ඔබ මේ කතාව අහල තියෙනවා ඇති. අපි
හැමෝම පොඩි කාලේ මේ සෙල්ලම කරලා ඇති. එහෙම කරලා නැත්නම් අඩුම ගානේ අහල හරි ඇති.
අහලවත් නැත්නම් ඔබ මේ ලිපිය කියවල ඵලක් වෙන්නේ නෑ.
ඔබ දන්නවනේ මේකේ සිද්ධ වෙන දේ. අපි
හැමෝම එක උඩ එක අත් තියාගෙන එක්කෙනෙක් අහනවා ආච්චි ආච්චි පොල් කඩන්නද කියලා. එතකොට
ආච්චි විදියට ඉන්න කෙනා කියනවා එපා කියලා. එතකොට ආයෙත් කියනවා එකක් කැඩුවනේ කියලා.
එතකොට ආච්චි කියනවා ආහ් එකක් කැඩුව නම් ඔක්කොම කඩන්න කියලා.
ඉතින් අපි හැමෝම අත් ටික බිමට
වට්ටනවා. මෙහෙම මෙහෙම පොල් බිඳින්නද, පොල් ගාන්නද, පොල් මිරිකන්නද වගේ දිගට දිගට
යනවා.
ඇත්තටම අපි මේ සෙල්ලම කරන්නේ එහෙම
නැත්නම් කරේ ඇයි?
මේ ඒක ගැනයි.
අපි මේ සෙල්ලමෙන් වුනත් කලේ මොකක්ද
කියල ටිකක් ගැඹුරින් හිතල බලමු.
මුලින් පොල් කඩන්නද ඇහුවම ආච්චි
කියනවා, එපා කියලා. ඊට පස්සේ ආච්චිට කිව්වම ඒත් එක ගෙඩියක් කඩලා තියෙන්නේ කියලා,
ආච්චිට හිතෙනවා, එකක් කැඩුව නම් ඉතින් අනිත් ටිකත් කැඩුවම මොකද කියලා.
අපි ඇත්තටම හිතන්නේ එහෙම නෙමෙයිද?
හිතන්න අපි අලුතින් ෆෝන් එකක්
අරගන්නවා. දැන් ඉතින් ෆෝන් එක මේසේ උඩින් තියන්නෙත් හරි පරිස්සමින්. ෆෝන් එකට
දැනෙන්නේවත් නැති තරම් සියුම් විදියට. හරි පරිස්සමින් පාවිච්චි කරන්නේ.
ඒත් හිතන්න එක දවසක මුල්ම වතාවට ෆෝන්
එක බිම වැටුනොත්, නැත්නම් හීරුනොත් හරි, අපි එදා ඉඳන් අර දක්වපු සැලකිල්ල එහෙමම
නැති කරනවා. එතන ඉඳන් ෆොනේ එක යන්නේ උඩින්. ඔහේ නිකන් දානවා මෙසේ උඩට.
මෙතන මොකක්ද වුනේ?
මෙතන වෙන්නේ ආච්චි ආච්චි පොල් කඩන්නද
සිද්ධියම තමයි.
අපි කිසිම පලුද්දක් නැති ෆෝන් එක
හරිම පරිස්සමින් ආරක්ෂා කරනවා. ඒත් එකම එක සීරීමක් ඇති වුනු වෙලාවේම අපිට දැනෙන්නේ
නිකන් , අපි මෙච්චර කාලයක් ආරක්ෂා කරපු දෙයක වටිනාකම 100% ක් වෙන්නේ ඒ දේ කිසිම
හීරීමක් පලුද්දක් නැතිව තියෙනකන් විතරයි කියලා.
එකම හරි පලුද්දක් ඇති වුනු මොහොතේම
අපිට දැනෙන්නේ අර 100% වටිනාකමෙන් 1% අඩු වුනා කියල. ඒ කියන්නේ දැන් වටිනාකම 99%
යි. ඒ නිසා අපිට දැන් අර සම්පූර්ණ වටිනාකම නැති නිසා ඒ ගැන කලින් තිබුණු හැගීම නෑ.
මෙන්න මේකයි ආච්චි ආච්චි පොල් කඩන්න
කතාව.
අපේ සමාජයේ අපි දකින මේ සංසිද්ධිය
අපි හරිම බාල විදියට සලකන දෙයක් බවට පත් වෙලා අද වෙද්දී.
ෆෝන් එකට එහෙම සලකන එක කමක් නෑ
කියමු. ඒත් ඇයි ඔබ ඔබටම එහෙම සලකන්නේ?
ඔබ දන්නවද මේ සමාජයේ ඉන්න ගොඩක් පිරිමි
ළමයි සහ ගැහැණු ළමයි තමන් ගැන හිතන්නෙත් මෙහෙමයි කියලා.
මට දෙයක් නැති වුනා නම් ඒක එක පාරක්
වුනා නම්, ආයේ ආයේ වුනාම මොකද?
එක පාරක් රැවටුනා නම් ආයෙත් රැවටුනාට
මොකද?
කොටින්ම මගේ වටිනාම දේ නැති වෙලා
තියෙන එකේ දැන් මම මොකටද බරපතලව විදියට හිතන්නේ. මොකක් වුනත් එකයි.
දැන් ගැහැණු ළමයට තමන් ගැන
වටිනාකමකුත් නෑ, අනිත් අයට කොහෙත්ම ඇය ගැන වටිනාකමක් නෑ. එතනින් එහාට පටන් ගන්නේ
සමාජය ඇයව පාවිච්චි කිරීම සහ ඇයට එහි කිසිම ගානක් නැති වීම. ඇය කැමැත්තෙන්
පාවිච්චි වීම සහ ඒ ගැන එච්චර හිතන්නේ නැතිව වැඩ කිරීම. නිල නොවන, මුදල් නොගන්න ගණිකාවන්
බිහිවන්නේ මෙන්න මෙහෙමයි.
ඒ නිසයි හැමතිස්සෙම මේ සමාජය ඔබව යම්
යම් දේවල් වලට පොළඹවන්න උත්සහ කරන්නේ.
මත්ද්‍රව්‍ය පාවිච්චියට පොළඹවන්නේ
කොහොමද? මුලින් නිකන් දෙනවා සල්ලි ගන්නේ නැතුව. දෙවැනි පාරත් දෙනවා. දැන් පලවෙනි
පොල් ගෙඩිය කඩලා ඉවරයි. එතනින් එහාට අයියෝ මම මේ කරේ වැරද්දක් කියල හිතට එනවා
වගේම, එක පාරක් කරලා ඉවරයි. දැන් මම වැරැද්ද කරලා ඉවරයි. අපරාදේ මට එක නොකර ඉන්න
තිබුනේ කියල හිතෙනවා.
ඒත් එක්කම හිතෙනවා දැන් ඉතින් කරලා
ඉවරයිනේ. ඔන්න ඔහේ දිගටම කරනවා කියන හැගීමත්. දැන් හැබැයි මත්ද්‍රව්‍ය නිකන්
හම්බෙන්නේ නෑ. දැන් සල්ලි ඕනේ.
එතන පාවිච්චි වුනෙත් ආච්චි ආච්චි
පොල් කඩන්න න්‍යායම නේද?
ආදර සම්බන්ධතා වලදී කොල්ලෝ කරන්නෙත්
මේකමයි. මුලින් පොඩ්ඩක් චාටුවෙන් අවශ්‍ය දේ කරනවා. දැන් ගැහැණු ළමයට තමන් වැරද්දක්
කරා කියන හැගීම තියෙනවා. ඒත් එක්කම එක පාරක් කරපු එකේ ආයෙත් කරාට කමක් නෑ කියන
හැගීමත් තියෙනවා. එතනින් එහාට ගෙඩි ඔක්කොම කඩයි.
ඔබේ ජීවිතේ ඔබ මේ න්‍යාය පාවිච්චි
නොකර අවස්තාවක් පුළුවන් නම් හිතල බලන්න. ඔබ ඔබට අවංක නම් හා නම් පමණක් ඔබටම අවබෝධ
වෙයි ඔබ ආච්චි ආච්චි පොල් කඩන න්‍යායේ කෙල පැමිණි අයෙක් බව.
No comments:
Post a Comment