Thursday, September 19, 2019

Big Picture

නිශ්චල ලංකා 101 කියවද්දී ගොඩක් අයට මොකක්ද මේ ලොකු පින්තූරේ කියල තේරුම් ගන්න අපහසු වුන නිසා මුලින් ඒ ගැන වෙනමම ලිපියක් දාන එක හොඳයි කියල හිතුනා.

මේක මේ ලිපියට නෙමෙයි අපි හැමෝටම හැමදේටම සහ හැමදාම අවශ්‍ය හිතේ තියාගත යුතු දෙයක් නිසා ටිකක් පැහැදිලිව විස්තරාත්මකව ලිපිය ලියනවා.

ඔබ කවදාක හරි ජිග්සෝ පසල් එකක් විසඳන්න උත්සහ කරලා තියෙනවද?


මේ උඩ තියෙන්නේ ජිග්සෝ පසල් එකක්. බොහෝදෙනෙක් මේ වගේ පසල් එකක් විසඳන්න උත්සහ කරලා ඇති කියල හිතනවා.

වැදගත් වෙන්නේ කරලා තියෙනවද නැද්ද කියන එකට වඩා, පොඩ්ඩක් හිතල බලන්න මේ පසල් එක විසඳන්න නම් වැදගත්ම වෙන දේ මොකක්ද කියලා.

විනාඩියක් දෙකක් අරන් කල්පනා කරලා ඉතුරු ටික කියවන්න.




මොනවා හරි උත්තරයක් ආවද?

උත්සහ කරොත් මොකක් හරි දෙයක් ඔලුවට එයි. උත්සහ නොකර උත්තරේ කොහොමත් පහල තියෙනවනේ කියල ආව නම් කියන්න තියෙන්නේ ලංකාව හැමදාම එක තැන තියෙන්න අන්න ඒ මානසිකත්වයත් හේතුවක් කියලා තමයි.

හරි උත්තරේ මේකයි.

මෙතැනදී වැදගත්ම දේ අර වම් පැත්තේ උඩින්ම තියෙන පින්තූරේ.

අපි මුලින් දැනගන්න ඕනේ අපි මේ කිසිම පිළිවෙලක් නැතුව අතන මෙතන හිතාගන්න බැරුව එක එක විදියේ කෑලි ගොඩක් එකිනෙකට ගලපලා අවසානයේ ගොඩ නගන්න  යන්නේ මොකක්ද කියලා.

මෙතැනදී ඒක වම් පැත්තේ උඩින් පෙන්නලා තියෙනවා. දැන් අපි දන්නවා නිල් පාට කෑලි එන්නේ උඩට කලුයි සුදුයි ඒවා ගොඩක් එන්නේ යටට වගේ දල අදහසක්. දැන් අපිට කොනේ කෑලි ටික වෙනම හදල නිල් පාට ඒවා උඩට එනවා කලුයි සුදුයි කෑලි යටට එනවා කියලා අදහසක් තියෙන නිසා හදන්න ගන්න පුළුවන්.

හැබැයි හිතන්න අපිට අවසාන පින්තූරේ දෙන්නේ නැතුව පිළිවෙලක් නැති කෑලි ටික විතරක් දුන්නොත්?

කරන්න බැරි නෑ. ඒත් ඒකට යන කාලය මහන්සිය ගොඩක් වැඩියි. මොකද අපේ ඔලුවේ අවසානයේ හැදෙන්න ඕනේ පින්තූරේ නැති නිසා.

දැන් හිතන්න මෙහෙම. මේ ජිග්සෝ පසල් එකේ කෑලි එකින් එක අපේ සමාජයේ එක් එක් ආයතන, පුද්ගලයින්, වගේ ආදියට සමාන කරොත්, අවසානයේ හැදෙන පින්තූරය අපේ රටේ දියුණුවට සමාන කරොත්, අපිට තේරෙනවා අපි හැමෝම අවශ්‍ය තැනට හරියට ගලපුනොත් විතරයි අපිට එකතු වෙලා ලොකු පින්තූරේ හදන්න පුළුවන් වෙන්නේ.

අපි හැමෝටම එකට දායක වෙන්න වෙනවා. හැමෝටම.

කොනේ කෑල්ල හිතුවොත් මම තමයි කොනේ ඉන්නේ, ඒ නිසා මම තමයි වැදගත්ම කෙනා කියලා මේක අසාර්ථක වෙනවා.

යටට එන්න ඕනේ කෑල්ලක් උඩට වෙලා ඉඳගෙන කියනවා මම මෙතනින් හෙල්ලෙන්නේ නෑ, මමයි මුලින්ම මෙතෙන්ට ඇවිත් මෙතන අල්ල ගත්තේ කියලා, එයාගේ ඊගෝ එක දිනයි, හැබැයි ලොකු පින්තූරේ හැදෙන්නේ නෑ.

දැන් හිතන්න, අපි හැමෝම ලොකු පින්තූරේ දැකල තියෙයි නම් අපි අපිට නියමිත තැනට ගිහින් අපිට අදාළ කාර්යය කරනවා. අවසානයේ රට යන්න ඕනේ තැනට යනවා.

අපි සමාජයක් විදියට අද ඉන්නේ බොහොම සංකීර්ණ තැනක.


හිතන්න, මේ වගේ සංකීර්ණ සමාජයක් එකිනෙකට ගැලපිල හරි තැනට යන්න ලොකු පින්තූරේ හදාගන්න එක කොච්චර අමාරු වැඩක්ද කියල. මොකද මේකේ අපි ලොකු පින්තූරේ දැකල නෑ. 

No comments:

Post a Comment