Friday, September 20, 2019

නිශ්චල ලංකා 103

මෙන්න අවසාන කොටස ලංකාව හැමදාම එක තැන තියෙන්න හේතු වුනු.

විශ්ව විද්‍යාල තුලින් බිහි වන උපාධිදාරීන්.

මේකට ගොඩක් විවේචන එයි. ඒත් කරන්න දෙයක් නෑ.

අපේ විශ්ව විද්‍යාල පද්ධතිය තුල තියෙන "උප සංස්කෘතිය" කියන විකාරයේ එක් අංගයක් තමයි නවක වදය.

මේ නවක වදය මොකක්ද කියල මම කියන්න යන්නේ නෑ. අපි හැමෝම දන්නා දෙයක් නිසා.

හැබැයි මම කියන්න යන්නේ මේකෙන් රටට වෙන හානිය.

නවක වදය කියන්නේ නවක ශිෂ්‍යයින් හැමෝම ජේෂ්ඨ ශිෂ්‍යයෝ කියන කියන විදියට ඉන්න එක. ඒක තමයි සරලම අර්ථ කථනය.

මේකෙදි හරි දේ මොකක්ද වැරදි දේ මොකක්ද කියල තීරණය කරලා හරි දේ කරන්නයි වැරදි නොකර ඉන්නයි කියල තීරණ ගන්න බෑ. කරනවා නම් හරි හෝ වැරදි කියන හැමදේම කරන්න ඕනේ. නැත්නම් එකක්වත් නොකර anti rag වෙන්න ඕනේ.

නවක වදයට අහු වෙන්නේ නැතුව ඉන්න ළමයිට ජේෂ්ඨ ශිෂ්‍යයෝ ඉන්න  දෙන්නේ නෑ. විශ්ව විද්‍යාල භූමිය තුල වගේම ඉන් පිටතදීත් ඒ ළමයින්ට කරදර වෙනවා. කැන්ටිමේදී කන්න දෙන්නේ නෑ නිදහසේ. කැම්පස් එකේ ඇතුලේ පාරේ යද්දී එක එක දේවල් කියනවා ඒ ලමයව මානසිකව වට්ටන්න. මේ ඔක්කොම ඉවසගෙන හිටියොත් ශාරීරිකව පහර දීම්නුත් කරනවා. ඉතින් මේ ඔක්කොම ඉවසගෙන ඔලුව පහත් කරගෙන ඉන්නේ බොහොම සීමිත පිරිසක් විතරයි. නමුත් උපාධිය ගන්න අවුරුදු තුන හෝ හතර ඇතුලත තමන්ගේම කණ්ඩායමේ යාළුවො තමන්ව ගණන් ගන්නේ නැතුව කොන් කරද්දී ඒ ළමය මානසිකව වැටිලා උපාධිය නොගෙනම ගෙදර නවතිනවා.

ඇයි ඉතින් anti rag වෙන්නේ?

මොකද ජෙෂ්ඨයෝන්ගේ මානසික අසහන සපුරන්න හැම කෙනාම කැමති  නැති නිසා. මිනිහෙක්ට තමන්ගේ පාඩුවේ ජීවත් වීමේ අයිතියක් තිබුනත් කැම්පස් එක ඇතුලේ ඒ අයිතිය නෑ. ඉන්නවා නම් ජේෂ්ඨයෝ කියන විදියට ඉන්න ඕනේ. නැත්නම් එලියට බැහැල යන්න ඕනේ. තමන් දෙවැනි වසරට ගියාම තමන් කරන්නෙත් ඒ ටිකමයි අලුතින් එන ළමයින්ට.

දැන් එතකොට rag වෙන ළමයි ඉන්නේ...

ඔව්. ඇති බහුතරය rag වෙනවා. හේතුව... උපාධිය ඕනේ නිසා. එකට බැජ් ෆිට් එක අරක මේක කියල නම් දාගෙන ජේෂ්ඨයෝ කියන කියන දේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් කර කර නවක වද කාලය ගෙවාගන්නවා.

ඒ වෙද්දී ජේෂ්ඨයෝ තමන්ට වහල් කම් කරන වහල්ලු ටිකක් නිර්මාණය කරගෙන ඉවරයි ඔලු හේදීමෙන්.

දැන් ජේෂ්ඨයෝ කියන ඕනෙම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව කරන්න ඔලු හැදිලා ඉවරයි.

ඉතින් මේක කොහොමද රටේ මේ අවාසනාවන්ත තත්වෙට හේතු වෙන්නේ.

මේ උපාධිදාරීන් තමයි රටේ ඉහල පුටු වලට යන්නේ. රටේ තීරණ ගන්නේ.

කොයි තරම් තක්කඩි දේශපාලුවෝ හිටියත් ඒ කාටවත් කිසිම දෙයක් කරන්න බෑ මේ උපාධිදාරීන් ගෙන් හැදුනු නිලධාරීන් ගේ අත්සන නැතුව.

හැබැයි මේ කැම්පස් එකෙන් එලියට එන තමන්ගේ ජේෂ්ඨයා කියන ඕනේ දෙයක් කරන්න ඔලුව හැදිලා ඉන්න උපාධිදාරීන් තමන් රැකියාව කරද්දී තමන්ට කියන ඕනේ දෙයක් කරනවා. ඒක හරිද වැරදිද කියල හිතන්නේ නෑ.

හොඳම උදාහරණය පහු ගිය කාලේ දේශපලුවොන්ගේ නියෝග පිළිපදින්න ගිහින් හිරේ ගිය නිලධාරීන් මතක ඇති ඔබට.

තමන්ට එන නියෝගය හරි නම් කරන්නත් වැරදි නම් නොකර ඉන්නත් කොන්දක් සහ ඔලුවක් කැම්පස් එකෙන් එලියට එන උපාධිදාරියාට නෑ. තමන්ගේ තැන රැකගන්න ඕනේ දෙයක් කරනවා. උපාධිය ගන්න අකමැත්තෙන් rag වුනා වගේ තමන්ගේ තැන රැකගන්න ඉහලට යන්න ඕනේ දෙයක් කරනවා.

ඉතින් රටේ තීරණ ගන්න අය එහෙම වුනාම රටක් දියුණු වෙයිද?

අවසානයට මෝඩ ඡන්ද දායකයින් ඉන්න රටක, පත් කරන හැම දෙස්පාලුවම තක්කඩියෙක් වුන රටක, බුද්ධිමත් පරපුරක් හදන්න අධ්‍යාපනයෙන්ම බාධක දාන රටක, රටේ තීරණ ගන්න ක්‍රියාත්මක කරන පිරිස වහල්ලු වුනු රටක දියුණුව බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් කියන්න වෙන්නේ බුදු සරණයි කියල විතරයි.

No comments:

Post a Comment