Friday, November 15, 2019

වැස්ස සහ ප්‍රඥාව


ඔන්න දෙන්නෙක් ඉන්නවා කමල් සහ නිමල් කියලා.

මේ දෙන්න අසල වැසියෝ. දෙන්නම දවල් හොඳට නාගෙන රෙදි ටිකත් හෝදලා වැලට දාලා පොඩි හාන්සියක් දාල පැයකින් වගේ වැට අයිනේ set වෙලා පොඩි කයියක් ගගහා ඉන්නවා.

එක පාරටම පරිසරය අඳුරු වෙලා, ඉර වලාකුළු වලින් වැහෙනවා.

කමල් ඉක්මනට රෙදි ටික වැලෙන් අරගෙන ගෙට ගෙනියනවා.

නිමල් ට මුකුත් තේරෙන්නේ නෑ. නිමල් කමල් ට කතා කරලා අහනවා ඇයි රෙදි ටික දැන් දැම්ම විතරයිනේ වැලට, මොකද එක පාරට අයින් කරේ කියලා.

කමල් කියනවා වැස්සක් එන්න හදන්නේ ඒ නිසයි අයින් කරේ කියලා.

නිමල් වට පිට බලනවා. මොන වැස්සක් ද? මේ හොඳට තියෙන්නේ. පරිසරය අඳුරු වුනාට වහින්නේ නෑ.

නිමල් කමල්ට හිනා වෙනවා අනේ මෝඩයෝ කොහෙද වහින්නේ. එහෙනම් මටත් පේන්න එපයි වහිනවා. නිකන් බයිලා නොගහ ඉන්නවා කියලා නෝන්ඩි දානවා.

කමල් මුකුත් කියන්නේ නෑ. ටික වෙලාවකින් මෙන්න වැස්සක් වහින්න පටන් ගන්නවා.

නිමල් දුවල ගිහින් රෙදි ටික වැලෙන් අරගෙන ගෙට ගෙනියලා දානවා.

කමල් ටික වෙලාවකින් නිමල් ගේ ගෙදරට එනවා කුඩයක් දාගෙන. ඇවිත් අහනවා, අපරාදේ නේද රෙදි ටික තෙමුණේ. මම කිව්වා වෙලාවේ ගත්ත නම් ඉවරයිනේ කියලා පොඩි හින්ට් එකක් ගහලා යනවා.

මේක නිකන්ම කතාවක් නෙමෙයි.

මේක ඇතුලේ තියෙන්නේ අපි හැමෝම පටලවාගෙන තියෙන දෙයක්.

කමල් කොහොමද පරිසරය අඳුරු වුනු ගමන් වහින බව දැනගත්තේ?

මොකද කමල් ප්‍රඥාවෙන් ඒ දේ දැක්ක නිසා. කතාව පටන් ගන්නේ මෙතනිනුයි.

මේ ලෝකයේ අන්ත දෙකක් තියෙනවා “ඉන්ද්‍රිය ගෝචර” සහ “ප්‍රඥා ගෝචර” කියලා.

ඉන්ද්‍රිය ගෝචර කියන්නේ පංචේන්ද්‍රියන් ට හසු වන දේ සහ ප්‍රඥා ගෝචර කියන්නේ ප්‍රඥාවට හසු වන කියන අර්ථයයි.

කමල් දැක්ක පරිසරය අඳුරු වෙනවා, හුලන් හමනවා, ඉර වලාකුළු වලින් වැහෙනවා. එච්චරයි. කමල් ගේ ඇස කියන ඉන්ද්‍රියෙන් දැක්ක කළුවර වෙනවා, ගස් හුළඟට හෙලවෙනවා, ශරීරයට දැනුනා හුළං පාර. මේ ඔක්කොම ඉන්ද්‍රිය වලින් ගත්තු දේවල්.

හැබැයි එතනින් එහාට කමල් ප්‍රඥාවෙන් ඒවා එකින් එක ගලපලා බැලුවා. එතැනදී අවසානයේ මනසින් දැක්ක දේ තමයි වැස්සක් ළඟ ලඟම එනවා කියන එක. අන්න ඒක ප්‍රඥා ගෝචර දෙයක්. නමුත් ඒ වෙලාවේ එක වැහි බින්දුවක් වත් වැටිලා තිබුනේ නෑ. ඒ නිසා කමල් ප්‍රඥාවෙන් දැක්කේ අනාගතයේ (තව විනාඩියක් සිදු වන දේත් අනාගතයම තමයි) සිද්ද වෙන දේයි.

හැබැයි නිමල් ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් දේවල් දකින කෙනෙක්. ප්‍රඥාවෙන් නෙමෙයි.

ඒ නිසා නිමල් ට වහිනකන්ම වැස්ස කියන දේ තේරෙන්නේ නෑ.

ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ දෙයක්.

නිමල් දැක්කෙත් කමල් දැක්ක ටිකමයි. ඒත් නිමල් ඒ කරුණු ටික මනසින් සකස් කරලා අනාගතය දැක්කේ නෑ. ඒ නිසා “වැස්ස වහින කන්ම” නිමල් ට අනාගතයේ වෙන්නේ මොකක්ද කියලා තේරුනේ නෑ.

ඒ දේ තේරුණු කමල් කිව්වා දේත් විශ්වාස කරේ නෑ. මොකද නිමල් ට ඒ දේ පිළිගන්න තරම් සාක්ෂි තිබුනේ නෑ. සාක්ෂි කියන්නේ ඉන්ද්‍රිය ගෝචරයෙන් ඔප්පු කර හැකි සාක්ෂි.

මේ සරල උදාහරණයක් විතරයි ඉන්ද්‍රිය ගෝචරය සහ ප්‍රඥා ගෝචරය කියන්නේ මොකක්ද කියලා.
සරලව තේරුම් ගත යුත්තේ මෙයයි.

ප්‍රඥාවෙන් දකිනා දේ ඔප්පු කර නොහැකියි (එය සිද්ද වෙන තුරු). මොකද එය දකින්නේ මනසින් මිසක පංචේන්ද්‍රියන් ගෙන් නොවන නිසා.

ඒ නිසා ප්‍රඥා ව නැති අයට ඒ දේවල් තේරෙන්නේ ඒ දේ සිද්ද වෙන මොහොතෙමයි. මොකද ඔවුන්ට දෙයක් පිළිගන්න ඒ දේ පංචේන්ද්‍රියන් ගෙන් ම ඇතුලට ගන්න ඕනේ නිසා.

ප්‍රඥා ගෝචරය අධ්‍යාත්මික දෙයක් වන අතර ඉන්ද්‍රිය ගෝචරය භෞතික දෙයක් වේ.

අපේ පැරැන්නන් ප්‍රඥා ගෝචරව දැකපු, කියපු ගොඩක් දේවල්, විද්‍යාව දැන් වෙද්දී එකින් එක ඔප්පු කරමින් යනවා.

ඒත් ඒ සොයා ගන්නා හැම දෙයක්ම මීට පෙර හින්දු දර්ශනය සහ බෞද්ධ දර්ශනය වැනි ආධ්‍යාත්මික පෙරදිග දර්ශන තුල පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

වෙනස මෙපමණයි. දර්ශනයන් තුල ඒ දේ හඳුන්වන නම් සහ විද්‍යාව තුල ඒ දේ හඳුන්වන නම් වෙනස් වීම පමණයි.

විද්‍යාව සහ දර්ශනය හැමදාම ලෝක දෙකක්. මේ ලෝක දෙක අතර දුර අවුරුදු 10000ක්. හින්දු දර්ශනයේ අවුරුදු 10000 කට පෙර කියූ සියල්ල විද්‍යාව අද ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට හසු කරගනිමින් පවතී.

දර්ශනය ඒ බව පැවසුවේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් නොවේ. හුදෙක් ප්‍රඥාවෙන්. එය ඔප්පු කර නොහැකියි කිසිවිටෙකත්. කිසිමවිටෙක. මොකද ඊට අවශ්‍ය තාක්ෂනය, උපකරණ කිසිවක් එකල නොතිබූ බැවින්. නමුත් ඔවුන් ඒ සියල්ල හොඳින් දැන සිටියා.

අද විද්‍යාව දියුණු භෞතික තාක්ෂනය සහ උපකරණ මගින් ඒ සියලු දේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයට හසු කරගැනීම පමණක් සිදු කරමින් සිටි.

වෙනස නම් පෙර එය ඔප්පු කර නොහැකි විශ්වාස ලෙස පැවැති අතර, වර්තමානයේ එය සියසින් දැක ගත හැකි එමගින් ඔප්පු කර හැකි දෙයක් බවට පත්වීමයි.

එසේ නම් පැරැන්නන් ඒ දේ දැනගත්තේ කොහොමද?

පරිසරය අඳුරු වෙද්දී හුලන් වැඩි වෙද්දී ඉර වලාකුළු වලින් වැහෙද්දී වැස්සක් එන බව කමල් ඇත්තටම දැනගත්තේ ප්‍රඥාවෙන් ද? (ප්‍රායෝගිකව අප සියල්ල ඒ සිදුවීම් වැස්සක පෙර නිමිති බව හොඳින් දනී.)
එය ප්‍රඥාව යනු කුමක්ද යන්න පැහැදිලි කිරීමට උදාහරණයක් පමණි.

නමුත් අප සියල්ල එය ආභාෂයෙන් දන්නා දෙයකි. ඒ වැස්සක පෙර නිමිති ආ විට අම්මාගෙන් එන නියෝගය අනුව රෙදි ගෙතුලට ගන්නේ අපියි. ඒ නිසා ඒ බව අපි කුඩා කල සිට දනී. අම්මා ද එය තමන්ගේ අම්මගෙන් දැනගන්නට ඇති. ඇයද එය තමන්ගේ අම්මාගෙන් දැනගන්නට ඇත. එසේ නම් මෙහි කෙලවර මෙය සොයා ගත්තේ කවුද?

මෙය මුලින්ම සොයා ගත් ඔබේ මුතුන් මිත්තා එය අත්දැකීමෙන් දැනගත් දෙයකි.

කිහිප වරක් කළුවර වී, හුලන් හැමීම වැඩි වීමෙන් පැසි වැස්සක් ආ පසු එය අත්දැකීමෙන් ඔබේ මුතුන් මිත්තා ඉගෙන ගන්නට ඇති. එතැන් පටන් එය පරම්පරාවෙන් ලැබුණු ආභාෂයක් වන්නට ඇති.

එබැවින් කමල් රෙදි ටික හැකිලුවේ පෙර සිට පැමිණි දැනුමක් නිසයි. නිමල් එය ඉගෙන ගත්තේ අදයි.

වෙනස, කමල් ගේ මුතුන් මිත්තන් එය මීට පෙර අත්විඳ එය පරම්පරාවෙන් පැමිණි දෙයක් ලෙස කමල් විශ්වාස කිරීමත්, (ඉන්ද්‍රිය ගෝචරව ප්‍රත්‍යක්ෂ වන තුරු නොඉඳ) සහ නිමල් එය තමන්ට ඉන්ද්‍රිය ගෝචරයෙන් ප්‍රත්‍යක්ෂ වන තුරුම සිටීමත් පමණි.

සිදු වීම් දෙකම එකකි. නමුත් ලෝක දෙකකි.

වැස්ස වහින එක දන්න එක ප්‍රඥාව වෙන්නේ කොහොමද, ප්‍රඥාව කියන්නේ ඊට වඩා කොච්චර ලොකු දෙයක් ද අහන්න එපා. ප්‍රඥාව කියන දේ ලොකු පොඩි නෑ.

ප්‍රඥාව ප්‍රඥාවමයි.

ප්‍රඥාව කියන්නේ ඉන්ද්‍රිය ගෝචරයෙන් දත්ත ඇතුලට අරන් මනසින් සකස් කර මනසින් ඉදිරියට සිදු වන දේ දැකීමයි.

ඒ විදියට වැස්සක පෙර නිමිති නිසා ටිකකින් වැස්සක් වහියි කියන පොඩි දේ ඉඳලා සතර පෙර නිමිති දැකලා බුදු වෙන තැනට එනකන් එන්න ඕනේ වෙන්නේ මේ එකම ප්‍රඥාව මයි.

No comments:

Post a Comment