මේ අපි හැමෝම වගේ අහල තියෙන දෙයක්නේ.
නමුත් මේකේ හරි අර්ථය ගොඩක් අය දන්නේ නෑ කියල ගොඩක් අය එක්ක කතා කරද්දී තේරුම් ගිය
නිසා හිතුනා ඇත්තටම මොකක්ද මේ කියල ලියන්න.
මුලින්ම අපි බලමු මේ විය සිදුර
කියන්නේ මොකක්ද කියල. විය සිදුර තියෙන්නේ
විය ගහේ. විය ගහ කියන්නේ කුඹුරේ දී හරක් දෙන්නෙක් එකට ගැට ගහන්න පාවිච්චි කරන
ශක්තිමත් ලීයට. මේ ලීය මැදින් සිදුරක් හදල, ඒක මැදින් නගුල දාල ගොවි මහත්තයා නගුල
පාගාගෙන තමයි හාන්නේ.
මේ විදියට පාවිච්චියට ගන්න විය ගහට
ගන්නේ ඉතාමත් ශක්තිමත් ලීයක්. සාමාන්‍යයෙන් විය ගහ කැඩෙනකන් ම ගොවි මහත්තුරු වැඩ
ගන්නවා. විය ගහ කැඩුනත් කැඩෙන්නේ මැදින් තියෙන සිදුරෙන්. සිදුරෙන් කැඩුනට පස්සේ
විය ගහෙන් ඇති ඵලක් නෑ. හැබැයි අපේ ගොවි මහත්තුරු එහෙම කිසිම දෙයක් අපතේ යවන්නේ
නැති නිසා, කැඩුණු විය ගහ දරට පාවිච්චියට ගන්නවා. හැබැයි දැන් අපේ කතාවේ හැටියට කණ
කැස්බෑව පුන් සඳ දකින්න ඕනේ විය සිදුරෙන්.
ඒත් සිදුරක් තියෙන විය ගහක් ගොවි
මහත්තුරු විසි කරන්නේ නෑ. ඒත් අපි හිතමු සිදුරක් තියෙන විය ගහක්, දරට ගන්නෙත්
නැතුව ගොවි මහත්තයෙක් විසි කරා කියලා. දැන් මේ විය ගහ ගොවි මහත්තය මුහුදට ගිහින්
දාන්නේ නෑ නේ. කැස්බෑවා ඇලවල් වල ඉන්නෙත් නෑ. ඒ නිසා මේ විය ගහ කොහොම හරි මේ වියගහ
මුහුදට යන්නම ඕනේ.
අපි හිතමු ගොවි මහත්තයා මේ සිදුරක්
තියෙන හොඳ විය ගහ (තවමත් පාවිච්චියට ගන්න පුළුවන් මට්ටමේ) දරට ගන්නෙත් නැතුව
කුඹුරට වතුර එන ඇලට විසි කර කියලා. දැන් මේ විය ගහ ඇල දිගේ ගලාගෙන යනවා. හැබැයි මේ
විය ගහ ඇල මාර්ගයේ රැඳෙන්න තියෙන ඉඩ කඩ ඉතාම වැඩියි. මොකද ඇලක් කියන්නේ එක තැනකින්
පටු තවත් තැනකින් පළල් ජල මාර්ගයක්. විය ගහේ තරම් පළල් නැති තැනකදී විය ගහ ගලාගෙන
නොයා හිර වෙන්න ඉඩ හරිම වැඩියි. එත් අපි හිතමු එහෙම නොවී ගලාගෙන ගියා කියලා.
දැන් ඇල මාර්ග කෙලින්ම ගිහින් මුහුදට
වැටෙන්නේ නෑ. ඇල මාර්ගය ගඟට වැටිලා ගඟෙන් තමයි මුහුදට වැටෙන්නේ. දැන් ඇල මාර්ගය
දිගේ ආපු විය ගහ කොහෙවත් රැඳෙන්නේ නැතුව
ගඟට වැටුනා කියල හිතමු. දැන් විය ගහ ගඟ දිගේ ගලාගෙන එන්න ඕනේ. කලින් වගේම ගඟට
වැටුණු විය ගහ කොහේ හරි රැඳෙන්න, නැත්නම් ගැන ඉවුරකට පාවෙලා යන්න තියෙන ඉඩ කඩ හරිම
වැඩියි. එත් අපි හිතමු එහෙම වුනේ නෑ, විය ගහ කෙලින්ම මුහුදට ගියා කියලා.
මුහුදට ගිය විය ගහ දැන් රැල්ල එක්ක
ආයෙත් වෙරළට ගහගෙන එන්නේ නැතුව ගැඹුරු මුහුදට පාවෙලා යන්නත් ඕනේ. නමුත් අපි හිතමු
වැඩියෙන්ම සිදු වෙන්න ඉඩ තියෙන වෙරළට පාවෙලා ඒම නොවී විය ගහ ගැඹුරු මුහුදට පාවෙලා
ගියා කියලා.
දැන් සාමාන්‍යයෙන් නම් වෙන්නේ මේ විය
ගහ වටේට බෙල්ලෝ හැදිලා එතන වෙනමම පද්ධතියක් හැදෙනවා මාළුන්ට. එතකොට විය සිදුර
විතරක් අත ඇරලා බෙල්ලෝ හැදෙන්නේ නෑ. ඒත්
අපි කියමු එහෙම වුනෙත් නෑ, එහෙම කිසිම බෙල්ලෙක් හැදෙන්නේ නැතුව විය ගහ ආරක්ෂිතව
තියෙනවා කියලා. දැන් මේ විය ගහ මහා මුහුදේ පාවි පාවි තියෙනවා.
දැන් තමයි ප්‍රධාන නළුවා එන්නේ.
දැන් එන්න ඕනේ හරියටම මේ විය ගහ
තියෙන තැනටම කණ කැස්බෑවෙක්. නිකන් කැස්බෑවෙක් නෙමෙයි. කණ කැස්බෑවෙක්. ඒ කියන්නේ එක
ඇහැක් නොපෙනෙන එක ඇහැක් පේන කැස්බෑවෙක්. සාමාන්‍යයෙන් නම් කණ කැස්බෑවෙක් ජීවත්
වීමේ ඉඩ කඩ හරිම අඩුයි පරිසර සාධක නිසා. එත් අපි හිතමු එහෙම නෑ, ඔන්න ඉන්නවා කියල
එක්කෙනෙක්. දැන් මේ කැස්බෑවා වතුර උඩට පීනාගෙන එන්න ඕනේ. සාමාන්‍යයෙන් කැස්බෑවෙක්
වතුර උඩට එන්නේ අවුරුදු බර ගානකට වතාවක්. අපි හිතමු මේ කැස්බෑවා හරියට ඔන්න
අවුරුදු ගානකට වතාවක් වතුර උඩට එන දවසේ එන්නේ හරියටම මේ විය ගහ ගාවට.
දැන් කණ කැස්බෑවා ඇවිත් ඉන්නවා, විය
සිදුර තියෙනවා. හැබැයි ප්‍රශ්නේ මේකයි, විය සිදුර අහස පැත්තට හැරිලා නැතුව අනිත් පැත්තට හැරිලා තිබ්බොත්? බලලා හමාරයි. එහෙම මූසල කතා නොකිය අපි හිතමු සිදුර තිබුනේ
අහස පැත්තටමයි කියලා.
දැන් මේ දවස හරියටම පෝය දවසක්
වෙන්නත් ඕනේ. නැත්නම් පුන් සඳ බලන්න වෙන්නේ නෑ නේ. ඉතින් අපි හිතමු හරියටම පෝය
දවසේ අවුරුදු ගානකට වතාවක් වතුර උඩට එන එක ඇහැක් විතරක් පේන මේ කැස්බෑවා හරියටම
විය ගහ පාවෙන තැනින්ම උඩට ඇවිත් විය ගහේ අහස පැත්තට හැරිලා තියෙන සිදුරෙන් දැන් පේන
ඇහෙන් බලන්න හදන්නේ.
අහසේ වලාකුළු පිරිලා. හඳ පෙන්නේ නෑ.
හපොයි.
නෑ නෑ එහෙම අව කැපෙන කතා නොකියා අපි
හිතමු එදා කිසිම වලාකුලක් තිබුනේ නෑ අහසේ හොඳට හඳ පේනවා කියලා. දැන් ඔන්න කැස්බෑව
පේන එකම ඇහෙන් එබෙනවා විය සිදුරට. ඒත් සිදුරෙන් හරියටම හඳ ටම ෆෝකස් වෙලා තියේවිද?
අපි හිතමු එහෙම තමයි තිබුනේ කියලා. ඔන්න යන්තම් කණ කැස්බෑව විය සිදුරෙන් පුන් සඳ
දැක්කා.
හැබැයි පොඩ්ඩක් හිතල බලන්න, මේ දේවල්
සිද්ද වෙන්න තියෙන ඉඩද වැඩි සිදු නොවෙන්න තියෙන ඉඩද කියලා.
No comments:
Post a Comment