Monday, November 11, 2019

ඉන්ද්‍රිය ගෝචරය සහ ප්‍රඥා ගෝචරය...


මේ වචන දෙක අපේ ජීවිතයේ ඕනෑතරම් අසා ඇති. නමුත් මෙහි අර්ථය කුමක්ද ඔබ දන්නවාද?

සරල අර්ථය නොවේ, නිවැරිදි අර්ථය?

ඉන්ද්‍රීය ගෝචර යනු පංචේන්ද්‍රියන් a හසු වන යන සරල අර්ථයයි.

ප්‍රඥා ගෝචර යනු ප්‍රඥාවට හසු වන යන සරල අර්ථයයි.

ඉන්ද්‍රිය ගෝචර නම් අපට තේරුම් ගත හැකියි. නමුත් මේ ප්‍රඥා ගෝචර යනු කුමක්ද?

උදාහරණයකින් අපි ඒ බව තේරුම් ගනිමු.

ඔබට පේනවා අහස කළු කරගෙන එනවා කියලා.

දැන් ඔබ ඒ බව ගෝචර කරගත්තේ ඔබේ ඇස නමැති ඉන්ද්‍රියෙන්. එය ඔබ දැකීම යනු ගෝචර කරගැනීමයි.
මෙහි ප්‍රඥා ගෝචරය නම් එතනින් එහාට මනසින් දැකීමයි.

ඔබ තවම දුටුවේ අහස කළු කිරීම පමණි. එම ඉන්ද්‍රිය ගෝචරයෙන් ලබා ගත් දේ ඔස්සේ තව දුරටත් දැකීම ප්‍රඥා ගෝචරය වේ.

ඔබ දැන් දකිනවා, තව ටික වෙලාවකින් වැස්සක් එන බව. රෙදි ටික වැලේ ඇති බවත්, රෙදි ටික හකුලා ගෙට නොගත්තොත් රෙදි වැස්සට තෙමි නැවතත් තෙත බරිත වෙන බවත්. නමුත් මේ කිසිවක් සිදු වුවේ නැත. 

තවමත් අහස කළු වූවා පමණි.

එම ප්‍රඥා ගෝචරය අනුව ඔබ ඉක්මනින් රෙදි ටික හකුලා ගෙට ගනියි. ටික වේලාවකින් වැස්සක් ඇදහැලීම ට පටන් ගනියි.

ඔබ ඔබගේ ප්‍රඥාවෙන් දුටු දේ දැන් ඔබගේ ඉන්ද්‍රිය ගොචාරයට හසු වෙමින් පවතී.

එසේ නම් ඔබට අවබෝධ වනවා ඇති ප්‍රඥා ගෝචරය යනු ඉදිරිය මනසින් දැකීම බවත් ඉන්ද්‍රිය ගෝචරය යනු එම මොහොත සිදු වන අතරතුර එය ඉන්ද්‍රියෙන් ගෝචර කර ගැනීමත් බව.

ඔබ බුද්ධිමත් නම්, ප්‍රඥා ගෝචරයෙන් දකින දේ අනුව ඔබ කල් තියාම සුදානම් වනු ඇත. එසේ ප්‍රඥාව නොමැති අය එය තමන්ගේ ඉදිරිපිට සිදු වනතුරු කිසිවක් නොකර බලාසිටිනු ඇත.

නමුත් එවිට කිසිම පියවරක් ගැනීමට කල් වෙලා නැති බව එවිට වැටහෙනු ඇත.

අහස කළු වීම සමග රෙදි හකුලා ගෙට ගැනීම ඔබ ප්‍රඥා ගෝචරයෙන් නොව පුරුද්ද මත කරනා බව සැබෑය. 

නමුත් එයද ප්‍රඥාවයි.

එය උදාහරණයක් බවත්, ඔබට අවබෝධ වන පරිදි එය පැහැදිලි කිරීමට එම උදාහරණය ගත බවත් සලකා ඔබගේ ජීවිතයේ තීරණ ඉන්ද්‍රිය ගෝචරයෙන් නොව ප්‍රඥා ගෝචරයෙන් ගන්න මෙන් ඉල්ලමි.

නමුත් එක් දෙයක් ඔබ සැමවිටම තේරුම් ගත යුතුය. ලෝකයාගෙන් ඇති බහුතරය ප්‍රඥාවන්ත නොවන බවත්, ඔබ ප්‍රඥාවෙන් ගන්නා තීරණ ලෝකයාට තේරුම් කිරීමට යාම නිෂ්ඵල කාර්යයක් බවත්, ඔබ ඔබව සුදානම් කරගැනීම සුදුසුම පියවර බවත් සැමවිටකම මතක තබා ගන්න.

ඉන්ද්‍රිය ගෝචරයෙන් ගන්න දේ තුලින් ඊටත් එහා මනසින් දැකීම ප්‍රඥාවයි.

ලබාගන්නා දත්ත - ඉන්ද්‍රියන් තුලින්.
සැකසීම - මනස සහ ප්‍රඥාව තුලින්.

ප්‍රතිඵලය - සත්‍යය දැකීම.

සුභ පැතුම්..!

No comments:

Post a Comment