Sunday, November 10, 2019

සැහැල්ලුවෙන් සිටින්නේ කෙසේද...


සතුටින් සැහැල්ලුවෙන් ඉන්නේ කොහොමද කියලා ගොඩක් අය හොයනවා.

මුලින් අපි අපේ සීමාව තේරුම් අරන් ඉමු. මොන සීමාව තුලද අප සතුටින් සැහැල්ලුවෙන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ? මොකද සතුට සහ සැහැල්ලුව තීරණය වෙන්නේ අපි කතා කරන සීමාව මතයි.

අපි කතා කරන්නේ මේ මොහොත සතුටින් සැහැල්ලුවෙන් ඉන්න විදිය නම් ඒකට තියෙන්නේ එක ක්‍රමයක්.
අපි කතා කරන්නේ දවස සතුටින් ගත කරන හැටි නම් ඒ දේට තවත් විදියක්.
අපි කතා කරන්නේ මේ ජීවිතය සතුටින් ඉන්න විදිය නම් ඒකට තවත් විදියක්.

මේ මොහොත සතුටින් ඉන්න නම්, කරන්න තියෙන්නේ එක දෙයයි. අතීතය ගැන හිතන්නත් එපා, අනාගතය ගැන වැඩ වෙන්නත් එපා. මේ මොහොත සැහැල්ලුවෙන් ගත කරන්න. සරලයි.

ඔබ දවස සතුටින් ගත කරන හැටි ගැන හිතනවා නම්, දවසේ ඔබ සතුටෙන් තැබිය හැකි ඕනෙම වැඩක් කරන්න. ඒ දේ හොඳ දෙයක්ද නරක දෙයක්ද කියල වද වෙන්න එපා. ඔබ සතුටින් නම් එච්චරයි.

ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ ජීවිතය සතුටින් ඉන්න නම්, හොඳට ඉගෙන ගන්න, හොඳ රැකියාවක් කරන්න, හොඳට සල්ලි හොයන්න. හොඳ ගෙයක් හදන්න, හොඳම වාහනයක් ගන්න, හොඳ සහකරුවෙක් එක්ක විවාහ වෙන්න. ජීවිතය හොඳට විඳින්න. ඒ වෙනුවෙන් මොනවා කරන්න වුනත් ඒ දේ කරන්න.

නමුත් ඔබ එතනින් එහාට හිතුවොත්, මේ ජීවිතයෙන් පස්සේ ගැනත් හිතුවොත් ඔබටම තේරෙයි මෙච්චර භයානක මේ සංසාරය ඇතුලේ පිච්චි පිච්චි, මැරී මැරී, ඉපදී ඉපදී මේ ගෙවන කරුමක්කාර කර්ම චක්‍රය ඇතුලේ කොහොමද මම මේ මොහොත සතුටින් ඉන්නේ? කොහොමද මම මේ දවස සතුටි ඉන්නේ? කොහොමද මම මගේ මේ ජීවිතයේ සතුටින් ඉන්නේ?

මම මේ මොහොත, දවස, ජීවිතය සතුටින් ඉන්න කරන හැමදේකින්ම මම තව තවත් මගේ සංසාරය දික් කරගන්න එකයි මේ කරන්නේ.

මේ භයානක සංසාරය දිහා බලපු, මායාවෙන් එලිය සිදුරකින් ටිකක් හරි දැකපු කෙනෙක් කවදාවත් සතුටින් ඉන්නේ කොහොමද කියලා අහන්නෙවත් නෑ.

මොකද ඔහු ඉන්නේ පුදුම බයකින්.

මේ සංසාරය ගැන පුදුම බයකින්. මට මේ ඉපදී ඉපදී වයසට ගිහින් මැරිලා ආයෙමත් ඉපදිලා මේ විඳින දුක නැති කරගන්න ඕනේ කොහොමද කියලා හිතලා ඒකට වෙහෙසෙනවා මිසක් භෞතික සතුට, ලෞකික සතුටක් ගැන හිතන්නෙවත් නෑ.

ඒ නිසා මෙතෙක් කල් සතුටින් සැහැල්ලුවෙන් ඉඳල, එක පාරටම ඒ සැහැල්ලුව නැති කරගන්න අපි කවුරුත් කැමති නෑ.

ඒ නිසාම අපි මේ සත්‍ය දකින්නත් කැමති නෑ.

සත්‍ය දැකපු කෙනෙක් ගෙන් ඇයි මෙච්චර කලක් සැහැල්ලුවෙන්, සතුටින් ඉඳල, දැන් මේ එක පාරට වෙනස් වෙලා කියලා අහන්නත් එපා.

මොකද ඔබ ගැන ඔහුට කනගාටුවක්, අනුකම්පාවක් ඇති වෙයි.

ඔහු නැවතිලා ඉද්දි, ඔබ තවමත් ගමනේ යන නිසා.

ඔහුට සතුඉන් ඉඳපන් බන්, එච්චර හිතන්න එපා සැහැල්ලුවෙන් ඉඳපන් කියලා උපදෙස් දෙන්නත් එපා. 

මොකද ඔහු ඔබට වඩා දුරට දකින කෙනෙක් නිසා.

ඔබ තාමත් මේ සංසාරයේ මේ එක සුළු කොටසක් වෙන මේ ජීවිතයේ සතුට සොයන්න මහන්සි වෙලා මහන්සි වෙලා, අවසානයේ කිසිවක් නැතුව මැරිලා ගිහින් ආයෙත් ඉපදිලා ඒ ටිකම කරන කෙනෙක් නිසාත්.

ඔහු අහනවා සින්දුව ඔබට ඇහෙන්නේ නැත්නම්, ඔහුට සින්දුව වෙනස් කරන්න කියන්න එපා. ඔබත් ඒ සින්දුව අහලා බලන්න ඔබටත් ඒ සින්දුවේ ඇහෙන දේ ගැන අදහසක් එයිද කියලා.

මේ අන්තාගමී වීම නෙමෙයි.

නමුත් අධ්‍යාත්මික ලෝකය තුල හරි දේ ලෞකික ලෝකය තුල වැරදියි කියල හිතෙන්න පුළුවන්.

අපි හිතන දේ අපේ අර්ථකතන කර්මයට වැඩක් නෑ.

සනාතන ධර්මය අනුවයි හැමදේම සිද්ධ වෙන්නේ.

අවසානයේ එකක් කිව යුතුයි.

කර්මය කියන්නේ බල්ලෙක්.

No comments:

Post a Comment