Saturday, September 14, 2019

කල කිරීම

සිදුහත් කුමාරයා මහල්ලෙක් ලෙඩෙක් මළමිනියක් පාවාදී රුවක් දැකල සසර කලකිරිලා ගිහිගෙය හැර ගිහින් බුද්ධත්වය ලැබුවා කියලා හැම බෞද්ධයෙක්ම දන්නවා.

ඒත් කවදාවත් හිතිලා නැද්ද මෙහෙම?

අපිත් කොච්චර නම් ලෙඩ්ඩු දකිනවද, කොච්චර නම් මළගෙවල් වලට ගිහින් මරණ දැකලා ඇත්ද, වයසක මිනිස්සු කොච්චර නම් දැකලා ඇත්ද, හාමුදුරුවරු හැමදාම දකිනවා. ඒත් අපිට කලකිරෙන්නේ නෑ නේ. ඇයි ඒ?

අපේ අවුලක්ද සිදුහත් කුමාරයාගේ අවුලක්ද?

ඇත්තටම දෙගොල්ලොගෙම අවුලක් නෑ.

සිදුහත් කුමාරයා උපන් දා ඉඳලා ඒ කියපු හතරෙන් එකක්වත් දැකලා නෑ. හැබැයි සියලුම සැප සම්පත් මැද හැදුනු කෙනෙක්. ඉල්ලන්නේ මොනවද ඒ දේ ලැබුන කෙනෙක්. ඉතින් අපිට වගේ මහන්සි වෙලා සල්ලි හොයලා ගෙවල් හදලා වාහන අරගෙන දියුණු වෙනවා වගේ අරමුණු සිදුහත් කුමාරයට තිබුනේ නෑ. උපතින්ම ඒ හැම දෙයක්ම ලැබිල තිබුණු කෙනෙක්.

අපිට අපි ජීවිතේට දැකල නැති දෙයක් ලැබුනම ඒක අල්ලගෙන හොඳට හොයනවා බලනවා වගේ තමයි සිදුහත් කුමාරයා තමන් ජීවිතේට දැකලා නැති මහල්ලෙක් දැකපු ගමන් ඒ ගැන හිතන්න ගත්ත. එකෙන් දැනගත්ත අපි හැමෝම එහෙම වයසට යනවා කියලා. ලෙඩෙක් දැකල නැති මනුස්සය ලෙඩෙක් දැක්ක ගමන් ඒ ගැන හොඳට උනන්දුවෙන් හොයද්දි දැනගත්තා අපි හැමෝම එහෙම ලෙඩ වෙනවා කියලා. මරණයක් දැක්ක නිසා එකෙන් දැනගත්ත අපි හැමෝම මැරෙනවා කියලා. සිදුහත් කුමාරයාට තේරුනා මම මේ මොන සැප වින්දත් අන්තිමේට වෙන්න ඔය ටික තමයි කියලා. මොකද අපිට වගේ නෙමෙය් තවත් විඳින්න සැපක් තිබුනේ නෑ ඉතුරු වෙලා. ඉතින් ඔහොම ඉද්දි දැක්ක පාවාදී රුවක් (පූජකයෙක්). දැන් තේරුණා මට මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්න නම් නිදහසේ කල්පනා කරන්න ඕනේ මේ මාලිගයේ තියෙන බාධා වලින් එලියට ගිහින් කියලා. ඊට පස්සේ වුන කතාව අපි හැමෝම දන්නවා.

දැන් මේකයි කතාව. අපි පොඩි කාලේ ඉඳන්ම විඳින්නේ දුක. ඉතින් අපිට දුක කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. හැබැයි අපිට සැප කියන්නේ නම් අමුතු දෙයක්. අපි හැමදේම කරන්නේ සැප විඳින්න ඕනේ නිසා. ඉතින් අපිට දුක කියන දේ ගැන ගැඹුරින් හිතන්න ඔනෙකමකුත් නෑ, එහෙම හිතෙන්නෙත් නෑ. මොකද අපි ඉපදුනු දවසේ ඉඳන් දුකම විඳින නිසා.

සල්ලි නැති කෙනා සල්ලි හොයන්න දුක් විඳිනවා. වාහනයක් නැති කෙනා වාහනයක් ගන්න දුක් විඳිනවා. හොඳට ඉගෙන ගන්න දුක් විඳිනවා. රස්සාවේ ඉහලට යන්න දුක් විඳිනවා. හොඳ ලස්සන විවාහයක් කර ගන්න දුක් විඳිනවා. ඊට පස්සේ ඒක කැඩෙන්නේ නැතුව තියාගන්න දුක් විඳිනවා. ළමයි හදල එයාලව උස් මහත් කරන්න, හොඳ ඉස්කෝලයක් හොයල දාන්න, පන්ති වලට දාන්න, ඒවාට සල්ලි දෙන්න සල්ලි හොයන්න දුක් විඳිනවා.

මේවා ඔක්කොම දුක තමයි. ඒත් අපිට මේවා දුකක් කියල තේරෙන්නේ නෑ. මොකද අපි එක සැපක් වින්ද ගමන් අපිට ඊට වැඩ ඉහල සැපක් ගැන බලාපොරොත්තු ඇති වෙනවා. එක ලැබුනම ඊට වඩා ඉහල සැපක් ගැන. ඔහොම ඔහොම ගිහින් මැරෙනකන් අපි සැප හොයා හොයා දුක් විඳිනවා.

දැන් හිතන්න මෙහෙම. ඔන්න කෙනෙක් ඉන්නවා පුංචි කාලේ ඉඳන්ම සැප වින්ද කෙනෙක්. මෙයාට පොඩි කාලේ ඉඳන්ම හැමදේම ලැබුන. වාහන ඇත පත ගෑවේ පොඩි කාලේ ඉඳන්. යන්තම් ටිකක් ලොකු වුන ගමන් හොඳ ඉස්කෝලෙකට වැටුන, ඉගෙන ගත්තා. එත් රස්සාවක් කරන්න ඕනේ නෑ එච්චරට පොහොසත්. තරුණ කාලේ ලැබුවා ගමන් ගැහැණු ළමයිගේ ආශ්‍රය ට වැටුනා. ඒවගෙන් අඩුවක් වුනෙත් නෑ.

දැන් මේ මනුස්සයට නොලැබුණු දෙයක් තියෙනවද. ඇත්තම කතාව මේ මනුස්සය දුක කියන දේ අඳුනන්නේ නැති කෙනෙක්. දැන් මෙයා අපිට වඩා ගොඩක් උඩින් ඉන්න කෙනෙක් කියලා තේරෙනවනේ. අපි විඳින්න හීන දකින සැප සම්පත් මෙයා නිකන්ම විඳිනවා කිසිම මහන්සියක් නැතුව.

මෙයාට කවදාක හරි දුකක් විඳින්න වුනොත් මොකක්ද හරි දෙයකට, මෙයාට ඒ දුක දැනෙනවා හොඳටම දුක විදියට. (අපිට වගේ දුක සැපක් විදියට නොදැනී) ඇයි මෙයාට එහෙම දැනෙන්නේ?

මොකද මෙයා කවදාවත් දුකක් විඳපු නැති කෙනෙක් නිසා. දැන් මෙයාට බුද්ධිය තියෙයි නම් මෙයා මේ දුක ඔස්සේ හිතනවා. බුද්ධිය නැත්නම් දුකත් විඳින්න පුරුදු වෙන්න ඕනේ කියල තමන්ව රවට්ට ගන්නවා.

සිදුහත් කුමාරයාට වුනෙත් ඔය ටිකමයි. ජීවිතේට දැකල නැති අහල නැති දේවල් දැක්කා, ඒ ඔස්සේ හිතුවා, සත්‍ය මේකයි කියල තේරුණා, මේ මායාවෙන් ගැලවෙන්නේ කොහොමද කියලා හොයන්න ගියා. අවසානයේ එක හොයාගත්ත විතරක් නෙමෙයි අනිත් අයවත් ඒ මායාවෙන් ගලවන්න උදව් කරා.

මේ නිසයි අද සමාජයේ අපි කොච්චර මහල්ලන්, ලෙඩුන්, මළමිනී, හාමුදුරුවරු දැක්කත් අපිට කලකිරෙන්නේ නැත්තේ.

No comments:

Post a Comment