Friday, November 1, 2019

කල්‍යාණ මිතුරා යනු ඔබේ හතුරාය...


ඔබ ඔබේ කල්‍යාණ මිතුර කියලා හිතාගෙන ඉන්නේ ඔබට කිට්ටුවෙන්ම ඉන්න, උදව් කරන, ඕනෙම දෙකට ඔබත් එක්ක එන කෙනාට නේද?

වැරදියි. ඒ ඔබේ මිතුරෙක් නෙමෙයි හතුරෙක්.

ඔබ හිතන්න පොඩි කාලේ ඔබ ගණන් වලට අදක්ෂයි නම්, ගණන් ගුරුවරයා ඔබට ගෙදර වැඩ කරේ නෑ කියලා ගහනවා නම්, නිකන් ගුටි කාලා ලජ්ජා වෙන්න අකමැති නිසා ඔබ කරන්නේ යාලුවගෙන් කොපි කරගන්න එක නේද?

එහෙම නොදුන්නම ඔබ අඩෝ උඹ එහෙමයි නේ, උඹ යාලුවෙක් ද බන්, කියලා අහලා තියෙනවා නේද?

ඔබට කොපි කරගන්න ගණන් පෙන්නුවේ ඔබේ හතුරෙක් වෙන අතරේ ඔබට නොපෙනන හංගා ගත්තේ මිතුරෙක් බව තේරුම් ගන්න.

ගුරුවරයාගෙන් ගුටි කනවට කොපි කරගන්න පොත පෙන්නන කෙනා ඔබට කරන්නේ උදව්වක්ද?
නෑ. ඒ කරන්නේ හතුරුකමක්.

ඔබට ගණන් ටික පෙන්නන එක නෙමෙයි මිතුරු කම, ඔබට අමාරු ගණන් හදන හැටි කියලා දෙන එක. එතකොට ඔබම එක තේරුම් අරන් හදනවා. ඒකෙන් ඔබටයි හොඳක් වෙන්නේ. එහෙමත් නැත්නම් නොපෙන්වා ඉන්නවා ගුරුවරයාගෙන් ගුටි කාලම ඔබ ඒ ගණන් හදන්න ගුරුවරයගෙන්ම ඉගෙන ගන්න නිසා.
ඔව් ඇත්ත ජීවිතයේ මෙහෙම නෑ, පොත පෙන්නන්නේ නැත්තේ ආත්මාර්ථකාමී සගයෝ, පොත පෙන්නන්නේ ලඟින්ම ඉන්න මිතුරි. ඒ දේ පිලිගන්නවා.

නමුත් ඔබට තේරෙනවද ඇත්තටම යතාර්ථය නම් පොත නොපෙන්නපු කෙනා ඔබේ මිතුරා සහ පොත පෙන්නුවා කෙනා ඔබේ හතුරා බව?

ඔබ ගුටි කද්දී ඔබටම සිද්ධ වෙනවා ගුටි කණ එකෙන් බේරෙන්න නම් උනන්දු වෙලා ගණන් ටික ඉගෙන ගන්න. හැබැයි ඔබට කොපි කරන්න කෙනෙක් පෙන්නනවා නම් ඔබට කවදාවත් උනන්දු වෙලා ඒ දේ ඉගෙන ගන්න ඕනේ වෙන්නේ නෑ. මොකද කොපි කරගන්න කෙනෙක් ඉන්නවනේ.

මේ සරල උදාහරණයක් විතරයි.

අපි දැන් එමු අපේ ලොකු කාලෙට.

ඔබ තාමත් හිතන්නේ ඔබට හැමදේටම උදව් කරන, ඔබ කරන හැමදේම හොඳයි කියන, වැරද්දක් දකින්නේ නැති කෙනයි ඔබේ කල්‍යාණ මිත්‍රය කියලා.

නෑ. තාමත් ඔබ වැරදියි.

ඔබේ අඩු පාඩු පෙන්නන, ඔබේ වැරදි මූණටම කියන, ඔබේ වැරදි දේට උදව් නොකරන කෙනයි ඔබේ කල්‍යාණ මිත්‍රය.

අපි කවුරුවත් කැමති නෑ අපේ වැරදි කියනවට කවුරුවත්. අපි කවුරුවත් කැමති නෑ අපි කරන දේ විවේචනය කරනවට. අපි එහෙම කරන අය නිකන්ම අයින් කරලා දානවා. මොකද අපි කැමති අපේ හොඳ කියනවට, වර්නන කරනවට.

ඔව් අපි කැමති එහෙමයි. ඒ නිසා අපි යාළුවො කරගන්නෙත් එහෙම අයයි.

ඒත් ඔබේ කල්‍යාණ මිත්‍රයා ඔබේ අඩුපාඩුම කියයි. ඔබේ වැරදීම පෙන්නයි. ඔබේ සමහර ක්‍රියා විවේචනය කරයි. ඔබට හරස් කපයි.

මොකද ඔහු ප්‍රර්ථනා කරන්නේ ඔබේ යහපතැයි. ඔබ යන්නේ වැරදි මාර්ගයක නම් ඔහු හදන්නේ ඔබව හරි මාර්ගයට ගන්නයි.

නමුත් අපි එහෙම අයට කැමති නෑ. අපි හිතන්නේ ඒ අපේ හතුරෙක් කියලා. මු දකින්නේ මගේ වැරදිමයි. හොඳක් දකින්නෙම නෑ. අන්න ඒකට අරූ. හැමදේටම උදව් කරනවා, ඕනේ දෙකට ඉන්නවා මාත් එක්ක.
ඕනේ දෙකට ඔබ එක්ක ඉන්නවා කියන්නේ හොඳ නරක දෙකටම ඔබේ උදව්වට ඉන්නවා. එහෙම අය කල්‍යාණ මිත්‍රයන් වෙන්නේ කොහොමද? කල්‍යාණ මිත්‍රයා ඔබ එක්ක ඉන්නේ හොඳ දෙදි විතරයි. ඔබ නරකක් නම් කරන්නේ ඔහු ඔබ එක්ක එන්නේ නෑ, ඔබට යන්න දෙන්නෙත් නෑ.

ඒ නිසා ඔබේ සතුරා කියලා ඔබ අයින් කරපු හැමෝම ඔබට ඇත්තටම ඔබේ අඩු පාඩුයි පෙන්නලා තියෙන්නේ. ඒ ඔබේම හොඳට.

වර්තමාන සමාජය මේ උගුලෙ කොච්චර හිර වෙලාද කිව්වොත්, විශේෂයෙන්ම ගැහැණු ළමයි හිතනවා, තමන්ව වර්ණනා කරන අය තමයි හොඳ අය අනිත් අඩු පාඩු කියන අය හතුරෝ කියලා.

ඔව් අඩු පාඩු කියනවා, මොකද ඒ අය කැමති ඔබ ඔබේ ගරුත්වය ආරක්ෂා වෙන විදියට ඉන්නවා දකින්න. ගැහැණු ළමයෙක් විදියට ඒ ගරුත්වය ලබනවා දකින්න.

ඔබගේ හැම ක්‍රියාවක්ම වර්ණනා කරන අයට ඕනේ ඔබව ඒ තත්වයෙන් පහලට ඇදලා දාලා තමන්ගේ මට්ටමට ගන්න, මොකද එතකොටයි ඔවුන්ට ඔබව හසුරවන්න, පාවිච්චි කරන්න ලේසි.

පිරිමි ළමයි හිතනවා මත්ද්‍රව්‍ය ටිකක් දෙන කෙනා තමයි හොඳම යාළුවා කියලා. ඒවාට විරුද්ධ වෙන, උදව් නොකරන අය පිරිමි නෙමෙයි, නිකන් ගෑණු කියලා.

පොඩි කාලේ ඉගෙන ගත්තට අපේ හොඳම කල්‍යාණ මිත්‍රයා බුදුහාමුදුරුවෝ කියලා, ඒ බව අවබෝධ වෙන්නේ දැනුයි හරියට.

මේ භයානක සංසාරයෙන් මිදුණු බුදුහාමුදුරුවෝ පාඩුවේ, අම්මෝ යන්තම් මම නම් ගැලවුනා කියලා හිටියේ නෑ පාඩුවේ. අපිටත් කියලා දුන්න. තමන් අනතුරක් කියලා දැක්කම ඒක අනිත් අයට කියලා දෙන්නේ කල්‍යාණ මිත්‍රයෝ විතරයි. ඒකෙන් මිදෙන හැටි කියල දෙන්නේ කල්‍යාණ මිත්‍රයෝ විතරයි.

හැබැයි ඒ අනතුරෙන් මිදෙන එක අපේ වැඩක්. කල්‍යාණ මිත්‍රයට බෑ අපිව අතින් අල්ලගෙන ඒ අනතුරෙන් එලියට අරන් එන්න.

ඔබත් කල්‍යාණ මිත්‍රයෙක් නම්, ඔබ දකින අනතුර අනිත් අයට පෙන්නලා දෙන්න. ඔවුන් පිළිගත්තත් නැතත් ඔබ ඔබේ යුතුකම ඉෂ්ට කරන්න.

දවසක ඔබට පසුතැවීමක් ඇති වෙන එකක් නෑ.

මම ඌට කිව්වා, ඒත් උගේ මෝඩ කමට ඌ ඇහුවේ නෑ, කියලා හිතෙන එක ටිකක් හෝ හොඳයි, අයියෝ මට ඌට ඒක එදා කියන්න තිබුනේ, එහෙනම් ඌට ඔහොම වෙන්නේ නෑ නේ කියලා හිතෙනවට වඩා.

No comments:

Post a Comment