Thursday, October 10, 2019

කතාව ලියන්න නම් නොමැරී ඉන්න... 3


හොඳ කියන්නේ හොදට මිසක් අඩුවෙන් නරක කරනවට නෙමෙයි.

නරකයි කියන්නේ නරක මිසක් අඩුවෙන් හොඳ කරනවටත් නෙමෙයි.

කෙනෙක් හොඳයි නම් ඔහු කිසිම වරදක් නොකර ඉන්න ඕනේ. වරද සාපේක්ෂයි. මට හරි දේ ඔබට වැරදි වෙන්න පුළුවන්. මට වැරදි දේ ඔබට හරි වෙන්න පුළුවන්.

එතනදියි අපි මේ හැමතිස්සෙම කියන සනාතන ධර්මය ඕනේ වෙන්නේ. ඔබටවත් මටවත් සාපේක්ෂ හොඳ හෝ නරක කියල දෙයක් නෑ. හොඳයි නම් හොඳයි, නරකයි නම් නරකයි. මිනිස්සු තමන්ගේ වාසියට සාපේක්ෂ හොඳ නරක කියල බෙදාගන්නවා.

සනාතන ධර්මයට අනුව මිනි මැරීම කියන්නේ වරදක්. අනුන්ට හිරිහැර කිරීම කියන්නේ වරදක්.

මේ දෙක විතරක් අරගෙන අපි උදාහරනෙකින් තේරුම් ගන්න බලමු.

දුටුගැමුණු රජ්ජුරුවෝ එළාරට එරෙහිව සටන් කරා. එළාරගේ හමුදාව මැරුවා.

දැන් මෙතැනදී දුටුගැමුණු කියන්නේ නරක කෙනෙක් සනාතන ධර්මයට අනුව.

හැබැයි අපි දකින්නේ දුටුගැමුණු එහෙම කරේ රට ජාතිය වෙනුවෙන්. සම්බුද්ධ සාසනය වෙනුවෙන්. එහෙනම් දුටුගැමුණු හොඳ කෙනෙක්.

එහෙම වෙන්න බෑ නේ.

හොඳයි නම් හොඳයි, නරකයි නම් නරකයි.

මේකයි කතාව.

දුටුගැමුණු අනුන්ට හිරිහැර කරපු නිසයි, මිනිමරපු නිසයි අද ලංකාව කියල රටක් සිංහලුන්ට ඉතුරු වෙලා තියෙන්නේ.

හැබැයි දුටුගැමුණු හිතුව නම්, නෑ මම හොඳ මනුස්සයෙක් වෙලා ඉන්නවා කියලා, අද අපිට මෙහෙම රටක් නෑ.

පහු ගියා ලිපි එක්ක ගොඩක් අය අහපු දෙයක් තමයි, ඇයි අපි මෙච්චර පහල තැනක ඉන්නේ අනිත් රටවල් වලට වඩා, ඉස්සර මෙහෙම ලොකු තාක්ෂණයක් තිබ්බ නම් කියල.

උත්තරය මේකයි.

අපි අතීතයේ අධ්‍යාත්මික මිනිස්සු. අපේ තාක්ශනේ හරි ඉහලයි. හැබැයි අපි හොඳ මිනිස්සු. අපි කාටවත් නරකක් කරේ නෑ. සතුරාටත් හොඳින් සැලකුවා.

මොකද අපි හොඳ මිනිස්සු.

හැබැයි අපේ දුර්වලතාවය වුනෙත් ඒකමයි.

අපි හොඳ නිසා හතුර ඒකෙන් ප්‍රයෝජන ගත්තා. අතීතයේ ඕනේ තරම් සාක්ෂි තියෙනවා ඒකට.
අපේ රට අල්ල ගන්න ආපු අයටත් හොඳින් සලකපු මිනිස්සු අපි. සටන කියන්නේ අපේ මිනිස්සු අඩුවෙන්ම කැමති වුනු දෙයක්.

හැබැයි දුටුගැමුණු වගේ අය තේරුම් ගත්ත එහෙම ගියොත් වෙන්නේ රටක් නැති වෙන එක කියලා. ඒ නිසා ඔවුන් තීරණය කරා, නෑ මම හොඳ කෙනෙක් නෙමෙයි නරක කෙනෙක් වෙනවා, මේ රට ජාතිය වෙනුවෙන්.
අන්න එහෙමයි අපේ රට මේ තැන තියෙන්නේ.

මහින්ද රාජපක්ෂ ත් හොඳින් ප්‍රශ්නේ විසඳගන්න බැලුව කොටි එක්ක. ඒත් ඒකම ප්‍රයෝජනේ අරන් කොටි සාම සාකච්ඡා කාලේ හොඳින් සංවිධානය වුනා. මහින්දත් තේරුම් ගත්ත මුන් එක්ක හොඳින් බෑ කියලා. අන්න නරක මිනිහා වෙන්න තීරණය කරා.

අපි බෞද්ධ රටක් කියලා යුද්ධ නොකර හොඳින් ආධ්යාත්මෙන් හිටිය නම් අපිට රටක් ඉතුරු වෙයිද?
ගොඩක් අය අපෙන් ඇහුව බෞද්ධ රටක් විදියට බුදුහාමුදුරුවෝ පර පණ නසන්න එපා කියල තියෙද්දී ඇයි එහෙම කරන්නේ කියලා. එහෙම කරලා ඉන්න තිබුනා, අපිට රටක් ඕනේ නැත්නම්. අපිටත් නරක වෙන්න වෙනවා මේ සමාජයේ රැඳෙන්න නම්.

මොකද හොඳින් ඉන්න මිනිස්සුන්ට ප්‍රශ්න එනවා වැඩියි. එකම හේතුව හොඳින් ඉද්දි රැල්ලෙන් පිට පීනන්න සිද්ද වෙනවා.

ෆිල්ම් එකක වුනත් නළුවා හොඳින් ඉන්න කම් ප්‍රශ්න ප්‍රශ්න, හැබැයි නළුවත් තීරණය කරාම දැන් ඇති, මේක විසඳන්න ඕනේ කියලා, නළුවා තොරගන්නෙත් නරක මාර්ගය. හැබැයි ප්‍රශ්නෙට විසඳුම් හම්බෙනවා. නමුත් හොඳින් හිටපු කෙනා දැන් නරකයි.

හැබැයි ඒ නළුවා නිසා අපිට එහෙම හිතෙන්නේ නෑ.

ඔබට මේ සමාජයේ රැඳෙන්න නම් නරක වෙන්න වෙනවා. ඒ නිසයි මේ සමාජය මෙච්චර පිරිහිලා තියෙන්නේ. එහෙම නරක් වෙන්න බැරි අය ඒ දේවල් ඇත ඇරලා යනවා. ඒකට අනිත් අය කියනවා ප්‍රශ්න මග ඇරලා අනිත් අයට දිනුම දීල යනවා කියලා.

ඒක සාපේක්ෂයි.

කෙනෙක් හිතන්නේ මම මොනවා වුනත් කවදාවත් නරක වැඩ කරන්නේ නෑ කියල නම්, ඒ කෙනාට ප්‍රශ්නෙන් පැනලා යනවා කියල කවුරු මොනවා කිව්වත් ඒ කෙනා දන්නවා තමන් ඇයි එහෙම කරන්නේ කියලා. එහෙම නොකර මේ සමාජයේ ගැටී ගැටී ඉන්න බෑ කියලා.

කෙනෙක් හිතන්නේ මොනවා වුනත් මම මගේ වැඩේ කරගන්න ඕනේ කියල නම්, ඔහුට සිද්ධ වෙනවා ඔහුගේ හොඳ යටපත් කරගෙන නරක උඩට අරන්, සමාජය එක්ක හැඩ ගැහිලා වැඩ කරන්න. ඒ අයට අර නරක වෙන්න ඕනේ නැති අයව පේන්නේ ප්‍රශ්න මග ඇරලා යන අය විදියටයි.

ඒ නිසා ඔබ කොච්චර හිතුවත් හොඳින් ඉන්නවා කියලා, ඔබ ඉන්නේ සාපේක්ෂ හොඳින් මිසක් හොඳින් නෙමෙයි. මොකද හොඳින් ඉන්න කෙනෙක්ට මේ සමාජයේ රැඳෙන්න බෑ.

දියුණු වුනු ඕනෙම කෙනෙක් නරක කෙනෙක්.
ඉහලට ගිය ඕනෙම කෙනෙක් නරක කෙනෙක්.
ජනප්‍රිය ඕනෙම කෙනෙක් නරක කෙනෙක්.

හොඳ අය හොයන්න නම් මේ සමාජයේ හොයන්න එපා. වනාන්තරයේ වගේ හෙව්වොත් හම්බෙයි. මොකද හොඳින් ඉන්න නම් මේ සමාජයෙන් ඈත වෙන්නම වෙනවා.

No comments:

Post a Comment