Tuesday, November 12, 2019

වැඩියෙන් පුරවන ගිණුම...

අපි අපේ ජීවිත කාලේ පුරාම ගිණුම් එක්ක ගනුදෙනු කරන පිරිසක්.

ඉපදුනු ගමන් දෙමව්පියෝ ආරම්භ කරන බැංකු ගිණුමෙන් පටන් අරන් විවිධාකාරයේ ගිණුම් වලින් ගනුදෙනු කරනවා.

නමුත් මේ කතා කරන්නේ අපි භාවිතා කරන ප්‍රධාන ගිණුම් දෙකක් ගැනයි.

1.බැංකු ගිණුම
2.කර්ම ගිණුම

බැංකු ගිණුම අයත් වන්නේ භෞතික ලෞකික ලෝකයට සහ කර්ම ගිණුම අයත් වන්නේ අධ්‍යාත්මික ලෝකයට.

ඉතින් ඔබ මේ ලෞකික ලෝකයේ බැංකු ගිණුම පුරවන්න වෙන මහන්සිය, උත්සාහය, කැපවීම අධ්‍යාත්මික ලෝකයේ කර්ම ගිණුම පුරවන්නේ නැතුව ඉන්න දැරුවානම් ඔබ අද වෙද්දී නිවන් දැකලා ඉවරයි.

අපි ඒ කතාව තේරුම් ගනිමු.

බැංකු ගිණුම පුරවන සෑම විටකම ඔබේ කර්ම ගිනුමත් පිරවෙනවා නිකන්ම. එය ඔබ දන්නෙවත් නැතුව සිද්ධ වෙන නමුත් ඔබට වැළක්විය නොහැකි දෙයක්.

ඉතින් හොඳයි නේ ඒ ගිනුමත් පිරවෙන එක.

ඔව් හොඳයි නම් තමයි. ඒත් කර්ම ගිණුමේ ඔබ පුරවන්නේ මොනවද කියලා නොදැන එසේ කීම මෝඩකමයි.
ඔබ බැංකු ගිණුම පුරවන සෑම විටම ඔබ රැස් කරන්නේ කර්මයි. එය හොඳ කර්ම මෙන්ම නරක කර්ම යන දෙආකාරයම විය හැකියි.

ඔබ රැස් කරන්නේ මොන ආකාරයේ කර්මයක් වුවත් එය ඔබගේ සංසාරය දික් කිරීමට හේතුවක් වන බව අප දැන් දන්නා කරුණක්.

ඔබ හොඳින් මුදල් උපයා ඔබගේ බැංකු ගිණුම පිරවීම නරක දෙයක් නොවේ. එය නරක කර්ම රැස් කිරීමක් නොවේ. නමුත් ඒ ඔබ වැය කරන්නේ මේ සසරෙන් මිදීමට ඔබට ලැබී ඇති දුර්ලභ අවස්ථාවකි. එසේම ඔබ හොඳින් මුදල් උපයා බැංකු ගිණුම පුරවද්දී ඔබ තුල ආශාව වැනි කර්ම සිත් ඇති වේ. ඒවාට කර්ම විපාක ද ගෙවිය යුතු වේ. වෙනත් වචන වලින් කිවහොත් සසර දිගු වේ. ඔබ ඉපයූ මුදල් වලින් ජීවිතය විඳීමෙන්, ඇති වන කර්ම විපාක ගෙවීමට සිදු වේ. එනම් සසර දිගු වේ.

ඔබ නරකින් මුදල් උපයා බැංකු ගිණුම පුරවයි නම්, නිසැකයෙන්ම ඔබට නරක කර්ම රැස් වේ. ඒවා විපාක දෙන්නේ තිරිසන් භව වල ඔබට විඳවීමට සිදු වීමෙනි. ඔබ එම මුදල් වියදම් කර ජීවිතය විඳින අතර රැස් කරන කර්ම ද විපාක විඳිය යුතුය. නරකින් මුදල් උපයා හොඳ වැඩ කරද, ඔබට නරක විපාකයෙන් බේරීමට නොහැකි අතර, කරනා හොඳ වැඩ සඳහා හොඳ විපාකද ලැබෙනු ඇත. නමුත් පළමුව තිරිසන් ආත්ම වල විඳවා ඉන් පසු හොඳ කර්ම ඵල දෙනු ඇත.

ඔබ ඔබේ බැංකු ගිණුම පුරවන විට අනෙක් පැත්තෙන් කර්ම ගිණුමද පිරෙන්නේ ඒ ආකාරයෙනි.



ලෞකික ලොව තුල සැප දේ ආධ්‍යාත්මික ලොව තුල දුකක් ද, ආධ්‍යාත්මික ලොව තුල සැප දේ ලෞකික ලොව තුල දුකක් ලෙසද පෙනේ.

එය ලෝකයන් දෙකෙහි ස්වාභාවයයි.

එබැවින් නැවතත් එක් දෙයක් සාක්ෂාත් වී ඇත.

එනම් ලෞකික ලොව සහ ආධ්‍යාත්මික ලොව කෙදිනකවත් එකට එකතු විය හැකි ලෝකයන් දෙකක් නොවේ.

එබැවින් එක් ලොවක්, එක් අන්තයක් තෝරාගන්න. නැත්නම් ඔබ අතරමන් වනු ඇත.

No comments:

Post a Comment