Tuesday, August 13, 2019

ශිව 2


ශිව ගැන අපි කලින් ලිපියෙන් කතා කරන අතරේ ශිව ලිංගයට වන්දනා මාන කරන්නේ ඇයි කියලා ගැටළුවක් මතු වෙලා තිබුන. අපි දෙවන ලිපියෙන් ඒ ගැන කතා කරමු.

ශිව කියන්නේ ශක්තියක් මිස දෙවියෙකු නොවන බව අප දැන් සාකච්ඡා කර අවසන්. එය පිළිගත්තද නැති වුවද සනාතන ධර්මය යනු සදාතනික සත්‍යයි / ක්‍රමයයි. මෙම ලිපි මාලාවේ ශිව යනු ශක්තියක් බව තව දුරටත් සාකච්චා කෙරෙනු ඇත.

කුමක්ද මේ ශිව ලිංගය.

ඔබ අප හැමෝම අසා ඇති පරිදි ශිව ලිංගය යනු කළු ගලින් නිම කෙරුණු පුරුෂ ලින්ගයකි. එකට හින්දුන් විසින් අහිංසක මිනිස්සුන්ට දිය හැකි කිරි වතුර තෙල් වැනි දියර වත්කරමින් පුද පූජා සිදු කරයි.

නැත. මෙය හුදෙක් අසත්‍යකි. මෙම අසත්‍ය කෙලෙස සමාජයේ මුල් බස ගත්තේ දැයි අප පසුව කතා කරමු.
ශිව ලිංග යනු ශිව ගේ ලින්ගේන්ද්‍රය නොවේ. මෙය වටහා ගැනීමට ඔබට සංස්කෘත සහ හින්දි භාෂාව ඉගැන්වීමට මාහට සිදු වනු ඇත. (ඇත්තෙන්ම මා හින්දි භාෂා ගුරුවරයෙකු බැවින් එය ඉතා පහසු කාර්යකි) එසේ නම් පාඩමට සුදානම් වෙමු.

සංස්කෘත භාෂාවට අනුව “ලිංග” යනු පුරුෂ ජනනේන්ද්‍රය නොවේ. ලිංග යනු ස්වරුපය යන්නයි. පුරුෂ ජනනේන්ද්‍රය ට සංස්කෘත භාෂාවේ යෙදෙන්නේ “ශිෂ්ණ” යන්නයි. (සිංහල භාෂාවේද ශිෂ්ණය යනුවෙන් දේ.) මෙය වටහා ගැනීමට හින්දි භාෂාවේ මෙන්ම සිංහල භාෂාවේද යෙදෙන නාම පදයන්හි “පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග” ස්වරූප තේරුම් ගමු. මෙහි ස්ත්‍රී ලිංග යනු ශිෂ්නයක් සහිත ගැහැණිය නොවේ. සරල අර්ථය ස්ත්‍රී ස්වරුපය යන්නයි. පුරුෂ ලිංග යනු පුරුෂ ස්වරුපය යන්නයි. මෙය හින්දි භාෂාවේද මෙලෙසම යෙදේ. (තරමක් ගැඹුරින්) එබැවින් ලිංග යනු ශිෂ්ණය නොව ස්වරුපය බව ඔබට වැටහෙනවා ඇති.

ශිව ලිංග යනු “ශිව ගේ ස්වරුපය” යන්නයි. ශිව යනු සිරුරක් සහිත දෙවියෙකු නොවූ බැවින් ශිව ශක්තිය ලබා ගැනීමට ආදී ඍෂිවරුන්ට ශිව වන්දනාව සිදු කිරීමට ක්‍රමයක් අවැසි විය. මූලික ධර්මතාවක් වූ ශිව ශක්තිය (අඳුරු ශක්තිය) පුරාන ඍෂිවරුන් විසින් තමන්ගේ අධ්‍යාත්මය වැඩීමට භාවිතා කර ඇත. (අඳුරු ශක්තිය අධ්‍යාත්මය වැදීමට භාවිතා කරන්නේ කෙසේද යන්න ශිව පිලිබඳ මීට පෙර ලිපියේ සඳහන්ව ඇත.)

ශිව යනු ශක්තියක් පමණක් බැවින් මේ සඳහා ඔවුන් දැල්වූ පහනක් භාවිතා කර ඇත. (ශිව ශක්තිය පහනේ දල්ලට ආදේශ කරමින්) එම දැල්වූ පහනේ දැල්ල දෙස අවධානය යොමු කර තමන්ගේ මනස එක් තැන් කරගනිමින් අධ්‍යාත්මය වැදීමට උත්සහ කරද එය අසාර්ථක වී ඇත. ඒ දැල්වෙන පහනේ දැල්ල සුළං වැනි බාහිර සාධක හේතුවෙන් සෙලවීම නිසා එක තැනක නොරැඳෙන දැල්ල දෙස බලා සිත එක් තැන කරගැනීමට අපොහොසත් වීමයි. මෙයට විසඳුමක් ලෙස ඍෂිවරුන් විසින් පාෂාණයෙන් පහන සහ දැල්වෙන පහන් දැල්ල කරවා ඒ දෙස බලා සිත යූමු කරවා තම අධ්‍යාත්මය වඩා ඇත. එය ශිව ලිංග වේ. එනම් ශිවගේ ස්වරූපයයි.
මෙය පසු කාලීනව වෙනස් කම් වලට භාජනය වී ඇති බව ශිව පුරාණය වැනි පුරාන ග්‍රන්ථ තුලින් පෙන්වා දෙයි. එනම් පසු කලෙක බෞද්ධ ස්තුප අභාෂය ශිව ලිංග තුලටද නිර්මාණ කරුවන් විසින් ආරෝපණය කර ඇති බව පැවසේ. (ස්තුපයද බුදුන් යැයි සිතා වන්දනා මාන කරන තවත් එක ආකෘතියකි) කෙසේ වෙතත් අද වන විට ශිව ලිංගය පිළිබඳව විවිද අර්ථ කථන ලබා වෙමින් පවතී. රාවණා ද දැඩි ශිව භක්තිකයෙක් බැවින් ඔහු හා බැඳුනු ශිව ලිංග සම්බන්ධ කතාන්දර කිහිපයක් ඇත. (එය පසුව කතා කරමු)

ශිව ලිංගය ශිවගේ ස්වරුපය නොව එය ශිවගේ ජනනේද්‍රය ලෙස සැලකීම සමාජගත වුයේ කෙසේද?
මෙය වර්තමාන හින්දු ජනයා අතරද පවතින වැරදි අවබෝධයකි. එනම් ශිව ලිංගය ශිවගේ ජනනේන්ද්‍රය සංකේතවත් කරන අතර එය වැඳුම් පිදුම් කිරීමෙන් දරු පල ලැබෙන බවත් විවාහ නොවූ කාන්තාවන් ශිව ලිංගය වැඳීම සිදු නොකළ යුතු බවත් හින්දුන් අතරද දැඩිව මුල් බස ඇත. මෙයට හේතුව බ්‍රිතාන්‍යන් විසින් භාරතය යටත් කරගැනීමෙන් පසුව දැඩි ලෙස හින්දු ධර්මය පිළිබඳව ඉගෙන ගැනීමට උනන්දු විය. ඔවුන් භාරතයේ මෙන්ම ලක්දිවද බොහෝ දැනුම (පුරාන ග්‍රන්ථ සහ පුස්කොල පොත් තම රටට රැගෙන ගිය බව ප්‍රසිද්ධ රහසකි.) තිබු මෙම වටිනා දැනුම ලබා ගෙන ඒවා මුල් සමාජයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
එබැවින් ඔවුන් ශිව ලිංගය වැඳීම ශිව ජනනේන්ද්‍රය වන්දනා කිරීමක් බවට පවසා එම ක්‍රියාව අවඥාවට ලක් කරන ලදී. මින් හින්දු ජනයා තුල ශිව ලිංග යනු කුමක්ද ශිව දෙවියන්ගේ ජනනේද්‍රය බවට මනස තුල අදහස ස්ථාපනය කරන ලදී. අදද භාරතය තුල ඉස්ලාම් ආගමිකයින් හින්දු ආගමිකයින් අවඥාවට ලක් කිරීමට ශිෂ්නයකට වඳින පිරිසක් යන හැඳින්වීම කරයි.

ලිපිය ඉතා දීර්ඝ බැවින් ශිව ලිංග වතුරෙන් කිරි සහ තෙල් වැනි දියරයන්ගෙන් නාවන්නේ ඇයිද යන්න වෙනත් ලිපියකින් කතා කරමු.

No comments:

Post a Comment