Monday, September 23, 2019

කොරහේ කිඹුලන් දැකීම.

මේ ලිපිය කලින් ලිපිය හා සම්බන්ධයි. ඒත් ඔබත් හණමිටි කාරයෙක්ද 2 කියල නම් නොකර කොරහේ කිඹුලන් දැකීම කියලා නම් කරේ පෙර ලිපිය සමග සම්බන්ධ වුනත්, මේ ලිපිය ස්වාධීන අදහසක් හුවා දක්වන නිසා.

හොඳයි එහෙනම් අපි පටන් ගමු.

ඔබ ජීවිතේ කවදාක හරි මුහුද දැකල ඇති කියල විශ්වාස කරනව.

මුහුදේ කෙළවරක් නොපෙනෙන ඈත ඉම දිහා බලාගෙන කොයි තරම් නම් දේවල් කල්පනා කරලා ඇත්ද. මුහුද ජීවිතේ ඇත්තට දැකල නැතත් අඩුම ගානේ රූපවාහිනියෙන් හෝ දැකල ඇති.

මුහුදේ ඉන්න එක එක විදියේ ජීවින් දැකල ඇති.

කැස්බෑව, මෝරා, ඉස්සා, දැල්ලා, ඩොල්ෆින්, බූවල්ලා වගේ සත්තු දැකලා ඇති.

තල්මස්සු හැබැහින් දැකල තියෙයි නම් ඔබ ඉතාමත් වාසනාවන්ත පුද්ගලයෙක්. මොකද අති බහුතරයක් රුපවාහිනියෙන් වත් තල්මහෙක් දැකල නැති නිසා.

දැන් මෙහෙම හිතන්න.

ඔබ ඉන්නේ මුහුදු වෙරළේ.

ඔබගේ අතේ තියෙනවා වතුර බොන වීදුරුවක්.

දැන් ඔබ වීදුරුවට මුහුදෙන් වතුර ටිකක් අරගෙන ඒක හොඳින් නිරීක්ෂණය කරලා බලනවා.

ඔබ නිරීක්ෂණය කරපු දේ අනුව ඔබ අවසානයේ නිගමනයකට එනවා. මොකද නිගමනය?

මුහුදේ කිසිම ජීවියෙක් නෑ.

ඒ නිගමනය 100% සාධාරණ නිගමනයක්. මොකද ඔබ නිරීක්ෂණය කල වීදුරුව තුල තියෙන මුහුදු වතුරේ කිසිම ජීවියෙක් හිටියේ නෑ.

නමුත් අපේ සාමාන්‍ය දැනීමෙන් අපි දන්නවා මුහුද කියන්නේ වෙනමම ලෝකයක්, මේකේ ජීවීන් වර්ග දහස් ගානක් ඉන්නවා කියලා. එහෙනම් අර කලින් කරපු නිගමනය මහා විහිළුවක්.

කතාව එච්චරයි.

අපි ගන්න වතුර වීදුරුව ලොකු වෙන තරමට අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් පරාසය වැඩි වෙනවා. අපි නිරීක්ෂණය කරන පරාසය වැඩි වෙන තරමට අපිට ලැබෙන නිගමන වල නිවරද්‍ය බව වැඩි වෙනවා.

කලින් ලිපියෙන් කතා කරා වගේ අපේ ඉතිහාසය තුල අපේ මුතුන් මිත්තන් ගාව තිබුණු වීදුරු කොච්චර ලොකුද කියනවා නම් ඒවගේ තල්මස්සුත් ඉඳල තියෙනවා. ඉතින් අපේ මුතුන් මිත්තෝ ඒගොල්ලෝ දැකපු දේවල් කට වහරෙන් වගේම ලිඛිතවත් ඊළඟ පරම්පරාවට දුන්නා.

හැබැයි ඊළඟ පරම්පරාව ගාව තිබුණු වීදුරුව කලින් වීදුරුවට වඩා පොඩි එකක්. එකට සමහර විට කලින් පරම්පරාවේ අයට හම්බුනු තරම් ලොකු තල්මස්සු අහු නොවෙන්න ඇති. ඒ නිසා එයාල හිතන්න ඇති අපේ කලින් පරම්පරාව බොරුනේ කියන්නේ මෙච්චර ලොකු නෑ නේ තල්මස්සු කියලා.

ඔහොම ඔහොම පරම්පරාවේන් පරම්පරාවට එද්දී අතේ තියෙන වීදුරුව එන්න එන්න පොඩි වෙලා එක දවසක එක පරම්පරාවක වීදුරුව කොච්චර පොඩිද කියනව නම් ඒකට තල්මහෙක් තියා ඩොල්ෆින් කෙනෙක් වත් අහු නොවෙන තරම් පොඩියි.

දැන් ඒ පරම්පරාව කියයි "අපේ කලින් අය කිව්වට තල්මස්සු කියලා ජාතියක් ඉන්නවා කියලා කෝ එහෙනම් මේ වීදුරුවට තල්මහෙක් අහු වෙන්න එපයි. මහා බොරුනේ. මිත්‍යා මත අපිත් නිකන් විශ්වාස කරනවා" කියලා.

ඒත් ඇත්තටම එයාල දන්නේ නෑ එයාලට තල්මහෙක් අහු වෙන්න තරම් ලොකු වීදුරුවක් නෑ කියල. එහෙනම් වැරැද්ද එයාලගේ මිසක් කලින් හිටපු මුතුන් මිත්තොන්ගේ නෙමෙයි.



අපේ කාලයේ අපි පාවිච්චි කරන්නේ සාමාන්‍ය වතුර බොන ප්‍රමාණයේ වීදුරුවක්.

 මේ වීදුරුව එන්න එන්න පොඩි වෙනවා. ඒ නිසා අපි මහා සාගරයේ දකින්න පුළුවන් ගොඩක් දේවල් දකින්නේ නෑ. මොකද අපේ දැක්ම බොහොම පටු නිසා.

මේ පටු දැක්ම සහ බුද්ධිය එන්න එන්නම තවත් පටු වෙනවා මිසක් පුළුල් වෙන්නේ නෑ.

නමුත් තාමත් අපි අතරේ ඉන්නවා ටිකක් ලොකු වීදුරුවක් හදාගෙන එකෙන් නිරීක්ෂණය කරලා දේවල් හොයාගන්න අය. නමුත් ඒ අය කියන දේවල් පිළිගන්නේ නෑ අනිත් අය. මොකද ඒ අය හිතන්නේ ඔහු හෝ ඇය පාවිච්චි කරන්නෙත් පුංචි වීදුරුවක් කියලා. මට පෙන්නේ නැති දේ කොහොමද එයාට පෙන්නේ?

පුංචි වීදුරු පාවිච්චි කරන අයට පෙන්නේ නෑ ලොකු වීදුරු පාවිච්චි කරන අයට පෙනෙන දේවල්.

ඉතින් පොඩි වතුර වීදුරුවක් තියාගෙන තල්මස්සු නෑ කියන්න එපා.

No comments:

Post a Comment