Saturday, November 16, 2019

විමල් වීරවංශ සහ ලෝක දෙකක්...


අපි කවුරුත් දන්නා චරිතයක් නේ. ඒ නිසා අටුවා ටීකා නැතුව අපි කතා කරමු.

කලින් විමල් වීරවංශ කියන්නේ සමාජවාදී කඳවුර නියෝජනය කරපු ප්‍රභල බල කණුවක්. මිනිස්සු රැස්වීම් වලට ආවේ විමල් ගේ කතා අහන්නමයි. එච්චරට දක්ෂ කථිකයෙක්.

නමුත් පස්සේ විමල් තමන්ගේ කඳවුර වෙනස් කරලා මහින්ද එක්ක එකතු වුනා.

මේ අපි දන්න කතාව.

මේ ලිපිය ඒ දේශපාලනය ගැන නෙමෙයි. ඒ ඇතුලේ තියෙන කතාව ගැන.

විමල් කලින් කඳවුරේ ඉන්න තාක් කල් විමල් කියන මනුස්සයට තැනක් ලැබුනේ නෑ. විමල් කියන්නේ කතාවට හරිම දක්ෂයෙක්. මිනිස්සු වශී කරගන්න විදියේ කථන හැකියාවක් තිබුන කෙනෙක්. ඒත් විමල් හිටපු කඳවුර කවදාවත් බලයට ආපු කඳවුරක් නෙමෙයි. (තනිව)

ඒත් අපි හැමෝම වගේ පිලිගන්නවා ඒ කඳවුර ඉස්සර (දැන් ගැන විවේචන තියෙන නිසා) වැඩ කරන්න පුළුවන් හොඳ ඔළුවලින් හැදිලා තිබුණු කඳවුරක් බව.

ඒත් ඒ කඳවුර ඇයි බලයට ආවේ නැත්තේ. ඒ කඳවුරේ නායකයෝම කියනවා, අපි හොඳ බවත් ජනතාව දන්නවා, අපි හොරකම් කරන්නේ නෑ කියලාත් ජනතාව දන්නවා, ඒත් අපිට බලයක් දෙන්නේ නෑ කියලා. (ඒ නිසා ඔවුන් වෙනස් වුනාදැයි සිතේ)

ඒ කඳවුර බලයට ආවේ නැත්තේ මේකයි. ඔවුන් ජනතාවට කතා කරේ වැරදි භාෂාවෙන්.

ඔවුන් ජනතාවට කතා කරේ බොහොම සම්භාව්‍ය, ශුද්ධ විදියට. ඔවුන් ජනතාව මුරුංග ඇත්තේ තියලා ගැලරියට කතා කරේ නෑ. ඔවුන් කතා කරේ රටේ සත්‍ය, යතාර්ථය.

ජනතාව ට ඒ භාෂාව තේරෙන්නේ නෑ. ජනතාවට ඕනේ හදවතට දැනෙන්න මිසක් බුද්ධියට දැනෙන්න නෙමෙයි. එහෙනම් මේ රට මෙහෙම වෙන්නේ නෑ.

විමල් ඒ කඳවුරේ ඉන්න තාක් කල් සීගිරි යන්නවත් අවස්තාවක් ලැබුනේ නෑ. අතට ලැබෙන පඩියත් පුදන්න වුනා. මොකද ඔහු ඒ කඳවුරේ ප්‍රතිපත්ති අනුව හිටියා. ඒත් ලැබුන දෙයක් නෑ.

විමල් ගත්ත තීරණයක්. මේ විදියට ගියොත් කිසිම ඵලක් වෙන්නේ නෑ කියලා තේරුනා. කිසිම දියුණුවක් නෑ. කවදාවත් බලය ලැබෙන්නෙත් නෑ කියලා දන්නවා. මෙහෙඅ ඉඳල ප්‍රතිලාභයකුත් නෑ.

ඉතින් ඔහු තමන්ගේ කඳවුර වෙනස් කරා.

දැන් ඔහු යමක් කමක් තියෙන, මිනිස්සුන්ගේ හදවතට කතා කරන, ජාත්‍යාලය නැගෙන විදියට කතා කරන, ගැලරියට කතා කරන කථිකයෙක්.

මිනිස්සු හැමෝම මෙහෙමයි. ප්‍රතිපත්ති අනුව හොඳින් ඉන්න බලනවා. ඒත් තමන් විතරයි එහෙම ඉන්නේ, මුළු ලෝකයම කරන්නේ වැරදි. තමන් විතරයි ප්‍රත්පත්ති අනුව ජීවත් වෙන්නේ. ඒ නිසාම තමන් විතරයි කිසිම දෙයක් නැත්තෙත්. අනිත් හැමෝම දියුණු වෙලා, යමක් කමක් තියෙනවා.

එහෙනම් මොන බම්බුවක් ද කරන්නේ ප්‍රතිපත්ති එක්ක?

මමත් වෙනස් වෙලා ඒ අනුව ගිහින් දියුණු වෙනවා.

මේ විමල් ගේ වැරද්දක් වත් විමල්ට අපහස කරනවා වත් නෙමෙයි. මේ මුළු මහත් මිනිස් සමාජයේම හරස් කඩක්.

මතක තියාගන්න, මේ ලෝකේ හොඳින් ඉන්න හදද්දී එහෙම ඉන්න හරිම අමාරුයි. අනිත් හැමෝම මේ ලෞකික ලෝකයේ ඉහලට යද්දී, දියුණු වෙද්දී, තමන් විතරක් එක තැන. කිසිම දියුන්වක් නෑ. අනිත් අය මහා විශාල ගෙවල් හදද්දී, මම එකම තැන.

හැබැයි ඔවුන් ඒ වෙනුවෙන් රැස් කරන කර්ම ඔවුන්ට ගෙවන්න වෙනවා. ඒ බව හැමතිස්සෙම මතක තියාගන්න. ඔබ ඒ කර්ම වලින් නිදහස්.

මොකද ගෙවන්න වෙන්නේ කර්ම රැස් කරොත් විතරයි.

විමල් වෙනස් වෙලා ද සතුටින් සැපට හිටියට කර්මයට අනුව ඒවා ගෙවන්න වෙද්දී?

(ඔහු සිටි කඳවුර කිසිසේත් සුද්ද කිරීමක් මෙහි සිදු නොවන බව සලකන්න)

හොඳින් ඉද්දි අනිත් හැමෝම ඔබට වඩා ඉහලට යනු ඇත. මොකද ඔවුන් ඒ ඉහලට යන්නේ ලෞකික ලෝකයේ සහ රැස් කරන්නේ කර්මයි. ඔබ එක තැන සිටියත් ඔබ ලෞකික ලෝකයේ කර්ම රැස් කරන්නේ නැති අතර අධ්‍යාත්මික ලෝකයේ ඔබ බොහෝ ඉහලට යනු ඇත.

මේ භවයේ ලෞකික වශයෙන් ඉහලට ගිහින් සැප විඳින්න පුළුවන්. ඒත් ඒ දේ තාවකාලිකයි.

මේ භවයේ කර්ම ගෙවලා අධ්‍යාත්මික වශයෙන් ඉහලට යන එක සදාකාලික සැපය බව තේරුම් ගමු.

No comments:

Post a Comment