Monday, September 30, 2019

සම්බධතා වෘත්තය


මෙම රුපයෙන් දැක්වෙන්නේ මිනිසාගේ සම්බධතා වෘත්තයයි.



එහි පිටත වෘත්තය හිතවතුන් ලෙසත්, දෙවන වෘත්තය යහළුවන් ලෙසත්, තුන් වන වෘත්තය හොඳම යහළුවන් ලෙසත් සහ ඇතුලත වෘත්තය ප්‍රේමවන්තයින් ලෙසත් කොටස් වලට බෙදේ.

මේ පිලිබන්දව මදක් සවිස්තරාත්මකව පැහැදිලි කරගනිමු.

පිටත වෘත්තය වන හිතවතුන් සිටිනා වෘත්තය යනු සෑම විටකම ප්‍රසාරණය වන වෘත්තයයි. හිතවතුන් යනු අපට එදිනෙදා ජීවිතයේ හමුවන, කතා බහ කරන සහ කතා බහ කිරීමට සිදු වන පිරිසයි. මොවුන් සමග විශේෂ ඇසුරක් නැති වුනත් ඔවුන් හා ඇසුරු කිරීමට සිදුවේ.

දෙවන වෘත්තය වන යහළුවන් සිටිනා වෘත්තය ද ප්‍රසාරණය වන වෘත්තයක් වුවත් එහි ප්‍රසාරණ වේගය ඉතාමත් සෙමින් සිදු වේ. එයට හේතුව අප යහළුවන් ලෙස තෝරාගන්නේ අපට ගැලපෙන යැයි සිතෙන, ගති ගුණ අප කැමති ආකාරයේ, අප කැමති ලක්ෂණ සහිත මෙන්ම ආශ්‍රයට ප්‍රියමනාප පිරිස පමණි.

නමුත් මෙහි විශේෂත්වය නම් අප අපගේ දෙවැනි වෘත්තය තුලට පැමිණීමට ඉඩ දෙන්නේ පිටත වෘත්තය තුල සිටිනා හිතවතුන්ගෙන්ම පිරිසකට වීමයි.

එය ඔබද මෙතෙක් සිතා නොමැති දෙයක් විය හැකිය.



ඔබ යහළුවන් කරගන්නේ ඔබගේ එදිනෙදා ජීවිතයේ හමු වූ හිතවතුන්ගෙන් ම යටත් පිරිසෙන් කෙනෙක් හෝ අයවලුන් පමණි. ඔබ හිතවතුන් ඇසුරු කරද්දී ඔවුන් පිළිබඳව ආකර්ෂණයක් ඇති වීම නිසාවෙන් ඔබ ඔවුන්ව යහළුවන් යන තනතුරට උසස් කරයි. එය ඔබගේ තීරණයක් වන අතර හිතවතුන් සෑම විටකම උත්සහ කරන්නේ යහළුවන් වීමටයි.

තුන්වන වෘත්තය නම් හොඳම යහළුවන් සිටිනා වෘත්තයයි. මේ වෘත්තයද ඔබ විසින් සපුරන්නේ ඔබගේ “යහළුවන්” සිටිනා වෘත්තය තුල සිටිනා අයවලුන්ගෙන් පමණි. ඔබගේ ජීවිතයට එක් වරම එක් මොහොතක හොඳම යහළුවෙක් පැමිණිය නොහැක. ඔබ හොඳම යහළුවෙක් කරගන්නේ ඔබගේ යහළුවන් අතාරින් අයෙකු හෝ කිහිපදෙනෙකුයි.

ඔබට යහළුවන් කෙතරම් සිටියත් හොඳම යහළුවන් සිටින්නේ ඉතාමත් අල්ප ප්‍රමාණයකි.

එයට හේතුව නම් ඔබ හොඳම යහළුවෙක් කරගැනීමේදී ඔබ විසින් සලකා බලන සුදුසුකම් සියලුම යාළුවන් හට නොමැති වීමයි. යම් හෙයිකින් ඔබ සොයනා සුදුසුකම් ඇති යහළුවෙක් හමුවුවහොත් ඔහු හෝ ඇය ඔබගේ හොඳම යහළුවා තනතුරට ඔබ විසින් උසස් කරනු ලබයි. එයද ඔබගේ තීරණයකි.

ඇතුලත වෘත්තය වන්නේ ප්‍රේමවන්තයින්ගේ වෘත්තයයි. මෙය තරමක් ඔබ පිළිගැනීමට අකමැති කරුණක් විය හැකි නමුත් සත්‍ය නම් මෙය බව පැහැදිලි කිරීම යුතුකමකි.

ඔබ ඔබගේ පෙම්වතා ලෙස තෝරාගන්නේ ඔබගේ හොඳම යහළුවන් අතරින් කෙනෙකු බව පැවසුවහොත්, ඔබ එක එල්ලේම මා සමග විරුද්ධ වනවාට කිසිදු සැකයක් නැත. නමුත් මෙය පැහැදිලි කරගන්නක් තෙක් ඉවසීමෙන් මෙම ලිපිය කියවන ලෙස ඉල්ලීමක් කරමි.

ඔබ බස්  රථයේදී හෝ කිසියම් ස්ථානයකදී ඔබ හට ලැබුණු දුරකථන අංකය ලියූ කොළ කෑල්ලක් ලබා දුන් අයෙකු හා ප්‍රේම කරයි නම් මේ කරුණ ඔබට අයත් වන්නේ නැත. ඔබ දුටු දිනයේම ඔබගේ දුරකථන අංකය ඉල්ලාගෙන ඔබ හා පෙම් බස් දෙඩු අයෙක් ඔබගේ වර්තමාන පෙම්වතා නම් ඔබට මේ කරුණ අයත් වන්නේ නැත. මා මෙහිදී කතා බහට ලක් කරන්නේ හොඳි න් ආශ්‍රය කර තමන්ගේ ආදර දිවිය කාත් සමග කුමන ගති ගුණ සහිත පුද්ගලයා සමග ගත කරන්නේද යන තීරණය කර එම දිවිය ඇරඹු අය පිළිබඳවයි.

මදක් සිතන්න. ඔබ ඔබගේ පෙම්වතාගෙන් බලාපොරොත්තු වන ගති ගුණ, ගති ලක්ෂණ හෝ ආකර්ෂණය ඔබ පාරේ යමින් සිටින කෙනෙකුගෙන් දුටුවත් ඔබ ඔහු පසු පස ගොස් “අනේ මම ඔයාට ආදරෙයි” කියා පවසා ඇත්ද?

ඒ වෙනුවට ඔබ කරන්නේ ඔහුට, ඔබ ඔහු පිළිබඳව උනන්දු බව එක් වරක් ඇඟවීම පමණි. මෙතැන් සිට එම අහිංසක තරුණයා ඔබ ගැන සිතමින් ඔබගේ සිත ගැනීමට උත්සහ කරයි. නමුත් ඔබ එක්වරම ඔහු ඔබගේ පෙම්වතා කරගන්නේද?

නැත. ඔබ ඔහුව ආශ්‍රය කිරීමට පටන් ගනියි. නමුත් වැඩි කල් හිතවතුන් ලෙස නොඉඳ ඔබගේ යහළුවෙක් බවට උසස් කරයි. එතැනදී ඔබ ඔහුව හොඳින් අධ්‍යනය කරයි. ඔහු ඔබගේ සුදුසුකම් ලැයිස්තුවේ සුදුසුකම් වැඩි ප්‍රමාණයක් සපුරයි නම් ඔබ ඔහුව හොඳම යහළුවා තනතුරට උසස් කරයි. (ඔබ ඔහුට පළමු ඉඟිය ලබා දෙන්නේ ඔහු තුල ඔබ සොයනා දේ ඇති නිසා බවට උපකල්පනය කරමින් නිසාවෙන්, ඔබ ඔහුව හිතවතා හෝ යහළුවා යන මට්ටමින් ඇත හැර දැමීමේ ඉඩ කඩ බොහොම අල්ප වේ. නමුත් එසේ නොවෙන අවස්ථාද නැතුව නොවේ. ඔබ පිටින් දුටු දේ ආශ්‍රය කරන අතරේදී වැරදි බව ඔබට වැටහී ගියහොත්)

ඔබ හොඳම යහළුවන් ලෙස ආශ්‍රය කරන අතර තුර ඔබට ඔහු ඉතාමත් ලං වේ. ඉතාමත් සමීප ආශ්‍රයක් පවතින විටදී බොහෝ විට පුද්ගලයන්ගේ සත්‍ය ස්වරුපය අපට එළිදැක්වේ.

නමුත් මෙහිදී තවත් දෙයක් සිදු වේ. එනම් ඔබ ඔහුව තමන්ගේ පෙම්වතා බවට පත් කරගන්න ඇති උවමනාව නිසා ඔහුව හොඳම යහළුවා තනතුරට උසස් කර පසු ඔබ ඔහුගේ වැරදි අඩු පාඩු දැකීම හදිසියේම නැවතී. ඔහු කරනා සෑම දෙයක්ම ඔබට නිවැරිදි මෙන්ම “කමක් නෑ පස්සේ හදාගන්න පුළුවන් නේ” තත්වයට පත්වේ. කෙසේනමුත් හොඳම යහළුවා මට්ටමෙන් ද ආපසු හැරුණු පිරිස් නැතුවා නොවේ. එයට හේතුව හොඳම යහළුවන් වී සිටීමේදී සත්‍ය ස්වරුපය මතු වීම නිසා ඔබට හැකියාවක් ලැබෙනවා ඔහු ඔබගේ බලාපොරොත්තු වන සහ බලාපොරොත්තු වුනු ගති ගුණ, ලක්ෂණ සහ ආකර්ෂණය සැබවින්ම පවතියි දැයි සිතා බැලීමට. නමුත් පෙර පැවසු පරිදි මෙහිදී ඔබගේ බලාපොරොත්තු එලෙසම ඉටු නොවුනත් ඍනාත්මක පැත්තට බොහෝ කරුණු තිබුනත් ඔබ නැවත හැරීමට අකමැති නිසා ඔබ ඔහුවම තෝරා ගනියි.

එයටද හේතුවක් තිබේ. එය මීළඟ ලිපියෙන් කතා කරමු.

ලිපිය අවසානයේ ඔබට යම් නිරීක්ෂණයක් සිදු කරන මෙන් ඉල්ලීමක් කරමි. ඔබ ඉහත සම්බන්ධතා වෘතය දෙස හොඳින් බලා මෙම ලිපියේ කරුණු අවබෝධ වුනි නම් ඔබට වැටහිය යුතුයි නාඳුනන කෙනෙකුගෙන් ඇරඹී හිතවතෙකු ලෙස වෘත්තයට ඇතුළු වී, යහළුවෙක් ලෙස සමීප වී, හොඳම යහළුවා ලෙස බලපෑම් කර හැකි අයුරින් සමීප වී අවසානයේ ඔබගේ ජීවිතයේ කොටසක් බවට පත් වීමට නම් ඔහුට මේ සියලු වෘත්තයන්හි සීමා මායිම් පසු කර පැමිණීමට සිදු වන බව.

නමුත් ඔහුට එම සීමා මායිම් පසු කිරීමට ඔබගේ අනුබල ලැබිය යුතු නොවේද? ඔහුට එය ඔහු පමාක් විසින් සිදු කර හැකි ක්‍රියාවක්ද?
මේ පිළිබඳව ද මීළඟ ලිපියෙන් සාකච්චා කරමු.

No comments:

Post a Comment