Friday, October 11, 2019

කලකිරීම සහ අනුගත වීම


කලකිරීම ;ලිපි පෙලේ අදහස් දක්වපු ගොඩක් අය ගේ අදහස වුනේ අපි කලකිරෙන එක නෙමෙයි හරි දේ, ඒ දේවල් තේරුම් අරගෙන, ඒ අනුව අනුගත වෙලා වැඩ කිරීම කියලා.

ඒ දේ දකිද්දීම එකම එක දෙයයි කල්පනාවට ආවේ.

බුදුහාමුදුරුවොන්ටත් ඕකම හිතුන නම් ..?

බුදුහාමුදුරුවොන්ටත් හිතුන නම් මිනිස්සු වයසට යනවා තමයි, ඒක ඉතින් අතින් අල්ලලා නවත්තන්නද? ඒක සාමන්‍යය දෙයක්. මට විතරක් විශේෂ දෙයක් නෙමෙයිනේ. අනිත් හැමෝටම පොදු දෙයක් මම කොහොමද වෙනස් කරනේ. මට ඉතින් සල්ලිත් තියෙයි බලයත් තියෙයි, ක්‍රීම් එකක් ගාල හැම රැලි වැටෙන එක නවත්තගත්තා නම් හරි.

බුදුහාමුදුරුවොන්ටත් හිතුන නම් මිනිස්සු ලෙඩ වෙනවා තමයි, ඒක ඉතින් සාමන්‍යය දෙයක්නේ. මම මොකෝ ඒක වෙනස් කරන්නද? හැබැයි ඉතින් මට සල්ලිත් තියෙයි. බලයත් තියෙයි, හොඳම දොස්තරලා ටික මම ළඟ තියාගත්තා නම් වැඩේ හරි.

බුදුහාමුදුරුවොන්ටත් හිතුන නම් හැමෝම මැරෙනවා ඉතින්. ඒක හැමෝටම පොදු දෙයක්නේ. මට විතරක් විශේෂ දෙයක් නෙමෙයි. මම ඉතින් ඕක වෙනස් කරන්නද? හැබැයි ඉතින් මට සල්ලිත් තියෙයි, බලයත් තියෙයි. මේ ඉන්න ටිකේ හොඳට ජොලියේ සොමි කරලා, සැපෙන් ඉන්න මට පුළුවන් කම තියෙද්දී මොකටද මම නිකන් වද වෙන්නේ. ඉන්න ටික සතුටින් හිටියම හරි.

බුදුහාමුදුරුවොන්ටත් හිතුන නම් අර යන්නේ පැවිද්දෙක්. මොන පිස්සුවක් ද. මේ ජීවිතේ විඳින්නේ නැතුව නිකන් දුක් විඳිනවා. තැනින් තැනට ගිහින් හිඟා කනවා. හරි හැටි අඳින්නේ නෑ. මොන තරම් කරුමක්කාර ජීවිතද. මට සල්ලිත් තියෙයි. බලයත් තියෙයි. මට නම් මොනවලින් අඩු පාඩුවක්ද.

දැන් බුදුහාමුදුරුවොන්ට මෙහෙම හිතුන නම්..?

කෝ අපිට මෙහෙම දර්ශනයක්..?
කෝ අපිට මෙහෙම සත්‍ය ගැන කියල දෙන්න කෙනෙක්.?
කෝ අපිට මෙහෙම සියල්ල අනිත්‍ය බව කලින් දැකල ඒ ගැන අපිටත් හොයන්න කියලා අනුබල දීමක්..?

ඔව් දුක ගැන හිත හිත ඉඳල කලකිරිලා ඒ ගැනම හිත හිත ඉඳල වැඩක් නෑ. එක්කෝ කලකිරීම කියන දේ හරියට අවබෝධ කරගෙන මේ අනිත්‍ය හැමදේම අවසානයක් දකින්න හිතාගෙන මේ හැමදෙයින්ම ඈත් වෙලා නිවන කරා යන්න පලවෙනි අඩිය තියන්න ඕනේ.

එහෙම නැත්නම් දුක තමයි ඒත් මොනවා කරන්නද, ජීවත් වෙන්න එපයි කියලා හිතාගෙන, දුක් විඳ විඳ මේ අනිත්‍ය ජීවිතේ සැපයෙන් ගත කරන්න වැඩ කරන්න ඕනේ.

හැබැයි දුක එක දෙයක් ගැනයි.

සිදුහත් අපිට වඩා කොච්චර සැප සම්පත් ලබලා, අපිට වඩා කොච්චර සමාජ ස්ථරයේ උඩින් ඉපදිලා මුකුත්ම නොකර මේ ජීවිතේ ගෙවල ඉවරයක් කරගන්න තිබුණු කෙනෙක් වුනත්, මේ සත්‍ය දැක්කා. ඒ නිසා ඒ දේ වෙනස් කරන්න බැරි බව දැනගෙන, ඒ දේ ඉවරයක්ම කරන්න ක්‍රමය හොයා ගත්තා.
හැබැයි සිදුහත් ට මේ මුකුත් නොකර මැරෙනකන්ම සැප සේ ජීවත් වෙන්න තිබුනා. ඒත් සත්‍ය වටහාගන්න තරම් ප්‍රඥාවක් තිබුනා.

අපි..?

ඇති දේකුත් නෑ. ඒත් මේ අනිත්‍ය දුකින් පිරුණු ජීවිතේ, සංසාරේ රැඳෙන්න ක්‍රම අපිම හොයා ගන්නවා. දුකක් බව දන්නවා. ඒත් එතනින් එහාට හිතලා එහෙනම් මේ දුක ඉපදෙන හැම පාරම තියෙනව නේද කියල හිතල ඒ දේ ඉවරයක් කරගන්න උත්සහ කරන්නේ නෑ. ඒ වෙනුවට, දුක තමයි, ඒත් බුද්ධිමත් කම දුකයි දුකයි ගගා ඉන්න එක නෙමෙයි, ඒ දුක දුකක් විදියට දැකලා ඒ අනුව හැඩගැහෙන එක කියල හිතන් ඉන්නවා.

අද බුදුහාමුදුරුවෝ ඇවිත් එදා කිව්වා දේවල් කිව්වා නම්, අපේ බෞද්ධයෝ බුදුහාමුදුරුවොන්ට ගහන්නේ ගල්.
මේ දුකක් ගැන කියවනවා, කරන්න ඕනේ දුක නම් එකට අනුගත වෙන එක මිසක් දුකයි දුකයි ගැන එක නෙමෙයි කියලා.

මේ ජීවතේ දුකක්. හැබැයි හැමෝටම මේ දුකෙන් මිදෙන්න තරම් පිනක් නෑ. ඒ නිසා මේකෙම ඇලෙන්න ක්‍රම හොයාගන්නවා. එකක් නැති වුනාම එකක්. එහෙම ඇලෙන්න හේතුත් කියනවා.

දුකින් මිදෙන්න පලවෙනි පියවර තියන්නේ නැතුව ඒ ගැන හිත හිත හිටියට නම් වැඩක් වෙන්නේ නෑ. පලවෙනි පියවර තියන එකත් ලේසි වෙන්නේ නෑ.

No comments:

Post a Comment