාක)

දැන් ඔබ ඒ භවය තුල ඒ කර්ම විපාක ගෙවන්න ඕනේ. හොඳ කර්ම විපාක වගේම නරක කර්ම විපාකත්. ඔබ නැවත භවයක ඉපදෙන්නෙම ඔබේ සංචිත කර්ම විලේ තවත් වතුර තිබෙන නිසා බව හැමතිස්සෙම මතක තියාගන්න. ඔබ ඉපදෙන්නේම ඒ කර්ම ගෙවා අවසන් කරන්නයි.



ආගමීය කර්ම කියන්නේ, ඔබ භවයේ ප්‍රාරත්ව කර්ම ගෙවන අතරේ කරන ක්‍රියා නිසා අලුතින් එකතු වෙන කර්ම. ඔබගේ ක්‍රියා නිසා සංචිත කර්ම විලට අලුතින් එකතු වෙන වතුර.

මේවා හොඳ කර්ම වගේම නරක කර්ම වෙන්නත් පුළුවන්.

දැන් ඔබ මේ භවයේ ගෙවන කර්ම වගේම ප්‍රමාණයක් අලුතින් සංචිත කර්ම විලට එකතු කරගත්තොත්, ඔබ ඇත්තටම ඔබගේ සංචිත කර්ම විලේ වතුර ප්‍රමාණය අඩු කරගෙන නෑ. ඔබ නිකරුනේ එක් භවයක් දුක් විඳලා විතරයි.

මෙන්න මේ නිසයි, නිවැරිදි අවබෝධය ඇති කෙනෙක් තමන්ගේ ජීවිතය වෙනස් කරගන්නේ.

ඔහුට අවශ්‍ය සංචිත කර්ම විලේ වතුර ඉවර කරගන්න නිසා, ඔහු ඔහුගේ සියලු කරාම ගෙවල අවසන් කරන්න උත්සහ කරන අතරේම අලුතින් කර්ම එකතු කර නොගන්න උත්සහ කරනවා. කර්ම එකතු වෙන්නේ සමාජය එක්ක ගැටෙද්දී නම්, ඔහු සමාජයෙන් ඈත් වෙනවා. කර්ම එකතු වෙන්නේ ගිහි ගේ ඉඳීමෙන් නම්, ඔහු ගිහි ගෙයින් නික්මෙනවා.

අවසානයේ සංචිත කර්ම විල හිස් වුනු මොහොතේ ඔහු උතුම් වූ නිර්වාණය අත්විඳිනවා.

මෙන්න මේ දේ තේරුම් ගන්න බැරි අනිත් මනුෂ්‍යයින් ඔවුන්ගේ කර්ම ගෙවන අතරේම ඔවුන්ගේ සංචිත කර්ම විලට තව තවත් කර්ම නමැති වතුර දැන හෝ නොදැන එකතු කරගන්නවා. ඉතින් මේ විලේ වතුර ප්‍රමාණය වෙනස් වෙන්නෙත් නෑ, සංසාරයේ ඉවරයකුත් නෑ.

ඒ වගේමයි බොහෝ ඍෂිවරු තමන්ගේ කර්ම ගෙවා අවසන් කරන්න තීරණය කර විට, ඔවුන් බොහෝ දුක් විඳින බව ඔබට හොඳින් බැලුවොත් තේරෙනවා ඇති.

සිදුහත් කුමරු අවුරුදු 6ක් ශරීරයට අධික දුක් දෙමින් ගෙවූ කාලය ඔහුගේ එකතු වී තිබු සුළු වුවත් කර්මය ගෙවා අවසන් කර කාලයයි.

භාරත මහා ඍෂි වරු තමන්ගේ අවසන් කාලයේ බොහෝ දුක් වින්ද ඇත. ඒ ඔවුන්ගේ කර්මය ගෙවා අවසන් කිරීමටයි.

අපි සාමන්‍යය මිනිසුන් විදියට අපේ කර්ම ගෙවෙන අතරේ ඒ කර්මයෙන් ගැලවෙන්න හිතාගෙන තව තවත් කර්මයන් හි පැටලෙන නිසා අපි මේ කෙළවරක් නැති සංසාරයේ තාමත් ගමන් කරනවා.

හිතන්න. අපි බොරුවක් කියල ඒක බොරුවක් බව අහු වුනොතින්, අපි කවදාවත් ඔව් මම බොරුවක් කිව්වා, මට සමාවෙන්න කියල කියනවද? ඒ කිව්වා බොරුව වෙනුවෙන් අනිත් කෙනාගෙන් දොස් අහගෙන ඉවසගෙන ඉන්නවා? අපි කිව්වා බොරුවට අපිට ලැබුණු කර්මය තමයි දොස් ඇසීම. උපරිම කර්මය ඒ අදාළ පුද්ගලයා ඔබව ඇත හැර දැමීම. ඒ බව දන්නා නිසා අපි පිළිගන්නවද අපි බොරුවක් කිව්වා බව?

නෑ. අපි කරන්නේ තව බොරු කියලා ඒ කලින් කිව්ව බොරුව වහන එක.

දැන් අපි එක කර්මයක විපාකයකින් (ශේප් වෙන්න නැත්නම් වැරැද්ද වහගන්න) බේරෙන්න තව තව කර්මයන් කරලා නේද?

මුගලන් හාමුදුරුවොන්ට (රහතන් වහන්සේට, සෘදී ලාබීන් අතර අග්‍ර) පොලු වලින් ගහල මරන්න මැරයෝ ආවම, උන් වහන්සේ දෙපාරක්ම සෘදී බලයෙන් එතනින් ගැලවිලා බේරිලා ගියා. ඒත් 3 වෙනි වතාවේ උන් වහන්සේ බැලුවා ඇයි මෙහෙම කියලා. එතකොට උන්වහන්සේට පෙනුනා මේ කලින් ආත්මෙක අක්රපු කර්මයක විපාකයක් කියලා. ඉතින් උන් වහන්සේ 3 වෙනි වතාවේ එතනින් බේරිලා යන්නේ නැතුව හිත එක් තැන කරගෙන හිටියා කර්මයේ විපාක විඳින්න. උන් වහන්සේ දැක්ක මේ විපාකය අවසානයේ උන්වහන්සේ අපවත් වන බවත්. රහත් වුනත් කර්මය ඵල දෙන බව උන් වහන්සේ දැනගෙන හිටපු නිසා, උන් වහන්සේ මැරයින් අතින් පොලු මුගුරු වලින් පහර කාලා අපවත් වුනා.

මෙන්න මේ සුළු දේ තේරුම් ගන්න බැරුව මිනිස්සු කොච්චර නම් මේ සංසාරයේ දුක් විඳිනවද?
මේ නිසයි අපි අපේ සංචිත කර්ම විලට තව තව ආගමීය කර්ම එකතු කරගන්නේ.

හැබැයි කවද හරි අපි අපේ සංචිත කර්ම විලේ ඔක්කොම වතුර හිස් වෙනකන් ඒ කර්ම ගෙවන්න හිතපු දාට, අපි නිවන් මාර්ගයේ පලවෙනි අඩිය තියයි.

එතකන් දුක් විඳියි.

No comments:

Post a Comment