Sunday, September 29, 2019

පාඩම් කිරීම සහ අවබෝධය


අපි හැමෝම පාසල් යන කාලයේ පාඩම් කරලා තියෙනවා. අපි පාඩම් කරන්න කැමති නොවුනත් අම්මලාගේ වදෙන් බේරෙන්න බැරි නිසා අපිට පාඩම් කරන්න සිද්ධ වෙනවා.

ඇයි අපි ඇත්තටම මෙහෙම අකමැත්තෙන් පාඩම් කරන්නේ?

ඒකට උත්තරය හොයන්න නම් මුලින්ම අපි දැනගෙන ඉන්න ඕනේ ඇයි ඇත්තටම අපි පාඩම් කරන්න හේතුව කියල.
සාමාන්‍යයෙන් මිනිස්සු දෙයක් පාඩම් කරන්නේ ඒ දේ ඒ පුද්ගලයට තේරෙන්නේ නැති නිසයි.

අපි සරල උදාහරණයක් අරගමු මේ කතාව පැහැදිලි කරගන්න.

අද කාලේ ගොඩක් දකින්න ලැබෙන දෙයක් තමයි ඉංග්‍රීසි භාෂා විභාග වල පාසල් ශිෂ්‍යයාගේ ඉඳන් ඉහලට කට පාඩමෙන් උත්තර ලිවීම.

ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ රචනා ප්‍රශ්නයට දැන් සිසුන් උත්තර ලියන්නේ කට පාඩමෙන්. මේක සිසුන්ගේ වරදක් නෙමෙයි. මොකද ගුරුවරුන්මයි රචනා කට පාඩම් කරවන්නේ. සමහර ගුරුවරු රචනා 50ක් ඇතුලත් කරලා ටියුට් එකක් ගහල දීල හැම සතියෙම එක රචනාවක් කට පාදමින් ලියවනවා. මෙහෙම හැම සතියෙම රචනාවක් ලියවන එකෙන් ගුරුවරයා සාර්ථක ප්‍රතිඵල ලබනවා. මොකද ශිෂ්‍යයාට රචනා 50න් එකක් හරි විභාගයට එන්න තියෙන සම්භාවිතාව හරිම වැඩියි.

දැන් මේක අපි ටිකක් ගැඹුරින් තේරුම් ගමු.

රචනාවක් කට පාඩම් කරලා ලියන්න වෙන්නේ ඇයි?

හේතුව, ඒ ශිෂ්‍යයාට රචනාවක් ලියන්න අවශ්‍ය දැනුම නැති නිසා. රචනාව ලියන්න ඉංග්‍රීසි දැනුම වගේම මෘදු කුසලතා ත් තියෙන්න ඕනේ. වාක්‍යයක් ගොඩ නගා ගත්තට විතරක් මදි, ඒ වාක්‍ය ගලපලා හැඳින්වීමේ ඡේදයක් ඊට පස්සේ අවශ්‍ය කරුණු ගලපලා පක්ෂව හෝ විපක්ෂව කරුණු දැක්වීමේ ඡේද අවසානයේ නිගමන ඡේදය කියලා ගැලපීම් කරන්න ඕනේ. මොකද ලකුණු දෙද්දී මේ නිර්ණායක බලන නිසා.
දැන් ශිෂ්‍යයාට ඉංග්‍රීසි දැනුමත්, වාක්‍ය ගොඩ නැගීමේ හැකියාවත්, කලින් කියපු මෘදු කුසලතා නුත් තියෙනවා නම්, ඒ ශිෂ්‍යයාට රචනාවක් ලියන එක හරිම සරල දෙයක්.

එතකොට කිසිම දවසක රචනාවක් කට පාඩම් කරන්න ඕනේ වෙන්නේ නෑ.

නමුත් සිද්ද වෙන්නේ එක නෙමෙයි. මේ සියලු උගන්වනවට වඩා ලේසියි රචනාවක් කට පාඩම් කරන්න දෙන එක. කට පාඩම් කිරීම සිසුන්ගේ වැඩක්. එකට ගුරුවරයා වගකියන්නේ නෑ. ඉතින් ශිෂ්‍යයා රචනාව කට පාඩම් කරන්නේ නැත්නම් එක ගුරුවරයාගේ වැරැද්ද නෙමෙයි ශිෂ්‍යයාගේ වැරැද්ද.

ඒත් ඇත්තටම වරද කරන්නේ ගුරුවරයා නෙමෙයිද. ගුරුවරයාගේ වගකීම ශිෂ්‍යයාට වැරැද්ද පටවන එක නෙමෙයි. හරියට දැනුම ලබා දීම. ඒත් ගුරුවරයා ඒක නොකර කට පාඩම් කරන්න දීල එක බැරි වුනාම ශිෂ්‍යයාටම වරද පටවනවා.

කිසිම කෙනෙක් කැමති නෑ කට පාඩම් කරන්න. ඒ මිනිස් මොලය හැදුනු හැටි. නමුත් දැන් දැන් කට පාඩම් කියන්නේ සාමන්යකරණයක් බවට පත්වෙලා එක මිනි ස්වාභාවය බවට පත් වෙන තරමට සාමාන්‍ය දෙයක් වෙලා.

ඒ කතාව තේරෙන්නේ නැත්නම් මෙහෙම කියන්නම්.

ඔබ දන්නවද මිනිස්සුන්ට ළදරු අවධියෙන් පස්සේ කිරි බොන්න ජානමය හැකියාවක් තිබුනේ නෑ. ඒ කියන්නේ ළදරුවෙක් විදියට මව් කිරි බිව්වට පස්සේ මිනිස් ශරීරයෙන් ඊට ඇති හැකියාව නැති කරනවා. හැබැයි එඬේර යුගය එක්ක මිනිස්සු සත්ව කිරි බොන පටන් ගත්තා. නමුත් කිරි බිව්වා සැනින් අනිත් පැත්තට ඒ කිරි වමනය විදියට පිට වුනා. මොකද ශරීරය කිරි ජීරණය කරන්න අවශ්‍ය හැකියාව ළදරු අවදියෙන් පස්සේ නැති කරපු නිසා. නමුත් මිනිස්සු කිරි බොන එක නැවැත්තුවේ නෑ. මේ විදියට මිනිස්සු කිරි බොන එක දිගටම කරපු නිසා ශරීරය අර ළදරු අවධියෙන් පස්සේ ජීරණය නැති කරන වැඩේ නැවැත්තුවා.

ඊට පස්සේ ශරීරය ජානමය වශයෙන් ඕනෙම කිරි ජාතියක් බීමට ඔරොත්තු දෙන විදියට සැකසුනා.

මෙන්න මේ වගේ දෙයක් තමයි අද කට පාඩම් කිරීමට සිද්ධ වෙලා තියෙන්නේ.

අපි ඇත්තටම දෙයක් අවබෝධ කරගන්නවා නම් අපිට කිසිම දෙයක් කට පාඩම් කරන්න උවමනාවක් නෑ. හැබැයි අපිට දෙයක් අවබෝධ කරගන්න බැරි නම් අපිට ඒ දේ තේරුම් ගැනීමකින් තොරව කට පාඩමෙන් මතකයේ තියාගෙන් ඉන්න වෙනවා.

හැබැයි හිතල බලන්න වඩා වටින්නේ කට පාඩමද (කිසිම අවබෝධයකින් තොරව) නැත්නම් එකින් එක අවබෝධ කරගන්න එකද කියලා.
අද අපේ අධ්‍යාපන ක්‍රමය අපේ ශිෂ්‍ය පරම්පරාව හදන්නේ කිසිම දෙයක් තේරුම් අරගන්න පිරිසක් විදියට නෙමෙයි, කිසිම අවබෝධයකින් තොරව කට පාඩමෙන් විභාග සමත් වෙන පිරිසක් විදියට.

අවසානයේ මේකත් කියන්න ඕනේ.

සමහර අය ඉන්නවා කොච්චර කිව්වත් කට පාඩම් කරන්න බැරි අය. මේ අයට අවශ්‍ය අවබෝධයෙන් වැඩ කරන්න. නමුත් අවාසනවකට මේ පිරිස පාසලෙන් කොන් වෙන පිරිස. මොකද මේ අය ලේබල් වෙනවා ඉගෙන ගන්න බැරි අය විදියට.

ඇත්තටම ඒ ඉගෙන ගන්න බැරි අය නෙමෙයි. හොඳට ඉගෙන ගන්න පුළුවන් අය. ඉගෙනීම අවබෝධයෙන් කරන දෙයක් වුනා නම්.

No comments:

Post a Comment