Saturday, November 23, 2019

සඳ | වලාකුළු | අපි...


බොහොම මෑත දවසක අවුරුදු ගණනකට වතාවක් පෙනෙන තැඹිලි පැහැති සඳක් දකින්න ලංකාවේ අපිට අවස්තාව උදා වුනා.  හවස 6.50 ට විතර හැමෝම එලියට බැහැලා තමිබිලි හඳ බලන්න බලාපොරොත්තුවෙන් හිටියා.

ඒත් සිද්ධ වුනේ කවුරුවත් හිතුවේ නැති දෙයක්. වැහි වලාකුළු වලින් මුළු අහසම පිරිලා කාටවත් ඒ අවස්ථාවේ තැඹිලි සඳ සකින්න වුනේ නෑ.

සඳ කෙසේ වෙතත් සඳ එලියවත් දකින්න වුනේ නෑ.

ඉතින් හිතන්න සඳ ත් සඳ එළියත් වහගන්න තරම් හැකියාවක් වැහි වලාකුළු වලට තියෙනවා.

මිනිස්සුන්ගේ ප්‍රඥාව ත් මෙන්න මේ හඳ වගේ. හැමෝටම තියෙනවා ප්‍රඥාව. නමුත් ඒ බව දන්නේ කීයෙන් කී දෙනාද.

මොකද මිනිස්සුන්ගේ ප්‍රඥාව නමැති හඳ භාහිර ලෝකය කියන වැහි වලාකුළුවලින් හැංගිලා තියෙන්නේ. එහෙමත් නැත්නම් වැහිලා තියෙන්නේ.

ඉතින් මිනිස්සුන්ට ඒ හඳ පේන්නෙත් නෑ. නමුත් ඒකෙන් කියවෙන්නේ හඳක් නෑ කියන ඒක නෙමෙයි. හඳ තියෙනවා, ඒත් පෙන්නේ නෑ වැහි වලාකුළු නිසා.

ඔබත් මේ භාහිර ලෝකයේ අනන්තයක් වූ දේවල් ගැන හිත හිත වදවේවි ඉන්න තාක් කල් ඔබට ඔබේ ප්‍රඥාව දැකගන්න ලැබෙන්නේ නෑ.

ඒ නිසයි ප්‍රඥාව පහල වෙනවා කියල කියන්නේ. ප්‍රඥාව කියන්නේ අමුතුවෙන් ඇති කරගන්න පුළුවන් දෙයක් වත්, ඉගෙන ගෙන උපාධියක් වගේ ගන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. අපි හැමෝටම තියෙන ප්‍රඥාව අපම විසින් වහගෙනයි ඉන්නේ. ඒත් දවසක අපිම  ඒ වැහිලා තියෙන ප්‍රඥාව වලාකුළු අයින් වුණාම දකින සඳ වගේ දකිනවා. අන්න ඒ නිසයි ප්‍රඥාව පහල වෙනවා කියන්නේ.

ඒත් ප්‍රඥාව පහල වෙන්න නම් ඔබට සිද්ධ වෙනවා භාහිර ලෝකයේ කෙළවරක් නැති අනන්තයක් වූ අනවශ්‍ය දේවල් වලින් මනස ඉවත් කරගෙන තමන් ගැන හිතන්න.

ඔබ වෙහෙසෙන්නේ දේශපාලනය ගැන නම්, අපේක්ෂකයින් ගේ වැරදි, හොඳ දකින්න නම්, තමන්ට කිසි සෙත් අදාල නැති දේවල් ගැනනම්, තමන්ට කිසිම දෙයක් කරන්න බැරි දේවල් ගැන නම්, ඔබ මේ භාහිර සමාජයේ තියෙන තමන්ට අනවශ්‍ය දේවල් ගැන වදවෙන කෙනෙක්. ඔබට ප්‍රඥාව තව බොහෝ දුරයි.

මොකද ඔබ හොයන්න ඕනේ ඔබ ගැන මිසක්, අනුන් ගැන නෙමෙයි. මුලින් තමන් ගැන හොයන්න, ප්‍රඥාව පහල වුනු ගමන් ඔබට අනුන්ව නිකන්ම තේරෙන්න පටන් ගන්නවා. එතකන් ඔබ අනුන් ගැන සොයන හැම මොහොතක්ම ඔබ කරන්නේ ඔප දුප හෙවීමම විතරයි.

හිස් වචන කතා කරන ඒක විතරයි.

ඔබගේ ප්‍රඥාව නමැති සඳ දැනටමත් තියෙන දෙයක්. ඒත් භාහිර ලෝකය කියන වැහි වලාකුලෙන් ඒ හඳ වැහිලා තියෙන්නේ. ඒ හඳ එලියට අරන් බලන ඒක ඔබට මිසක් වෙන කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි.

මේ හඳ වැහි වලාකුලෙන් එලියට අරන් ඒ හඳ එළියෙන් නැහැවේවායි ප්‍රාර්ථනා කරමි..!

Friday, November 22, 2019

පෙරලෙන ගලේ පාසි නොබැඳේ... ඒත් ඇයි..?


මේ තවත් කියමනක් අපේ මුතුන් මිත්තන්ගෙන් අපි ඉගෙනගත්තු. ඒත් මොකක්ද හේතුව?

මේ ගැන අපි හැමෝම දන්නවා. ගලක් ඒක තැන තිබ්බොත් තමයි පාසි බැඳෙන්නේ. හැබැයි ගලක් ඒක තැන තියෙන්නේ නැතුව පෙරලි පෙරලි වතුර දිගේ ගහගෙන යනවා නම්, ඒ ගල පාසි බැඳෙන්නේ නැතුව තියෙනවා.
හැබැයි අවශ්‍යතාවය පාසි බැඳීම නම්..?

මේකයි කතාව.

ගලක් ගඟක් දිගේ පෙරලි පෙරලි යද්දී ඒක එක  තැනක රැඳෙන්නේ නැතුව තියෙද්දී ඒ ගල කිසිම පාසියක් බැඳෙන්නේ නැතුව තියෙනවනේ.

අපේ ජීවිතත් ඒ වගේම නේද. අපි ඒක දෙයක් ගැන නෙමෙයි හිත තියාගෙන ඉන්නේ. අපි හිතන්නේ ඒක දෙයක් ගැන නෙමෙයි. අපි හැමදේම ගැන හිතනවා, හැමදේම කරනවා. අන්තිමට අපිට එකක්වත් බෑ.

හැබැයි ගල එක තැනක රැඳුනොත්, එතන ඉඳන් ගල මතුපිට පාසි බැඳෙන්න පටන් ගන්නවා. මොකද දැන් ගල කොහෙවත් ගැටෙන්නේ නෑ. ඒක තැනක නිශ්චලව රැඳිලා තියෙන නිසා.

අපිත් ඒක දෙයක් ගැන විතරක් උනන්දු වුනොත්, ඒක දෙයක් ගැන විතරක් හිතුවොත්, අපිට ඒ දේ ගැන හෝදන අවබෝධයක් එනවා නේද? මොකද අපි අපේ මනස එකතු කරන්නේ ඒක දෙයක් කෙරෙහි විතරයි. 

හැමදේම එක්ක ගැටෙන්නේ නෑ.

ඉතින් ඔබට තේරෙනවද අපේ හිතත් නිකන් පෙරලෙන ගලක් වගේ කියලා. ඒක වෙලාවක මෙතන, ඊට පස්සේ මොහොතේ තවත් තැනක, ආයෙත් වෙනත් තැනක. මේ හිත එක තැනක තියන්න කොච්චර අමාරුද? ඉතින් හිතට එක එක දේවල් එනවා යනවා. හැබැයි එකක් වත් රැඳෙන්නේ නෑ හිතේ. ඉතින් හිත වැඩි දේවල් එක්ක ගැටෙන්න ගැටෙන්න, හිත  එක තැනකින් තවත් තැනකට, එතනින් තවත් තැනකට මාරු වේවි ඉන්නවා.

ඒත් අපි එකම දෙයක් ගැන දිගටම හිතුවොත්?

අන්න ඒ දේ ගැන විතරක් හිතද්දී අපිට හොඳ අවබෝධයක් එනවා ඒ දේ ගැන.

ඉතින් අපි හිතුවට පෙරලෙන ගලේ පාසි බැඳෙන්නේ නැති ඒක හොඳ දෙයක්, ඒ නිසා ගලක් පෙරලි පෙරලි තියෙන ඒක හොඳයි කියලා, ඇත්තටම සිද්ද වෙන්න ඕනේ ගලේ පාසි බැඳෙන එක නම් මොකද වෙන්නේ?

අපි මෙච්චර කල් හිතාගෙන හිටපු විදිය වැරදියි නේද එහෙනම්?

ආධ්‍යාත්මික ලෝකයේදී ඇත්තටම සිද්ද වෙන්න ඕනේ ගල මතු පිට පාසි බැඳෙන එකයි. පාසි නොබැඳි තියෙන තාක් කල් මේ මහා  භයානක සංසාරේ දුක් වින්ද වින්ද ඉන්න පුළුවන්.

ඔබේ හිතත් එක එක තැන් වල ගැටී ගැටී ඒ මේ පැත්තට පෙරලෙන ගලක් ද නැත්නම් එක තැන තියෙන ගලක්ද කියල ඔබ දන්නවා. එහෙනම් පාසි බැඳෙයි ද නැත්නම් බොහොම පිරිසිදුව තියෙනවද ඔබ දන්නවා.
මතක තියාගන්න ලෝක දෙකක් තියෙයි ලෞකික සහ අධ්‍යාත්මික කියල. මේ ලෝක දෙක සම්පූර්නෙන්ම අන්ත දෙකක තියෙන ලෝක දෙකක්.

එකක හරි දේ අනිත් එකේ වැරදියි. එකක වැරදි දේ අනිත් එකේ හරි.

ලෞකික ලෝකයේ ගල මතු පිට පාසි නොබැඳි තියෙන තාක් කල්, පිරිසිදුව තියෙන තාක් කල් හොඳයි කිව්වට, අධ්‍යාත්මික ලෝකයේ ගල මතුපිට පාසි බැඳෙන එකයි හොඳ.

අපි කොච්චර රැවටිලාද..?

Thursday, November 21, 2019

වැරදි වර්ග 8ක්...


අපි අපේ ජීවිතේ කරන වැරදි වර්ග 8ක් තියෙයි.

මේ ලිපිය කලින් ලියපු කතාව ලියන්න නම් නොමැරී ඉන්න... 3 ලිපිය සමග බැඳෙන බැවින් එම ලිපිය කියවා මෙය ඉදිරියට කියවන්න.



අපි මේවා කරද්දී නම් නිකන් වත් හිතන්නේ නෑ මේවා වැරදියි කියලා. ඒත් අපේ උඩු හිත මේ දේවල් දන්නේ නෑ කියලා අපි හිතුවට අපේ යටි හිත හැමතිස්සෙම මේ දේවල් දැනගෙනයි කරන්නේ.

එකම වෙනස අපි මේ දේවල් ගැන හිතන්න උනන්දු වෙන්නේ නෑ.

අපි එච්චර හිතන්න කැමති මිනිස්සු නෙමෙයි නේ. අපි ඔහේ සිද්ධ වෙන්න දෙනවා මිසක් ඒ ගැන හිතල බලල වැඩ කරන්න කැමති අය නෙමෙයි.

ඉතින් අපි වැරදි කරන විදි 8 මෙන්න මෙහෙමයි.

අපි වැරදි කරන ප්‍රධාන මාර්ග 3ක් තියෙයි. ඒ තමයි,

අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි,

වැරද්දක් නෑ කියලා හිතාගෙන කරන වැරදි,

සතුටින් කරන වැරදි.

මේ දේ ගැඹුරින් තේරුම් ගත්තේ නැත්නම් ඔබට මේ දේ තේරුම් යන එකක් නෑ.

මේ ප්‍රධාන මාර්ග 3න් අපි කරන ක්‍රියා එකතු වෙලා ක්‍රම 8ක් යටතේ අපි වැරදි කරනවා.

එකතු වෙන්නේ මෙහෙමයි.

ඕනෑකමින් කරාට කමක් නෑ කියලා හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.
ඕනෑකමින් කරාට කමක් නෑ කියලා හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් තොරව කරන වැරදි.
ඕනෑකමින් කරාට කමක් නෑ කියලා හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.
ඕනෑකමින් කරාට කමක් නෑ කියලා හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් තොරව  කරන වැරදි.
උපේක්ෂාවෙන් කරාට කමක් නෑ කියලා හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.
උපේක්ෂාවෙන් කරාට කමක් නෑ කියලා හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් තොරව කරන වැරදි.
උපේක්ෂාවෙන් කරාට කමක් නෑ කියලා හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.
උපේක්ෂාවෙන් කරාට කමක් නෑ කියලා හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් හෝරාව  කරන වැරදි.

අපි එකින් එක තේරුම් ගමු.

ඕනෑකමින් කරාට කමක් නෑ කියලා හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.


අපි හිතමු ඔබට කවුරු හරි පොඩි කාලේ ඉඳන්ම උගන්වනවා සර්පයෙක් දැක්කොත් මරන්න ඕනේ කියලා. දැන් ඔබ හිතන්නේ සර්පයෙක් මරණ එක තමයි හරි දේ කියලා. ඔබ එහෙම කරන්නේ කෙනෙක්ගේ මෙහෙයවීම නිසා. ඔබ ඒ දේ කරන්නේ සතුටින් අනිවාර්යෙන්ම. මොකද ඔබ එකේ වරදක් දකින්නේ නෑ.
ඉතින් ඔබ මිදුලේ ඉන්න සර්පයෙක් දැක්කොත්, එතන ඉන්න කෙනෙක් කියනවා අන්න අන්න සර්පයෙක් අනේ ඌව මරන්න ඉක්මනට කියල. ඒ සර්පයාව හොයාගෙන ගිහින් මැරුවොත් ඔබ එතන කරන්නේ පවක්. ඒකෙ ආයේ කතා දෙකක් නෑ. ඒක වැරද්දක්.

හැබැයි ඔබ ඒ දේ කරන්නේ අනුන්ගේ මෙහෙයවීමෙන්, පොඩි කාලේ ඉඳන් එහෙම කරන්න කියලා ඉගෙන ගෙන තියෙන නිසා ඒ දේ කරන්නේ හරි කියලා හිතාගෙන, ඒ දේ ඔබ කරන්නෙත් හරි සතුටින්.

ඉතින් ඔබ හිතුවට මේ දේ වැරද්දක් නෙමෙයි කියලා, අනේ ඔබ කරන්නේ වරද්දක්.

රොබින් හුඩ් මතකයි නේද.

සල්ලි තියෙන මිනිස්සුන්ගෙන් හොරකම් කරාට කමක් නෑ කියලා හිතාගෙන, තමන්ගේ වටේ ඉන්න පිරිසගේ මෙහෙයවීම අනුව, සතුටින් ෂෙරිෆ් ගේ වස්තුව හොරකම් කරලා අහිංසක මිනිස්සුන්ට ගිහින් දුන්නත් ඒ කරන්නෙත් මේ වරද්දම නේද.

ඕනෙම රටක හමුදාවක් තමන්ගේ රට වෙනුවෙන් මිනී මරණ එක හරි දෙයක් කියලා හිතාගෙන, ඉහල නිලාධාරීන් ගෙ මෙහෙමයවීම අනුව සතුටින් අභිමානයෙන් මිනි මරණ එකත් මෙහෙමම නේද.

ඕනෑකමින් කරාට කමක් නෑ කියලා හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් තොරව කරන වැරදි.

තවත් සමහර වැරදි තියෙනවා අපි අනුන්ගේ මෙහෙයවීමෙන් තොරව, ඒත් හරි කියලා හිතාගෙන සතුටින් කරන වැරදි.

අර මිදුලේ දැකපු සර්පයා දැක්ක ගමන් ඔබට කවුරුවත් කියන්නේ නෑ අනේ ඌව මරන්න කියලා. ඒත් ඔබට ඕනෙම ඌව මරන්න. එතැනදී කාගෙවත් මෙහෙයවීමක් නෑ. ඔබට නිකන්ම හිතෙනවා. එහෙම හිතල සර්පයෙක් මරණ එක තමයි කරන්න ඕනේ කියන වැරදි දෘෂ්ඨිය ඔස්සේ සතුටින් අර සර්පයා මරණ එකෙන් ඔබ කරන්නේ මෙන්න මේ වැරැද්ද නේද.

රොබින් හුඩ් වටේ ඉන්න පිරිස හදාගත්තේ පස්සේ නේ. මුලින්ම ඒ විදියට හොරකම් කරේ තනියම මුලින්. ඉතින් එතන මෙහෙයවීමෙන් තොරව නේද මුලින්ම ෂෙරිෆ් ගේ වස්තුව හොරකම් කරන්නේ. එතැනදී වැරදි දෘෂ්ඨියක් තියෙන්නේ, වැඩියෙන් තියෙන කෙනෙක්ගෙන්, නැත්නම් වැරදි විදියට හම්බ කරන කෙනෙක්ගෙන් අරගත්තට කමක් නෑ කියලා හිතාගෙන සතුටින් හොරකම් කරන එකත් එහෙමමයි නේද.

ඉහල නිලධාරින් ගේ මෙහෙයවීමක් නැතුව, තමන්ගේ දේශප්‍රේමය අනුව සතුරන් මරණ එක තමයි කරන්න ඕනේ කියන වැරදි දෘෂ්ඨිය අනුව ගිහින් සතුටින් මිනි මරණ එකත් මෙහෙමයි නේද.

ඕනෑකමින් කරාට කමක් නෑ කියලා හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.

හිතන්න ඔබගේ දරුවා ළඟ ඉන්නවා පත්තැයෙක්. දැන් ඔබ ඌට මෛත්‍රී කර කර ඉන්නේ නෑ නේ. ඔබ අනිවාර්යෙන්ම ඒ සතාව මරනවා.

ඔබ ඒ සතාව මරන්නේ පත්තායා කියන සතා මැරිය යුතු සතෙක් කියලා කියලා හිතාගෙන (වැරදි දෘෂ්ඨියේ ) ඉඳගෙන නෙමෙයි. ඔබ ඒ මරන්නේ සාපේක්ෂව ඔබගේ දරුවා ගේ ආරක්ෂාවට. එතැනදී ඔබ වැරදි දෘෂ්ඨියක ඉඳන් නෙමෙයි ඒ සතාව මරන්නේ. ඒත් ඔබට ඒ සතාව මරන්න කියලා ඔබගේ බිරිඳ කිව්වා සැනින් ඔබ ඇවිත් ඌව මරලා දානවා. ඒ බොහොම ඕනෑකමින්.අනුන්ගේ මෙහෙයවීමෙන්, ඒත් මේ ඉන්නේ දැක්ක ගමන් මරන්න ඕනේ සතෙක් කියන වැරදි දෘෂ්ඨිය තුල නැතුව, ඒත් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් මරණ එක මේ වගේ වැරද්දක් නේද.

ඕනෑකමින් කරාට කමක් නෑ කියලා හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් තොරව  කරන වැරදි.

ඔබ දරුවා ගාවින් යද්දී ඔබ දකිනවා දරුවා ගාව පත්තායා ඉන්නවා. දැන් ඔබට කාගේවත් උපදෙසක් ඕනේ නෑ ඒ සතාව මරන්න කියලා.

ඔබ ඉක්මනින් ඕනෑකමින් අර සතාව මරනවා. ඒත් ඒ මේ සතා දුටු තැන මැරිය යුතු සතෙක් කියන වැරදි දෘෂ්ඨිය අනුව වත් කාගේ වත් මෙහෙයවීම අනුවත් නෙමෙයි. ඒත් සිද්ධ වෙන්නේ මේ දේම නේද?


උපේක්ෂාවෙන් කරාට කමක් නෑ කියලා හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.

ඔබ මළගෙදරක රෑ පිරිසක් සමග රාත්‍රිය ගෙවද්දී, ඔබේ අතේ මදුරුවෙක් වහලා අර පිරිසෙන් කෙනෙක් ඔබට පෙන්නනවා ඔන්න ඔයාගේ අතේ මදුරුවෙක් වහලා මරන්න කියලා.

ඔබ මදුරුවා කියන්නේ මාරුවට කමක් නැති, පවක් පිරෙන්නේ නැති පුංචි සතෙක් කියලා හිතාගෙන විශ්වාස කරන කෙනෙක්. ඉතින් ඔබ අර මදුරුවව ඉක්මනින මරනවා.

මෙතන සිද්ධ වෙන්නේ වැරදි දෘෂ්ඨිය මත, අනුන්ගේ මෙහෙයවීමෙන්, ඒත් ඔබ ඒ මදුරුවව මරන්නේ කිසිම හැගීමක් නැතුව. අර කලින් උදාහරණ වල වගේ ඉතා ඕනෑකමින් නෙමෙයි. අපිට මදුරුවෙක් දැක්ක ගමන් අපි කුරුමානම් අල්ල අල්ල ඉන්නේ නෑ නේ. අතේ රිදුමක් දැනෙද්දීම අනිත් අතින් එතෙන්ට ගහනවා චටාස් ගාලා. අන්න ඒකටයි උපේක්ෂාවෙන් කියන්නේ.

මදුරුවා මරන්නේ කුරුමානම් අල්ලලා ලොකු උත්සහයක් දරලා, ඕනෑකමින් නෙමෙයි. නිකන්ම කරනවා පුරුද්දට වගේ. ඒත් කරන්නේ අනුන්ගේ මෙහෙයවීමෙන්, මදුරුවෝ මරණ එක වැරද්දක් නෙමෙයි කියලා හිතාගෙන.

උපේක්ෂාවෙන් කරාට කමක් නෑ කියලා හිතාගෙන අනුන්ගේ මෙහෙයවීමෙන් තොරව කරන වැරදි.

ඒ මළගෙදරම ඉද්දි ඔබේ දකුණු අතේ පොඩි රිදුමක් දැනෙනවා. බලද්දී ඔබ දකිනවා මදුරුවෙක් කියලා. ඔබ එහෙමම වම් අතින් ගහනවා දකුණු අතේ ඒ රිදෙන තැනට. මොකද ඔබට ඕනේ වුනේ මදුරුවව මරන්න. ඒත් ඒකෙන් මදුරුවා මැරෙන්නම ඕනේ කියලා හිතාගෙන සැලසුම් කරලා ගහන්නේ නෑ. මදුරුවා මැරෙනවා නම් මැරෙයි. නැත්නම් ඌ යැයි. දෙකෙන් එකක්. කොහොම හරි අර රිදුම ඉවර වෙනවනේ.

ඉතින් ඔතනදි වෙන්නේ ඔබ උපේක්ෂාවෙන්, වෙන කාගෙවත් මෙහෙයවීමක් නැතුව, ඒත් මදුරුවා කියන්නේ මැරුවට කමක් නෑ කියලා හිතාගෙන කරන දෙයක්නේ. එහෙනම් ඒ දේ වැටෙන්නෙත් මේ ගොඩට නේද?

උපේක්ෂාවෙන් කරාට කමක් නෑ කියලා හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් කරන වැරදි.

අර මළගෙදර ඔබ ඉද්දි කෙනෙක් කියනවා, ඔන්න ඔයාගේ දරුවාගේ පිටේ මදුරුවෙක් කියලා. ඔබ ඉක්මනින් පිටට අතින් ගහනවා. දැන් ඔබ ඒ දේ කරන්නේ මදුරුවා කියන්නේ මරන්න ඕනේ සතෙක් කියලා හිතාගෙන නෙමෙයි.ඔබේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන්. මේ දවස් වල ඩෙංගු නේ. ඒත් ඔබ එහෙම කරන්නේ මදුරුවා ට වඩා දරුවා ගේ ගැන හිතලා. එතැනදී ඔබ මදුරුවා මැරිය යුතුයි කියලා හිතාගෙන නෙමෙයි, ඒ මදුරුවා ගෙන් දරුවා ආරක්ෂා කරගන්න.

නමුත් එතැනදී මදුරුවා මරනවනේ. ඒක වෙන්නේ අනුන්ගේ මෙහෙයවීමෙන්, ඒත් උපේක්ෂාවෙන්, අර වැරදි දෘෂ්ඨියේ ඉඳන් නෙමෙයි (මදුරුවෙක් කියන්නේ මරන්න ඕනේ සතෙක් කියලා හිතාගෙන).

උපේක්ෂාවෙන් කරාට කමක් නෑ කියලා හිතාගෙන නැතුව අනුන්ගේ මෙහෙයවීමෙන් හෝරාව  කරන වැරදි.

ඔබ දකිනවා ඔබේ දරුවාගේ අතේ මදුරුවෙක් වහලා ඉන්නවා. ඔබ ඉක්මනින් ඒ මදුරුවා මරනවා. හැබැයි ඔබ මදුරුවෝ දැක්ක දැක්ක තැන මරණ කෙනෙක් නෙමෙයි. ඔබ මදුරුවා කියන්නේ මරන්න ඕනේ සතෙක් කියලා හිතාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. ඒත් දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ ඒ දේ නිරායාසයෙන් කරනවා.

ඉතින් එතැනදී කවුරුවත් ඔබව මෙහෙයවන්නේ නෑ. ඔබමයි ඒ දේ කරන්නේ ඔබගේ දරුවාගේ ආරක්ෂාවට. ඒත් ඔබ වැරදි දෘෂ්ඨියක ඉන්න කෙනෙක් නෙමෙයි. ඒ අවස්ථාවේ ඔබ ඒ දේ කරනවා දරුවා වෙනුවෙන්. ඔබ ඒ දේ කරන්නේ උපේක්ෂාවෙන් මිසක් මදුරුවා මරනවමයි කියලා හිතාගෙන නෙමෙයි. දරුවාගේ අතෙන් මදුරුවා අයින් වෙන එකයි ඔබට ඕනේ. ඉතින් ඒ වෙන්නෙත් මේ වැරැද්ද නෙමෙයි ද?

දැන් ඔබ හිතන්න, ඔබ මෙච්චර කල් කරපු හැම වරදක්ම මේ කොටස් 8ත අයිති වෙනවා නේද. එක්කෝ වෙන කෙනෙක්ගේ මෙහෙයවීමෙන්, නැත්නම් මෙහයවීමක් නැතුව. එක්කෝ ඕනෑකමින් නැත්නම් උපේක්ෂාවෙන්. එක්කෝ වැරදි දෘෂ්ඨියෙන් නැත්නම් එහෙම වැරදි දෘෂ්ඨියක් නැතුව. මේ ප්‍රධාන මාර්ග 3 එකතු වෙලං, සංකලනය වෙලා හැදෙනවා මෙන්න මේ ක්‍රම 8.

අදින් පස්සේ දෙයක් කරද්දී හිතල බලන්න මේ 8න් මොකටද වැටෙන්නේ කියලා. මේ 8න් එකකට හරි අයිති වෙනවා නම්, ඔබ ඒ කරන්නේ වැරද්දක්. පවක්.

හිතලා බලන්න.

Wednesday, November 20, 2019

ප්‍රශ්නය සහ ප්‍රශ්නයට විසඳුම...


කුඩා දරුවන් ඉන්න ගෙවල් වල සෙල්ලම් බඩුවක් ඒ කුඩා දරුවට ගෙනත් දුන්නොත්, ඒ දරුවා කරන මුල්ම වැඩේ ඒ සෙල්ලම් බඩුව කඩන එකනේ. ඒ ළමයින්ගේ හැටි.

හැබැයි කැඩුනට පස්සේ ඒ ළමයාම අඬනවා මහා හයියෙන් සෙල්ලම් බඩුව කැඩුනා කියලා.

දැන් කනක් ඇහෙන්න නැති නිසා අම්මලා තාත්තාලා තව සෙල්ලම් බඩුවක් ගෙනත් දෙනවා.

මේක අපි පොඩි කාලේ ඉඳන් පුරුදු වුනු සෙල්ලමක්. හැබැයි අපි ලොකු වෙලාත් මේ සෙල්ලමම කරන බව ඔබට තේරෙනවද?

ඔබගේ පෙම්වතා ඔබට බොරු කරනවා. ඔබව රවට්ටනවා. ඔබ ඉතින් ඔහුත් එක්ක තවත් ඉන්නේ නෑ. ඔහුව ඇත ඇරලා දානවා.

ඊට පස්සේ මොකක්ද කරන්නේ තවත් පෙම්වතෙක් හොයාගන්නවා.

ඒකට ලස්සනට කියනවා හැම කෙනාම එක වගේ නෑ කියලා. ඒ කියන්නේ කලින් පෙම්වතා එහෙම කරාට අනිත් අය එහෙම කරන්නේ නෑ කියලා.

මේකත් නිකන් එක සෙල්ලම් බඩුවක් කැඩුනම තවත් සෙල්ලම් බඩුවක් ගත්තා වගේ වැඩක් නෙමෙයිද?

ඇත්තටම විසඳුම ඒකද?

අපි ඇත්තටම ප්‍රශ්නය සහ විසඳුම හොයාගෙනද?

මුලින් ප්‍රශ්නය බලමු.

පෙම්වතා ඔබව රැවටීම.

දැන් මේ පෙම්වතා හොයාගත්තේ ඔබ ද නැත්නම් වෙන කවුරුවත් බලෙන් කරෙන් ගැහුවද? එහෙනම් මේ ඔබේම තීරණයක් නේ. ඉතින් ඔබම නේද හොඳයි කියලා ගැලපෙනවා කියලා මේ කෙනාව තෝරාගත්තේ. එහෙනම් දැන් කොහොමද කියන්නේ අපෝ එයා හරි නෑ, එයා එහෙම කරාට අනිත් අය එහෙම කරන්නේ නෑ කියලා. ඔබ මේ කෙනා ගැනත් එහෙම හිතලානේ ඔහුව තෝරාගත්තේ. නැත්නම් රැවටෙන්න ඕනෙවට තෝරාගන්නේ නෑ නේ.

එහෙනම් ඔබම තෝරගත්ත කෙනා ඔබව රවටපු එකයි ප්‍රශ්නේ.

එතකොට මේ ප්‍රශ්නෙට විසඳුම විදියට ඔබ කරන්නේ ඔහුව ඇත ඇරලා වෙනත් කෙනෙක්ව ආයෙත් හොයා ගන්න එක.

ඔබට තේරෙන්නේ නැද්ද ඔබ ආයෙත් කරන්නේ එකම ප්‍රශ්නය තමන් විසින්ම ඇති කරගන්න එක කියලා.

ඔබට කෝ සහතිකයක් මේ කෙනත් ඔබව රවට්ටන එකක් නෑ කියලා. කෝ ඔබට සහතිකයක් මේ කෙනාත් ඔබ හිතන විදියේ කෙනෙක් වෙන එකක් නෑ කියලා.

ඔබ ප්‍රශ්නේ දැනගත්තට එකට ගන්න උත්තරේ?

ඔබ ඇත්තටම ප්‍රඥාවන්ත නම් එතනින් අවබෝධ කරගන්න ඕනේ ඔබේ අඩු පාඩුව මොකක්ද කියල නෙමෙයිද? ඇයි මම මෙච්චර විශ්වාස කරලා තෝරගත්තු කෙනා මාව රැවට්ටුවේ, එහෙම වෙන්න මගෙන් මොනවද සිද්ධ වුනු අඩුපාඩුව කියල හොයලා බලන එක නෙමෙයිද?

නැතුව තවත් කෙනෙක් එක්ක එකතු වුනත් ආයෙමත් වෙන්නේ එකම දේ නෙමෙයිද?

අපි ප්‍රශ්න වලට හොයන්නේ හරිම සරල විසඳුම්. ඒ නිසා අපි තව තවත් ප්‍රශ්න වලම පැටලෙනවා කියලා තේරෙන්නේ නෑ අපිටම. ඒත් ප්‍රඥාවෙන් බැලුවොත් අපිට තේරෙයි අපි කරන්නේ තව තවත් ප්‍රශ්න ඇති කරගන්න එකමයි කියලා.