Saturday, October 12, 2019

පරණ විලාසිතා


60 දශකයේ අපේ කලින් පරම්පරා වල ගැහැණු අයගේ විලාසිතා දැකල තියෙනවද ඔබ?

නෑ..?

කමක් නෑ. පොඩ්ඩක් එලියට බැහැල බලන්න අද කාලේ ගැහැණු ළමයි ගේ විලාසිතා. වැඩි වෙනසක් නෑ.

60 දශකයේ ජනප්‍රියම විලාසිතාව වුනේ මිනි ගවුම. නැත්නම් මිනි සාය.

දැනුත් ගැහැණු ළමයින්ගේ ජනප්‍රියම විලාසිතාව වෙන්නේ මිනි සාය නැත්නම් ගවුම.

හැබැයි, 60 දශකයේ ඉඳන් මේ කාලය වෙනකන් අතර මැදදී ඒ විලාසිතාව නැති වෙලා වෙනත් විලාසිතා ආවා.
වෙන විදියකට කිව්වොත්, 60 දශකයේ මිනි ගවුම විලාසිතාව ඇවිත්, එක එහෙමම නැති වෙලා ගියා. 70, 80, 90 සහ 2000 කාලයන්ගේ මිනි ගවුම එච්චර ජනප්‍රිය විලාසිතාවක් වුනේ නෑ. හැබැයි ආයෙත් 2010 කාලයේ මිනි ගවුම ජනප්‍රිය වෙන්න ගත්තා.

ඔබට පේනවද එකම විලාසිතාව එක කාලයක තිබිලා, නැති වෙලා, ආයෙත් පස්සේ කාලෙකදී මතු වෙලා කියලා.

ඔව් එකම විදියට නොවෙන්න පුළුවන්.

60 දශකයේ මල් මල් රෙද්දෙන් මිනි ගවුම විලාසිතාවක් වෙද්දී 2010 කාලයේ තනි පාට රෙද්දෙන් විලාසිතාවක් වෙන්න පුළුවන්.
 අත දිගට දාල වෙන්න පුළුවන් 2010 කාලයේ. මේ වගේ පොඩි පොඩි වෙනස් කම් තිබුනත් ප්‍රධාන විලාසිතාව එකයි.

ඇත්තටම මේ ලිපිය ලියන්නේ විලාසිත ගැන කතා කරන්න නෙමෙයි. ඒ වගේ තවත් දෙයක් ගැන කියන්න.
මේ අපි කතා කරේ ලෝක ස්වාභාවය ගැන.

මේ ලෝකේ එකම දේ තමයි ආයේ ආයෙත් සිද්ධ වෙන්නේ. කාලෙකදී යට යනවා, ආයෙත් තව කාලෙකදී උඩට එනවා.

අපි මෙහෙම හිතමු, 90 දශකයේ අය ඉන්නවා නම් ඔවුන් දන්නවා ඒ කාලේ තිබුනා ෆ්ලොපි ඩිස්ක් කියල දත්ත ගබඩා කරගන්න උපාංගයක්. හරියට දැන් තියෙන පෙන් ඩ්‍රයිව් වගේ එකක්. එකම වෙනස ගබඩා කරගන්න පුළුවන් උපරිම ධාරිතාවය මතක විදියට මෙගා බයිට් 5 ක් වගේ.

ඒක එහෙමම නැති වෙලා, සී ඩී, පස්සේ ඩී වී ඩී, ඊට පස්සේ පෙන් ඩ්‍රයිව්, දැන් පොර්ටබල් හාඩ් ඩ්‍රයිව් වගේ ගොඩක් ලොකු ධාරිතා වල උපාංග ඇවිත් තියෙනවා.

දැන් ඉන්න ළමයි ෆ්ලොපි ඩිස්ක් ගැන දන්නේ නෑ වගේ තමයි අනාගතේ ළමයි එහෙම දෙයක් තිබුනද කියල දැනගන්න කොහෙත්ම විදියක් නෑ.

නිකන් හිතන්න තව අවුරුදු 100 කින් විතර අනාගතේ විද්‍යාඥයින් හොයා ගන්නවා ටෙරා බයිට් ලක්ෂණය විතර (සරල අර්ථයෙන් තේරුම් ගැනීමට විශාල ධාරිතාවක් බව) උපාංගයක්. මේක ටිකක් විශාල ප්‍රමාණයක් නිසා සාමාන්‍ය පෙන් ඩ්‍රයිව් නැත්නම් පෝටබල් හාර්ඩ් වගේ නැතුව අලුතෙන්ම පොර්ට් එකක් හදලා ඒක පාවිච්චි කරන්න යොදා ගන්නවා.

මේ හදන උපාංගය අර 90 දශකයේ තිබුණු ෆ්ලොපි ඩිස්ක් එකමයි, එකම වෙනස ධාරිතාවය වෙනස්.
දැන් මෙතන හදල තියෙන්නේ අලුතෙන්ම උපාංගයක් ද, නැත්නම් කලින් තිබුණු දෙයක අලුත් මුහුණුවරක්ද?
එතන ගැටළුවක් නේද?

ඇත්තටම ඔවුන් හැදුවේ අලුත් දෙයක්, හැබැයි එක මීට කලින් තිබුණු දෙයක්. නමුත් අලුතෙන් හදපු අය එහෙම දෙයක් දැනගෙන හැදුව නෙමෙයි.

ඔන්න දැන් අනාගතේ මේ අලුත් උපාංගය පාවිච්චි කරන අතරේ පුරාවිද්‍යාඥයන් පොලව හාරද්දී හම්බෙනවා අපේ 90 දශකයේ තිබුණු මෙගා බයිට් 5 ෆ්ලොපි ඩිස්ක් එකක්.

දැන් ඔවුන් හිතනවා, මේක නම් මාරයි, අපි ටෙරා බයිට් ලක්ෂයක උපාංගය හොයාගෙන තාම වැඩි කාලයකුත් නෑ. ඒ වුනාට මෙන්න ඒ වගේම හැඩය තියෙන එකක් පොලව යට. අවුරුදු 100ක් විතර පරණයි බැලූ බැල්මට.
එච්චර තාක්ෂණයක් අතීතේ තිබුනද? වෙන්න බෑ.

ඔවුන්ගේ තර්කය හරි.

අතීතයේ එච්චර තාක්ෂණයක් තිබුනේ නෑ. ටෙරා බයිට් ලක්ෂයක උපාංගයක් හදන්න. ඒත් මෙගා බයිට් 5ක උපාංගයක් හදන්න තාක්ෂණයක් තිබුනා.

දැන් අතීතයේ එච්චර තාක්ෂණයක් තියෙන්න බෑ කියලා ඒක මිත්‍යාවක් කියල අත අරින එකත් වැරදියි.
එච්චර තාක්ෂණයක් තියෙන්න ඇති කියලා බොරු මවාපෑම් කරන එකත් වැරදියි.

මෙන්න මේ දේ තේරුම් ගත්තොත් විතරයි අපිට අතීතයේ තිබුණු හරිම තාක්ෂනය හොයාගන්න පුළුවන් වෙන්නේ.

No comments:

Post a Comment