Wednesday, August 14, 2019

සිත


සිත යනු හැඩයක් නොමැති, පැහැයක් නොමැති, නිශ්චිත ස්ථානයක නොමැති, කිසිවෙකු හෝ දැක නොමැති නමුත් සියල්ලන්ගේම පාලකයාය. සිත පිළිබඳව බුද්ධ දර්ශනයේ සඳහන් වන්නේ "දුර ගමන් යන, තනිව හැසිරෙන, ශරීරය නමැති ගුහාවේ ජීවත් වන" දෙයක් ලෙසය. ඊට අමතරව, එවැනි සිත මෙල්ල කරනුයේ කවරෙක්ද, එවැනි සිත පාලනය කරනුයේ කවරෙක්ද, ඔහු මාර බන්ධනයෙන් මිදෙතැයි තව දුරටත් සඳහන් වේ.

මෙය තරමක් ගැඹුරින් එසේම විස්තරාත්මකව පැහැදිලි කරගත යුතු කරුණකි.

සිත දුර ගමන් යයි.

මොහොතක් සිතන්න. ඔබ ශ්‍රී පාදය නැමදීමට ගිය ගමන. සීතලෙන් වෙව්ල වෙව්ලා, පිය ගැට පෙළ නැගුනු ආකාරය. සීත ගඟුලෙන් මුව දොවා ගත ආකාරය, මහා ගිරි දඹය අපහසුවෙන් නැගුනු ආකාරය. උද මළුවේදී සීතලෙන් ගැහෙමින් සීතල පොලවේ පය ගසා ගොස් සිරි පතුල නැමද සිටි අයුරු.

නැවත සිතන්න ඔබ පාසල් ගිය ආකාරය. මිතුරන් සමග එකට ගත කර අයුරු. ගුරුවරුන්ගෙන් දඬුවම් ලැබූ අයුරු.

මේ සියල්ල ඔබේ සිත ඔබ ඉදිරියේ එකින් එක මවා පෙන්වන්න ඇති. සිතන්න. ඔබේ ගත මෙතනම තිබියදී, ඔබේ සිත ඔබේ පාසල් කාලයට මෙන්ම ශ්‍රී පාදයටද ගොස් පැමිණ අවසානයි. එක මිනිත්තුවක් ඇතුලත. එසේනම් ඔබේ සිතට දුර ගමන් යා නොහැකිද?

තනිව හැසිරෙයි.

ඔබේ සිත ඔබ මෙන් නොව මිතුරන් නොමැතිව තනිව හැසිරෙන දෙයකි. සිත ට යහළු සිත් නැත.

ශරීරය නමැති ගුහාවේ වාසය කරයි.

සිත හට නවාතැනක් ඇත. ඒ ඔබේ ශරීරයයි. සිත ට අත් පා නොමැති අතර ඔබගේ අත් පා සිත එයට අවැසි ආකාරයට පාලනය කර ප්‍රයෝජනයට ගනියි. සිත කොයි තරම් දුර ගමන් ගියද නැවත ඔබගේ ශරීරයටම පැමිණෙයි. ඔබ කොහි ගියත් නැවත නිවසට පැමිණෙනවා මෙන් සිතද කෙතරම් දුර ගියත් නැවත ඔබගේ ශරීරයටම පැමිණෙයි.

සිතට පැවැත්මක් තිබීමට නම් ඔබගේ ශරීරය ට පැවැත්මක් තිබිය යුතුය. ඔබගේ ශරීරය මෙලෝ ජීවත්ව සිටින තාක් කල් සිත ඔබගේ ශරීරය එයට අවශ්‍ය පරිදි ප්‍රයෝජනයට ගනී. ඔබගේ දෑත පාලනය කරන්නේ ඔබගේ සිතයි. ඔබගේ පාද පාලනය කරන්නේ ඔබගේ සිතයි. ඔබගේ මුවින් පල වන වදන් පාලනය කරන්නේ ඔබගේ සිතයි. එබැවින් ඔබගේ ශරීරය සිත විසින් පාලනය කරන්නා වූ එක රූකඩයක් පමණි. ඔබගේ ශරීරය නොමැති නම් සිතට එයට අවශ්‍ය පැවැත්ම තබා ගත නොහැක.

ඔබ මේ ආත්මයේදී මිය ගියද ඔබගේ සිත මිය නොයයි. එය ඔබ නැවත තවත් ශරීරයක් ලබා ගන්න තුරු හිඳ එම ශරීරය තුලට පැමිණ එයට අවශ්‍ය පරිදි කටයුතු කරයි. ඔබගේ නිවාස යම් ස්වභාවික අනතුරක් හේතුවෙන් විනාස වූ පසු ඔබ නැවතත් තවත් නිවසක් සාදා එහි වාසය කරනවාක් මෙන් සිතද ඔබගේ මෙම ආත්මයේ ශරීරය මිය ගොස් නැවත ඉපදුනු පසු එයට පැමිණ වාසය කරයි.

මෙහිදී ඔබට එක කරුණක් පැහැදිලි වනවා ඇති. එනම් ඔබ සහ ඔබේ සිත යනු එකක් නොව දෙදෙනෙක් බවයි. සත්‍ය එයයි. ඔබ සහ සිත යනු දෙදෙනෙකි. නමුත් ඔබ සාම විටකම සිතෙහි පාලනය යටතේ සිතෙහි වහලෙක් ලෙස සිටි. සිත ඔබව පාලනය කරනවා මිස ඔබ සිත පාලනය නොකරයි. සිත ඔබව පාලනය කරන්නේ ඔබගේ ශරීරය සිතෙහි පැවැත්මට අවශ්‍ය බැවිනි. ඔබ සිත පාලනය කරනවා යනු ඔබ සිතට අවශ්‍ය දේ නොව ඔබට අවශ්‍ය දේ කිරීමයි.

එය පිළිගැනීමට අපහසු නම් මෙසේ සිතා බලන්න. ඔබගේ ජීවිතයේ යම් තීරණයක් ගැනීමේදී ඔබ සිතින් තර්ක කරන්නේ කත සමගද? ඔබ ඇඳුමක් ගැනීමට ගොස් ඔබගේ රුචිකත්වය අනුව ඇඳුමක් තොර ගෙන සිටියදී එයට විරුද්ධව කරුණු ගෙන හැර පෙන්වමින් එයට විරුද්ධ වන්නේ කවුරුන්ද? එවැනි අවස්තා වල බොහෝ විට ජය ගන්නේ ඔබද නොමැති නම් එම විරුද්ධ කරුණු ගෙන හැර පානා  සිතද? ඔබ සහ සිත එකක් නම් එසේ ඔබට රුචි දෙය පිළිබඳව නැවත විරුද්ධ වන්නේ ඇයි?

තව දුරටත් පැහැදිලි කරගැනීමට ඔබ යම් පොතක් කියවීමට තීරණය කර එය කියවන අතර තුර ඔබගේ කියවීමට බාධා කරමින් එක් එක් වෙනත් සිතුවිලි ඔබට ගෙන හැර පාන්නේ කවුරුන්ද? ඔබම නම් පොතක් කියවීමට තීරණය කරේද ඔබයි. නැවත වෙනත් සිතුවිලි පැමිණීම සිදු වන්නේ කෙසේද?

ඔබ සහ සිත යනු දෙදෙනෙකි. ඔබ ගන්නා සෑම තීරණයක්ම සිත විසින් අභියෝගයට ලක් කරනු ලැබේ. ඒ සිතෙහි ස්වභාවයයි.

සිත ඔබව පාලනය කරනු ලබන්නේ සිතට එහි පැවැත්ම තබා ගැනීම සඳහා ඔබගේ පැවැත්ම අනිවාර්ය වන නිසාවෙනි. ඔබ පවතින්නේ නැත්නම් සිතටද පැවැත්මක් නැත.

ඔබව මෙලොව පවත්වා ගැනීමට නම් ඔබව මෙලොවට තව තව ඇද බැඳ ගන්නා දේ ඔබට ලබා දිය යුතුය. ඒ සඳහා සිත ක්‍රම 5ක් උපයෝගී කරගනියි. ඒවා නම් ඇස, කන,නාසය,දිව සහ ශරීරයයි.

මෙම පන්චේන්ද්‍රයන් මගින් සිත ඔබව මෙලොවට බැඳ තබයි.

ඇස මගින් සොඳුරු රූප පෙන්වා සිත ඔබව මෙලොවට අලවා තබයි.
කන මගින් සොඳුරු ශබ්ද  මිහිරි ශබ්ද ඇසීමට සලස්වා ඔබව මෙලොවට අලවා තබයි.
නාසය මගින් මිහිරි සුගන්ධයන් දැනීමට සලස්වා ද
දිව මගින් මියුරු රසයන් දැනීමට සලස්වාද
ශරීරය මගින් සොඳුරු ස්පර්ශයන් සැනීමට සලස්වා ද ඔබව තව තවත් මෙලොවට අලවා තබයි.

මදක් සිතන්න. ඔබ ඉදිරියේ ඔබේ ප්‍රියතම ආහාරය තිබෙයි සිතන්න. ඔබ එය දැකීමෙන් ඔබ එයට බැඳේ. එයට ආශාවක් ඇති වේ. එහි සුවඳ දැනීමෙන් ඔබ එය හා තවත් බැඳේ. එය ආහාරයට ගන්න විට එහි මිහිරි රසයෙන් තව තවත් එය හාම බැඳීම සිදු වෙයි. මෙය සිතෙහි ස්වභාවයයි. ඔබේ ඉදිරියේ තිබෙන ආහාරය ඔබට ප්‍රිය වන්නේ එය ඔබගේ සිත විසින් ඔබට එය රසවත්ය සුවන්දවත්ය දැකුම්කුය යන සිතුවිල්ල ලබා දීම මත පමණි. ඔබගේ ප්‍රියතම ආහාරය කිරිබත් වන අතර තවත් අයෙකුට එය ඔහුගේ අප්‍රිය ආහාරය විය හැකිය. ඔබ නිවිති සමග පරිප්පු කෑමට අප්‍රිය කරද තවත් අයෙකු එයට ප්‍රිය විය හැකිය. ආහාරය එකක් නමුත් තමන්ගේ සිත අනුව එය ප්‍රිය හෝ අප්‍රිය වීම සිදු වේ. එබැවින් එය සිතෙහි ස්වභාවයයි වටහා ගැනීම අපහසු නැත.

ඔබ පෙර ප්‍රිය වුත් නමුත් වර්තමානයේ අප්‍රිය වන දෙයක් හෝ අයෙක් මතකයට නගා ගන්න. එම අදාළ දෙය හෝ අය පෙර මෙන්ම දැනුදු එකමය. නමුත් ඔබගේ සිත එය ඔබට හැඬුවා දීම වෙනස් වී ඇත. පෙර ප්‍රිය ලෙස පෙන්වූ දෙය මේ වන විට අප්‍රිය ලෙස පෙන්වා දේ. එබැවින් ඔබගේ පාලනය ඔබ ඇත නොව ඔබේ සිත මත ඇති බව තව දුරටත් පැහැදිලි වේ.

සිත මෙසේ අපව පාලනය කරන්නේ කුමන හේතුවක් නිසාද?

පෙර පැවසු පරිදි සිතට පැවැත්මක් තිබීමට නම් අපගේ ශරීරයේ පැවැත්ම තිබිය යුතුය. එබැවින් සිත අපගේ ශරීරය මෙලොව හා ඇලවීමට කල හැකි සියල්ල සිදු කරයි. ඔබගේ පසිඳුරන් මගින් ඔබව මෙලොවට ඇලවීම සිතට කල හැකි පහසුම හා සරලම ක්‍රියාවයි. ඔබ පසිඳුරන්ගෙන් ඇලවීම මත සිත තමන්ගේ අරමුණ ඔබගේ ශරීරය මගින් ඉටු කරගැනීම සිදු කරයි.

මෙලෙස මදක් සිතන්න. ඔබ බොහෝ ප්‍රිය වූ දෙයක් ලබා ගැනීමට බොහෝ වෙහෙසීමට සිදු අවස්ථා ඕනෑතරම් ය. එලෙස බොහෝ ඇලුම් කර බොහෝ උත්සහ කරද ලබා ගැනීමට නොහැකි වූ දෙයක් හෝ අයෙකු සිහියට නගා ගන්න. ඔබ එය නොලැබෙන බව දැන එය අත්හැර දමා ඇති අවස්ථා බොහෝ ඇති බව නොරහසකි. නමුත් ඔබ එසේ ඇත හැර දමා නොබෝ කලකින් ඔබට එයම ලැබුණු අවස්ථා ඇති බව ඔබට දැන් සිහි වනවා ඇති. මෙසේ සිදු වන්නේ ඇයි?

සිත ඔබව මෙලොව සමග ඇලවීමට බෙහෙවින් වෙහෙස වන්නෙකි. එය සිතෙහි එකම රාජකාරියයි. ඔබ යමකට ඇලුම් කරනවා යනු ඔබ මෙලොව ඇති යමක් සමග බැඳී ඇති බව සිත දනී. එබැවින් සිතට වෙහෙස වීමට අවශ්‍ය නැත. කිමද එය ඔහුගේ අරමුණ වන අතර ඔබම යමක් හා බැඳී ඇත යනු සිතට නිදහසේ සිටිය හැකිය. කිමද? ඔබ දැනටමත් යමක් හා ඇලී ඇති බැවිනි. එම දෙය ලබා ගැනීමට ඔබ දරනා සාම උත්සාහයක්ම ඔබ එහිම ඇලීමට හේතු වන බැවින් සිතට ඔහුගේ රාජකාරිය සඳහා වෙහෙස වීමට අවශ්‍ය නැත. කිමද ඔබ එය ඔහු වෙනුවෙන් සිදු කරනා බැවිනි. නමුත් ඔබට එය පිළිබඳව කලකිරී එය ඇත හැර දැමු විට සිත කලබල වේ. මන්ද ඔබ දැන් එයට ඇලී නැත. ඔබේ සිත නිදහස් වේ. එවිට සිත ඔහුගේ රාජකාරිය ඉටු කරයි. සිත ඔබට ඔබ ප්‍රිය කල එම දෙය හෝ අය ලබා දේ. දැන් ඔබ නැවතත් එයටම ඇලී සිටියි. ඔබ එයටම බැඳී සිටියි. සිතෙහි අරමුණ ඉටු වී ඇත. එබැවින් සිතෙහි පැවැත්ම තව දුරටත් තහවරු වී ඇත.

ඔබේ සිත කෙතරම් ප්‍රභල දැයි මදක් සිතා බලන්න. ඔබව මෙලොව හා අලවා තැබීම නමැති එකම රාජකාරිය ඉටු කරන සිත ඔබගේ ශරීරය ප්‍රයෝජනයට ගනිමින් ඔබව මෙලොව හා මෙතරම් අලවා තබන්නේ සිතෙහි පැවැත්ම සඳහා නම් හා නම් පමණක් බව වටහා ගන්නා අයකු සිත හඳුනා ගත් අයෙකි. ඔහු සිත මෙල්ල කර ගැනීමේ පළමු පියවර තබා අවසානයි.

ඔබද ඔබේ සිත මගින් පාලනය වන රූකඩයක් වී ඔබ සිතේ වහලකු වනවා ද නොමැති නම් ඔබ ඔබේ සිත පාලනය කර සිත ඔබේ වහලෙකු කරගන්නවා දැයි යන්න ඔබගේ තීරණයකි.

සිත පාලනය කරගනු ලබන්න මාර බන්ධනයෙන් මිදෙතයි බුදුරදුන් පැවසුවේ එබැවිනි.

සිත පාලනය කරගන්නා කිසිවකට  නොඇලවේ. ඔහු හට ආශාවන් නැත. ඔහු හට මෙලොව ඇලී ගැලී සිටීමට අරමුණු නැත. එබැවින් ඔහුට නැවත උපතක්ද නැත. ඔහු මාර බන්ධනයෙන් මිදුනා වේ.

No comments:

Post a Comment