Thursday, November 14, 2019

දෙකම එකයි...


මේ ලෝකේ හැමදෙයක්ම වෙන්නේ චක්‍රාකාරව කියලා හිතෙන්නේ නැද්ද?

හැම දෙයක්ම, එකක් නෑර.

නිකන් හිතන්න,

වෘත්තයක් ගත්තොත් වෘත්තයේ පටන් ගන්න ස්ථානය මයි  ( පොයින්ට් එකමයි ) ඒ වෘත්තයේ අවසානයත්.



ඉතින් චක්‍රයක් කියන්නේ වෘත්තයක්නේ. ඉතින් හැමදේකම අවසාන ස්ථානය ම ආරම්භක ස්ථානය වෙනවද කියලා අපි බලමු.

දවස පටන් ගන්නේ රෑ 12 ට. රෑ 12න් පස්සේ පටන් ගන්නේ උදේ.



එතකොට රෑ 12 කියන්නේ දවසේ අවසානයත් ඒ වගේම දවසේ ආරම්භයත්.

රෑ 12 කියන්නේ රෑ ඒ වගේම උදේ.

ඔරලෝසුවේ හැම විනාඩියක් ම පටන් ගන්නේ තත්පර කට්ට 12 ඉලක්කමට ආවම. අවසන් වෙන්නෙත් 12 ඉලක්කමෙන්.

හැම පැයක්ම පටන් ගන්නේ විනාඩි කට්ට 12 ට ආවම, අවසන් වෙන්නෙත් ඒ තත්පර කට්ටම 12 ට ආවම.

වෙලාව සම්බන්ධයෙන් පොදු ධර්මතාව මේ විදියයි.

ඔබේ උපන් දිනය තියෙන්නේ මාර්තු 15 නම් (ඕනෙම අවුරුද්දක වේවා) හැම අවුරුද්දෙම මාර්තු 15 වෙද්දී ඔබ ඔබේ ජීවිතයේ එක අවුරුද්දක් ඉවර කරලා තවත් අවුරුද්දක් පටන් ගන්නෙත් එදාමයි.

මාර්තු 15 ඔබගේ 20 වෙනි අවුරුද්දත් ඉවර වෙනවා 21 වෙනි අවුරුද්දත් පටන් ගන්නවා.

අහසේ තියෙන ජල වාෂ්ප වැස්ස නිසා පොළවටත් එනවා, ආයෙත් පොලවේ ලොකු රවුමක් ගහලා අපි ඒ වතුර බීලා, අපි ඒ වතුරෙන් හෝදලා, ඒ වතුර කුණු වලවල් වල තිබිලා, කුණු කාණුවකින් ගිහිල්ල, ගඟකට වැටිලා, මුහුදට වැටිලා, ආයෙත් වාෂ්ප වෙලා යන්නේ අහසටම නේ. ඉතින් පටන් ගන්න තැනටම නේද අවසානයේ එන්නෙත්. ආරම්භයත් අවසානයත් එකයි.

අපි ටිකක් ගැඹුරු දෙයක් අර බලමු.

ඔබ මැරෙන මොහොතම නේද ඔබේ උපන් මොහොතත්.

ඔබ මැරෙන මොහොතේම කර්මය, කර්ම නිමිත්ත සහ ගති නිමිත්ත අනුව (ක්‍ෂණයකින්) ඔබේ මීළඟ භවය හට ගෙන ඉවරයි. ඉතින් අවසානයත් ආරම්භයත් එකයි.

ඔහොම මැරෙන මොහොතේම ආයෙත්  ඉපදිලා, ඒ භවයෙනුත් ආයෙත් මැරෙන මොහොතේම ආයෙත් වෙන භවයක ඉපදිලා, ආයෙත් ඒ චක්‍රයමයි, ආයෙත් ඒ චක්‍රයමයි, ඉවරයක් නෑ නේද. අවසානයමයි ආරම්භයත්. ආරම්භයමයි අවසානයත්..

අපේ ජීවිතේ, මේ ලෝකයේ සියලු දේ චක්‍රයක් විදියට යනවා. හැමදාටම.  සදහටම.

ඔබ ඒ චක්‍රය බිඳින්න තීරණය කරන තාක් කල්.

චක්‍රය බිඳින්න අවුරුදු 2500 ට කලින් කෙනෙක් කරලා පෙන්නුවා. ඔබ ඒ දේ නොදැක්කා වගේ ඔහේ දුවන පිරිසක්.

මොකද ඔබ මේ ලෝකේ මේ චක්‍රයට එච්චරටම කැමතියි.

No comments:

Post a Comment