Saturday, October 5, 2019

බෞද්ධයෝ විතරද නිවන් දකින්නේ?


ඒ ගැන කතා කරන්න කලින් අපි බලමු ඒ දේ තේරුම් ගන්න අවශ්‍ය මනස ඔබට තියෙනවද කියල.

ඔබ ගුරුත්වාකර්ෂණය විශ්වාස කරනවද?

කමල් කියනවා ඔව් කියල.
නිමල් කියනවා නෑ කියලා.
සමන් කියනවා අනේ ඕව වැඩක් නෑ මේ ජීවිතේ ජොලියේ ගෙව්වම මට නම් ඇති කියලා.

දැන් මෙතනම උත්තර තුනක්.

එතකොට මේ තුන්දෙනාගේ විශ්වාස අනුව ගුරුත්වාකර්ෂණය මේ තුන් දෙනාට බලපාන්නේ තුන් විදියකටද?

කමල් විශ්වාස කරන නිසා කමල්ව පොලවට ඇලිලා ඉන්නවා. (සරල අර්ථයෙන්)
නිමල් විශ්වාස කරන්නේ නැති නිසා නිමල් ඔහේ පාවි පාවි ඉන්නවා.
සමන් ට කිසි ඕනේ කමක් නැති නිසා සමහර වෙලාවට පාවෙනවා සමහර වෙලාවට පොලවට ඇලෙනවා.

නෑ නෙ. එහෙම වෙන්නේ නෑ නේ.

කවුරු විශ්වාස කරත් නැතත් තුන් දෙනාම පොලවට ඇලිලා තමයි ඉන්නේ.

එතකොට තුන් දෙනාගේ විශ්වාසය මේ දේට බලපෑවද?

නෑ.

අන්න ඒකට කියනවා සානාතන ධර්මය කියලා. එහෙමත් නැත්නම් සදාකාලික ක්‍රමය කියල. වෙනස් නොවන ක්‍රමය කියල.
ඉතින් කවුරු මොනවා විශ්වාස කරත් මේ සනාතන ධර්මය කාටත් පොදුයි. ගුරුත්වාකර්ෂණය විශ්වාස නොකරන අය උඩ පාවෙන්නේ නෑ වගේ, පුනර්භවය විශ්වාස නොකරන අය ආයේ ඉපදෙන්නේ නැතුව ඉන්නේ නෑ.

සනාතන ධර්මය මොකක්ද කියලා දැනගත්ත නම් අපිට ලේසියි අපේ ජීවිත ඒ අනුව හදාගස්සා ගන්න.

ඉතින් දැන් සනාතන ධර්මය ගැන තර්ක කරලා, එක විශ්වාස කරන්නේ නෑ කියන අයත් ඉන්නවා. කරන්න දෙයක් නෑ. විශ්වාස කරා නොකරා එකම ප්‍රතිඵලය.

සනාතන ධර්මය  ගැන  වෙනම ලිපි පෙළක් දාපු නිසා ඒ ගැන ආයෙත් කියන්න යන්නේ නෑ.

නමුත් මෙහෙම හිතන්න.

ඔබ පුනර්භවය විශ්වාස කරන්නේ නෑ. ඒ නිසා මේ ජීවත් වෙලා ඉන්න ටිකේ ෆුල් ජොලියේ ඕනේ දෙයක් කරලා ඕනේ කෙනෙක්ට කරදර කරලා කැමති ජරා වැඩක් කරලා ඉන්න පුළුවන්. මොකද මේ ජීවිතෙන් ඔක්කොම ඉවරයිනේ.
හැබැයි ඔබ පුනර්භවය විශ්වාස කරන කෙනෙක්. ඒ නිසා ඔබ දන්නවා මම මේ ආත්මේ වැරදි වැඩක් කරොත් ඒකට කර්මය අනුව රිටර්න් එක මට ඊළඟ ආත්මෙදි හම්බෙනවා කියලා. දැන් ඔබ ජරා වැඩ කරන්නේවත්, අනිත් මිනිස්සුන්ට කරදර කරලා තමන්ගේ සතුට හොයන්නේවත් නෑ.

දැන් මේ දෙකේ වෙනස මොකක්ද?

වෙනස මේකයි, ඔබ පුනර්භවය නෑ කියල හිතාගෙන කරන වැඩ වලින් අනිත් මිනිස්සුත් කරදරයට පත් වෙනවා වගේම ඔබත් ඔබේ ඊළඟ ආත්මය ඒ වැඩ වලට ඵල විපාක ලැබෙන අන්ත කරුමක්කාර ආත්මයක් ලබා ගන්නවා.

තමන්ටත් නරකක් සහ අනුන්ටත් නරකක්.

හැබැයි ඔබ විශ්වාස කරනවා නම් පුනර්භවය සහ කර්මය, ඔබ අනුන්ට වැරදි කරන්නෙත් නෑ, අනිත් පැත්තට ඒ නිසාම ඔබට නරකක් වෙන්නෙත් නෑ.

ඔබට නරක තැනක ඉපදිලා දුක් විඳින්න වෙන කරුමක්කාර ජීවිතයක් ගෙවන්න වෙන්නෙත් නෑ.

එතකොට මේ සියල්ල තීරණය කරන්නේ කර්මය නෙමෙයි. ඔබගේම ක්‍රියා අනුවයි මේවා තීරණය වෙන්නේ. ඒකට නමක් දාල තියෙනවා කර්මය කියල. එච්චරයි.

මේ ආත්මයේ වී වැපිරුවොත් ඊළඟ ආත්මයෙත් වී ලැබෙයි අස්වැන්නට.
මේ ආත්මයේ තල වැපිරුවොත්, ඊළඟ ආත්මයේ ලැබෙන්නෙත් තලම තමයි.

මේ ගැන අපි තවත් කතා කරමු.

No comments:

Post a Comment