Tuesday, November 19, 2019

සිත් වර්ග තුනක්...


ඔබ පොඩ්ඩක් මතක් කරලා බලන්න ඔබ ඔබේ ජීවිතයේ වැඩියෙන්ම කැමති, ආදරය කරන කෙනෙක් ගැන. 

මොනවද ඔබට දැනෙන්නේ? සතුටක්. සැහැල්ලුවක්.

දැන් පොඩ්ඩක් හිතල බලන්න ඔබේ ජීවිතයේ ඔබට පෙන්නන්න බැරි කෙනෙක් ගැන. වෛර කරන කෙනෙක් ගැන.

ඔබට දැනෙන්නේ මොනවද? තරහක්. වෛරයක්.

දැන් නිකන් හිතල බලන්න ඔබගේ නිවස ගාවින් ඇවිදන් යන අඳුනන්නේ නැති මනුස්සයෙක් ගැන. මොකක්ද හිතෙන්නේ?

අන්න ඒ හිතෙන දේ ගැන අපි කතා කරමු.

අපිට ඇති වෙන හිත වර්ග තුනක් තියෙනවා.

1.හොඳ සිත්.
2.නරක සිත්
3.හොඳත් නැති නරකත් නැති සිත් ද

නෑ ඒ දේ තේරුම් ගන්න අපි මේ දේවල් කලින් තේරුම් අරන් ඉමු.

ඔබ හිතන්නේ මේ ජීවිතයේ අපි කෙනෙක් ට කැමති ඇයි? ආදරය කරන්නේ ඇයි

අපි ඒ කෙනාට හිතින් බැඳිලා ඉන්න නිසා. හිතින් ඇලිලා ඉන්න නිසා.

එහෙනම් අපි හිතින් බැඳිලා ඉන්න, ඇලිලා ඉන්න හැමෝටම අපි කැමතියි ද?

නෑ.

අපි වෛර කරන අයටත් අපි හිතින් බැඳිලා ඉන්නේ. හිතින් ඇලිලා ඉන්නේ.

ඒ කතාව ටිකක් තේරුම් ගමු.

අපේ හිතේ බැඳීම් ඇති වෙන්න පුළුවන් විදි 2ක් තියෙයි.

1.ධනාත්මක බැඳීම්
2.ඍනාත්මක බැඳීම්.

ධනාත්මක බැඳීම් කියන්නේ අපි කැමති බැඳීම්. අපි කෙනෙක් ගැන හිතුවම, මතක් කරාම අපිට දැනෙන්නේ සතුටක් සැහැල්ලුවක් නම් අපි ඒ අදාල කෙනාට ධනාත්මක විදියට බැඳිලා ඉන්නවා. කෙනෙක්ට විතරක් නෙමෙයි දේවල් වලටත් ඒක පොදුයි.

ඍනාත්මක බැඳීමක් කියන්නේ අපි අකමැති බැඳීම්. අපි කෙනෙක් හෝ දෙයක් ගැන හිතුවම, මතක් කරාම අපිට එන්නේ ඍනාත්මක හැගීම් වන තරහක් වෛරයක් නම්, ඒකත් බැඳීමක් ම තමයි. ඒත් ඍනාත්මකයි.
ඔබ ඔබේ පෙම්වතාට වගේම ඔබේ වෛරක්කාරයටත් බැඳිලා ඉන්නේ. වෙනස ඔබේ පෙම්වතා ගැන ඔබට තියෙන්නේ ධනාත්මක බැඳීමක් හතුරා ගැන තියෙන්නේ ඍණාත්මක බැඳීමක්.

මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒ නිසා උදාහරණයක් බලමු.

කලින් කිව්වා වගේ නිකන් පාරේ යන අඳුනන්නේ නැති මනුස්සයෙක් ගැන ඔබ ට දැනෙන හැංගීම මොකක්ද?

ආදරයක්? වෛරයක්? තරහක්?

නෑ. ඒ මුකුත් නෑ. හිස් හැගීමක් දැනෙන්නේ.

අන්න ඒ හිස් හැගීම තමයි උපේක්ෂාව කියන්නේ. කිසිම හැගීමක් නෑ. ධනාත්මකත් නෑ ඍනාත්මක ත් නෑ.
උපේක්ෂාව කියන්නේ එකක් වත් නැති තැන.

නමුත් ඔබ යම් දෙයකට බැඳුනොත්, ඇලුනොත්, ඔබ අනිවාර්යෙන්ම එක්කෝ ඒ බැඳීම ධන හෝ ඍන කරගන්නවමයි.

ඒ නිසයි, පාරේ යන මනුස්සයෙක් ගැන කිසිම හැගීමක් නොඑන්නත් ආදරය කරන අය ගැන ධනාත්මක හැගීම් එන්නත් අකමැති අය ගැන ඍනාත්මක හැගීම් එන්නත් හේතුව.

ඒ නිසා ඔබ කියනවා නම් ඔබේ හතුරෙක් ගැන කවුරු හරි කතා කරද්දී, අනේ මට ඌත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ, මාත් එක්ක ඌ ගැන කතා කරන්න එපා කියලා, එතනම ඔබ ඔප්පු කරලා ඉවරයි ඔබට ඌත් එක්ක සම්බන්ධයක් තියෙනවා (බැඳීමක් තියෙනවා) ඒත් ඒ බැඳීම ඍනාත්මක බැඳීමක් කියලා.

ඔබ කාටහරි බනිනවා නම්, ඔබ ඔහු සමග බැඳිලා ඉවරයි. ඒ බැඳීම ධන හෝ ඍන වීම වෙනමම කරුණකි.

නමුත් ඔබ ඔහු හා බැඳී අවසන්.

ඔබේ පෙම්වතා වෙනත් ගැහැණු ළමයෙක්ට බනිනවා නම්, ඔහු ඇය සමග බැඳී අවසන්. ඔබේ පෙම්වතිය පිරිමි ළමයෙක්ට බනිනවා නම් ඇය ඔහු සමග බැඳී අවසන්. ධන නොවුනත් ඍන වුවත් එය බැඳීමක්. ඔබ සතුටු වෙයි එහෙම බනිද්දි. ඒත් ඔබ සත්‍ය දන්නවා නම් එතනින් එහාට හිතයි.

මතක තියාගන්න, සිත් තුනක් විතරයි තියෙන්නේ.

ධන බැඳීමක් මත එන හොඳ හිතක්.

ඍන බැඳීමක් එක්ක එන නරක හිතක්.

කිසිම හැගීමක් නැති උපේක්ෂා හිතක්.

ඔබ මම ලෞකික ලෝකයේ මිනිස්සු විදියට අපිට දැනෙන්නේ මුල් හිත් දෙකෙන් එකක්ම තමයි ගොඩක් වෙලාවට.

රහතන් වහන්සේලාට නම් උපේක්ෂා හිත ඇති වෙනවා.

ඒකට කියනවා කිරිය සිත් කියලා.

අපිට නිවන බොහෝ දුරයි කියන්නේ අන්න ඒ නිසයි. අපි දන්නේ නෑ අපි බැඳෙන දේවල් වත් අඩුම තරමේ.

අපි හිතන්නේ බැඳීම් කියන්නේ අපි කැමති ඒවා විතරයි කියලා.

මේ වගේ අපි කොච්චර නම් වැරදි දේවල් හිතාගෙන ඇත්ද.

ඒකට කියනවා මිත්‍යා දෘෂ්ඨිය කියලා.

බැඳීම් කියන්නේ ධන හෝ ඍන සම්බන්ධතා. මේ දෙකම නැති තැන ඇති වෙන්නේ උපේක්ෂා හිතක්.

හිතල බලන්න.

No comments:

Post a Comment