Friday, October 25, 2019

පැමිණි දුක් පැණි රසයි...


පැමිණි දුක් පැණි රස කෙසේ වෙතත් අමු තිත්ත රසයි කියල නම් අත්දැකීමෙන් අපි හැමෝම දන්නවා.
ඒත් ඇයි මෙහෙම කතාවක් තියෙන්නේ?

මේ දේ තේරුම් ගන්න නම් ඔබට ඔබ ඉන්න ලෞකික ලෝකයෙන් ටිකක් මෙහාට ඇවිත් ලෞකික සහ ආධ්‍යාත්මික කියන ලෝක දෙක අතරේ ඉඳන් දකින්න වෙනවා.

අපි කලින් කතා කරපු  ගොඩක් ලිපි එක්ක මේ ලිපිය සම්බන්ධ වෙනවා. ඔබ ඒවා කියවලා තියෙයිද නැද්ද කියන්න දන්නේ නෑ. කියවලා තියෙයි නම් ඔබට හොඳින් තේරේවි, ඒත් මේ ලිපිය අදම මේ ලිපි කියවන කෙනෙක්ට තේරුම් ගන්න පහසු විදියට ලියන්න උත්සහ කරනවා.

ඔබ ඔබේ ජීවිතයේ හොඳින් ඉන්න උත්සහ කරපු කෙනෙක් බව ඔබ දන්නවා. ඒත් හොඳින් ඉද්දි සිද්ද වෙන්නෙම කරදර නම්, දියුණුවක් ලැබුනේ නැත්නම්, ඔව් ඔබ කරපු දේ හරි.

තව දුරටත් හොඳින් ඉඳල වැඩක් නෑ. අපේ දියුණුව අපිම සලසා ගන්න ඕනේ මොන විදියෙන් හරි.
මේ අපි හැමෝගෙම කතාව.

අන්න එතනදියි අපිට පැමිණි දුක් තිත්ත වුනේ.

මොකද අපි හැමෝම ලෞකික ලෝකයේ ඇලිලා ගැලිලා එතනි එහාට කිසිම දෙයක් දකින්නේ නැති පිරිසක් නිසා.

උදාහරණයක් විදියට මේ සමාජයේ බොරු නොකිය අවංක වෙලා හොඳින් ඉන්න හදද්දී අනිත් මිනිස්සු අපේ ඔලුවට ඇත හෝදන්න එනවා නම්, අපෙන් ප්‍රයෝජන ගන්න එනවා නම්, අපේ අවංක කමින් අනවශ්‍ය ප්‍රයෝජන ගන්නවා නම්, අපි තීරණය කරන්න ඕනේ තව දුරටත් එහෙම ඉන්නවද, නැත්නම්, ඒ විදියට අපිත් හැඩ ගැහෙනවද කියල.

ඉතින් ඉතින් කරන්නේ ඒ විදියට හැඩගැහෙන එකයි. මොකද අපි ලෞකික ලිඳේ ඉන්න ගෙම්බෝ නිසා.
මේ ලෞකික ලිඳට එහායින් තියෙන ආධ්‍යාත්මික ලෝකය දකින කෙනෙක්ට ත්  තේරෙනවා මේ සමාජයේ බොරු නොකිය, අවංක වෙලා හොඳින් ඉන්න බැරි බව. හැබැයි එතැනදී ඔහු පැමිණි දුක් තිත්ත විදියට ගන්නේ නෑ.

ඔහු හිතන්නේ වෙනස් විදියට.

මේ සමාජයේ හොඳින් ඉන්න හැදුවේ මම මිනිහෙක් විදියට මේ ලැබුණු දුර්ලබ අවස්ථාවේ මම හොඳින් ඉඳල මේ භවයේ පව් නොකර ඉන්න ඕනේ නිසා. ඒත් මේ සමාජයේ එහෙම ඉන්න බෑ. මම හොඳින් ඉන්න හදද්දී මේ සමාජය මට ඒකට දෙන තෑග්ග මගේ හොඳ කමින් ප්‍රයෝජන ගන්න එකයි.

මම අවංක වුනාම අනිත් අය ඒ අවංක කම මෝඩකමක් විදියට සලකනවා.

මම බොරු කියන්නේ නැති වුනාම, සමාජය ඒ අයගේ කපටි කම් වලට මාව අහු කරගන්නවා.

මටත් බොරු කියල, වංක වෙලා, කපටි කමින්, අනුන් රවට්ටගෙන දියුණු වෙන්න පුළුවන්. ඒත් මට ඊට වඩා වටිනවා මේ භවයේ බොරු නොකර හොඳින් ඉන්න එක.

ඒත් මට මේ සමාජයේ එහෙම ඉන්න බෑ.

එහෙනම් මට තියෙන්නේ විකල්ප දෙකයි.

එක්කෝ මම සමාජය අනුව හැඩගැහෙන්න ඕනේ. නැත්නම් මම මේ සමාජයෙන් ඈත් වෙලා මගේ විදියට ඉන්න ඕනේ.

මෙහෙම හිතන කෙනාට පැමිණි දුක් පැණි රසයි. මොකද ඔහු මේ සමාජයේ යථාර්තය අඳුනගත්තෙ ඔහු හොඳින් ඉඳල ඒකට ලැබුණු ප්‍රතිචාර එක්ක. ඔහු සත්‍යය තේරුම් ගත්තේ ඔහුට ලැබුණු ප්‍රතිචාර නිසයි. ඔහු ආධ්‍යාත්මික ලෝකය දිහාවට යන්න අවශ්‍යය මාර්ගය හදලා දුන්නේ ඔහුට වුනු කරදර නිසා.

හැබැයි ලෞකික ලිඳේ ඉන්න අපි, අපිට ලැබෙන කරදර වලට විසඳුම විදියට අපිත් අනුන්ට කරද කරගෙන ඉන්න තත්වෙට වැටිලා, අපේ සංසාරය තව තවත් දික් කරගන්නවා.

ආධ්‍යාත්මික ලෝකය ගැන දන්නා කෙනා, තමන්ට සත්‍යය තේරෙන්න උදව් වුනු ඒ කරදරම සිද්ද වුනේ හොඳ වෙලාවට කියල හිතනවා.

එකම කරදර දෙන්නෙක් ට පේන දෙවිදිය.

එක්කෙනෙක් ලෞකික ලිඳේ ඉන්න ගෙම්බෙක්.

අනෙකා ආධ්‍යාත්මය ගැන දන්නා ලෞකික ලිඳේ එලියට ඇවිත් ඉන්න ගෙම්බෙක්.

ඉතින් ඔබට පැමිණි දුක් පැණි රසද, තිත්ත රසද..?

No comments:

Post a Comment