Tuesday, August 13, 2019

මිනිස් සත්වයා 2

ඉහත පරිච්ඡේදයන් 2 තුලින් අප මිනිසා යනු තවත් එක් සත්වයෙකු බවත්, එනමුදු ඔහුට දායාද වූ බුද්ධිය නම් ප්‍රභල අවිය හේතුවෙන් ඔහු විසින්ම ඔහු සත්ව කොට්ඨාශයෙන් විතැන් කොට (වෙන් කර), “මිනිස් කොට්ඨාශය” ලෙස නව වර්ගීකිරීමකට ලක් කරන ලදී.

මෙය කෙසේ සිදු වූවා දැයි පැහැදිලි එක් නිගමනයක් නොමැති අතර ඒ සඳහා එක් එක් අයවලුන් විසින් එක් එක් මත ඉදිරිපත් කර තිබේ.

වර්තමානයේ බෙහෙවින් පිළිගන්නා මතය නම් පරිණාමවාදය යි. එනම් වානරයන්ගේ පරිණාමයේදී යම් අවස්ථාවක “මිනිසා” නම් මෙම උප කුලකය බිහි වූ බවයි.

තවත් මතයක් නම් ප්‍රභල වානර ජීවී විශේෂ දෙකක් අතර ඇති වූ සංවාසයේ ප්‍රතිඵලයක් ලෙස “මිනිසා” නම් උප කුලකය බිහි වූ බවයි.
එය නැවුම් න්‍යායයක් බැවින් මදක් පැහැදිලි කිරීම වටිනේය.
බූරුවා සහ අශ්වයා සංවාසයේ යෙදීමෙන් කොටළුවා බිහි වනවා සේ, සිංහයා හා කොටියා සංවාසයේ යෙදීමෙන් “ලයිගර්” බිහි වනවා සේ, යම් ප්‍රභල වානර විශේෂ දෙකක් සංවාසයේ යෙදීමෙන් “මිනිසා” නම් ජීවී විශේෂය බිහි වූ බවයි.

සුරතල් සතුන් රැක බලාගන්නා මධ්‍යස්ථාන, සත්ව උද්‍යාන ද මෙම ක්‍රමය ඇත හදා බලා සාර්හක ප්‍රතිඵල රැස් කර ගෙන තිබේ. සුනඛයන් අතරින් ප්‍රභල සුනඛ විශේෂ 2ක් සංවාසයේ යෙදීමට ඉඩ සලස්වා, එම විශේෂ දෙකෙහිම වෙන් වෙන් වශයෙන් පිහිටි ලක්ෂණ, ඉන් ඇති වන ප්‍රභල ප්‍රතිඵලය වන අලුත් සුනඛ පැටවාගෙන් ලබා ගනී.
උදාහරණ -

              A වර්ගයේ සුනඛයා                      B වර්ගයේ සුනඛයා

*          ශක්ති සම්පන්න බව                     *          අවනත බව
*          හොඳින් වැඩුණු ශරීරය                 *          අණ පිළිපැදීමේ ඉහල හැකියාව
*          රෞද්‍ර බව                                     *          අණ වටහා ගැනීමේ හැකියාව
*          දිලිසෙන ලෝම                            *          පක්ෂපාති බව

ඉහත සුනඛ වර්ග 2 සංවාසයේ යෙදීමට අවස්තාව සැලසුවහොත් ඉහත වර්ග 2හි වෙන වෙනම දක්නට ඇති ලක්ෂණ එක් වී සැදුණු එක් සුනඛ විශේෂයක් බිහි කල හැකිය. එය ප්‍රභල සුනඛ වර්ගයක් වනු  නොඅනුමානය.
මෙය වර්තමානයේ මත්ස්‍ය ගොවිපොළ යන්හි, මෙන්ම සුනඛයන්,බළලුන්,අශ්වයින්, ගවයින් වැනි විවිධ සත්ව විශේෂ සඳහා දැනටමත් සිදු කරන ක්‍රියාවලියකි.

ගොන් පොර සඳහා මෙලෙස දෙමුහුන් ගොන්නුන් බිහි කරනවා යැයි ඇසුවහොත් ඔබ පුදුම වනවා නිසැකයි. නමුත් එවැනි අනර්ථක හුදු මිනිසාගේ විනෝදය වෙනුවෙන් සිදු කෙරෙන ක්‍රියා සඳහාද ඉහත පැවසු දෙමුහුන් සතුන් බිහි කිරීම වර්තමානයේ අති සාමාන්‍ය දෙයකි.
එබැවින් “මිනිස් වර්ගයාගේ” බිහි වීමද මෙලෙස අහඹු ස්වාභාවික දෙමුහුන් ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බැව් එක් මතයක් වේ.
කෙසේ වෙතත් මෙලෙස බිහිවූ ප්‍රභල “මිනිස් සත්වයා” ගේ ප්‍රභලම අවිය වන බුද්ධිය, ඔහුව අනෙකුත් සත්වයන්ගෙන් වෙන් කර ඇතැයි එම මතය දරන්නන්ද පිලිගනී.
එබැවින් “මිනිස් සත්වයා” ගේ බිහිවීම කෙසේ සිදු වුවත් ඔවුන් තිරිසන් සත්වයන්ගෙන් බිහි වී, පසු කලෙක බුද්ධිය හේතුවෙන් තිරිසන් සත්වයන්ගෙන් විතැන් වී වෙනම ජීවී කොට්ඨාශයක් ලෙස තමා විසින්ම තමාව හඳුවන්වා ගනිමින් හැසිරීමට පටන් ගත බව මින් පැහැදිලි වේ.

මෙලෙස බුද්ධිය නිසාවෙන් අනෙකුත් සත්ව වර්ගයාගෙන් විතැන් වූ “මිනිස් සත්වයා” තමන් ගේ බුද්ධිය හේතුවෙන් අනෙකුත් සත්වයන්ට වඩා වෙනස් ජීවී රටාවකට ක්‍රමක් ක්‍රමයෙන් හුරු විය.
බුද්ධිමත් ජීවියෙක් ලෙස ස්වාභාවයෙන්ම ලැබී ඇති “කුතුහලය” හේතුවේන් වසර මිලියන ගණනක් තුල මිනිසා සියලුම සත්ව වර්ගයාගේම ඉහලම තැන වැජඹෙන සත්වයා බවට අද වන විට පත්ව ඇත.

බුද්ධියෙහි අතුරු ඵලයක් වන කුතුහලය නිසා පියවරෙන් පියවර තාක්ෂනය මිනිස් සත්වයා විසින් අත් කරගෙන දියුණු කරගන්නා ලදී. කුඩා ගල් කැබැල්ලක් තවත් ගල් කැබැල්ලක් සමග ගැටු විට නැගෙන ශබ්දය මිනිස් සත්වයාව ආකර්ෂණය කරගන්නා ලදී. එය දිගින් දිගට සිදු කිරීමෙන් නැගෙන ශබ්දයට අමතරව ගිනි පුලිඟු නැගෙන බව ඉන් ඔහු සොයාගනා ලදී. එම ගිනි පුලිඟු වලින් නැගෙන දීප්තිමත් එළිය ඔහුව තවත් අමන්දානන්දයට පත් කරන ලදී. දැන් ඔහු වශී වන්නේ ඉන් නැගෙන ශබ්දයට නොව ඉන් නැගෙන දීප්තිමත් එළියටයි. මෙය මෙලෙස දිගින් දිගට කිරීමෙන් ගල් පතුරක් ගැලවී යාමෙන් තියුණු දාර සහිත ආයුධ ඔහු සොයාගත්තේය. ඒවා දඩයමට භාවිතා කළේය. ඉහත සඳහන් කළ දීප්තිමත් එළිය වියළි කොළ ගොඩකට වැටුණු විට එය ගිනි ගන්නා බව ඔහු සොයා ගත්තේය. එය අල්ලා බැලූ විට, එම ගින්දර අධික ලෙස රස්නය බවත්, එය හානි කර බවත් ඔහු සොයා ගත්තේය. එම ගින්න නිවීමට තව තව වියළි කොළ එම දීප්තිමත් එළියට දැමූ විට, ගින්න තවත් වැඩි වනවා මිස අඩු නොවන බව සොයා ගත්තේය. පයින් පාගා එය නිවීමට ගිය විට එය තමන්ට හානි කරනා බවද එය අනතුරුදායක බවද සොයා ගත්තේය. තමන් මෙතෙක් අමුවෙන් අහාර ලෙස ලබා ගත් මස් ගින්නෙන් පුළුස්සා නව රසයකින් ආහාරයට ගත හැකි බව සොයා ගත්තේය.

මෙලෙස ඔහු සිදු කරා වූ සොයා ගැනීම් ප්‍රමාණය අප්‍රමාණ වේ. නමුත් විශේෂ කරුණ නම් තමාගේ “බුද්ධිය” හේතුවෙන් මිනිස් සත්වයා අනතුර කුමක්ද ප්‍රයෝජන කුමක්ද යන්න අවබෝධ කර ගත්තේය. එය මතකයේ තබා ගෙන අවශ්‍ය මොහොතේ ක්‍රියාවට නැංවූවේය. මෙය අනෙකුත් සත්වයින්ගෙන් “මිනිස් සත්වයා” වෙන් කර දැක්වීමට කදිම උදාහරණයකි. අනෙකුත් සත්වයන් මෙලෙස මතකයේ තබා ගනිමින් නැවත නැවත එය ප්‍රයෝජනයට ගන්නා අවස්ථා ඉතාමත් විරල වේ. නමුත් මිනිස් සත්වයා මෙය හොඳින් අවබෝධ කරගෙන ප්‍රයෝජනවත් අවස්ථා මෙන්ම අනතුරු දායක අවස්ථා ද ඉතා හොඳින් භාවිතා කරේය.

ගින්දර තමන්ට හානි වන බව දැනගත් “මිනිස් සත්වයා” එය තමන්ගේ සතුරන්ට එරෙහිව භාවිතා කරේය. තමන්ට එරෙහිව සිටි සිංහයා, කොටියා වැනි සත්වයින් මෙල්ල කිරීමට ගින්දර ප්‍රයෝජනයට ගත්තේය. මෙය අනතුරුදායක දේ ප්‍රයෝජනයට ගත් අවස්ථාවකි.එපමණක් නොව අනතුරුදායක දේ අනෙක් සාමාජිකයන්ට අනතුරක් ලෙස කියා දීමද “මිනිස් සත්වයා” ගේ බුද්ධියේ අතුරු ඵලයකි. යම් දෙයක් අනතුරුදායක බව සොයා ගත් යම් “මිනිස් සත්වයෙකු” එය පිළිබඳව අනෙකුත් සාමාජිකයන්ට අනතුරු අඟවයි. එමගින් අනෙකුත් සාමාජිකයන්ට හානියක් වීම වැළකේ.

වර්තමානයේ අපගේ දෙමාපියන් නියඟලා අල මාරාන්තික විස සහිත බවට අප හට අනතුරු අඟවයි. නමුත් ඔවුන් කවදා හෝ නියඟලා අල ආහාරයට ගෙන නැත. එසේ නම් ඔවුන් ඒ බැව් පැවසීමට ජීවතුන් අතර නොමැත. ඔවුන්ගේ දෙමාපියන් අනුභව කළා නම් ඒ බැව් පැවසීමට ඔවුන්ද ඉතිරි වන්නේ නැත.

නමුත් කවදා හෝ කවුරුන් හෝ නියඟලා අල ආහාරයට ගෙන ඉන් මරණයට පත් වී ඇත. එය කවදා කවුරුන් විසින් දැයි පැවසිය නොහැක. එමෙන්ම එය ඔහු තනිව සිටින විට සිදු වූවා නම් එය අනතුරුදායක බැව් පැවසීමට ඔහුට නොහැකි වන බැවින් එය අනතුරක් බැව් අනෙකුත් සාමාජිකයන් දැනගන්නේ නැත.

එබැවින් එය කණ්ඩායමක් ලෙස සිටින විට යම් “මිනිස් සත්වයෙකු” කුතුහලය හේතුවෙන් අත්හදා බැලුවා විය හැකිය. ඉන් ඔහු මරණයට පත් වුවාට අනෙකුත් සාමාජිකයන්ට එය නියඟලා අලය නිසා සිදු වූවාක් යැයි නිශ්චිත නොවිය හැකිය. එබැවින් එය නියඟලා අලය නිසාවෙන් සිදු වූවා දැයි ප්‍රත්‍යක්ෂ කර ගැනීමට තවත් සාමාජිකයෙක් එම අඩක් කා ඉතුරු නියඟලා අලය කා බලයි.

ඔහුද ඉන් මරණයට පත් වීමෙන් කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන් හට නියඟලා අල මරණීය විෂ සහිත අලයක් බව ප්‍රත්‍යක්ෂ වේ. එබැවින් ඔවුන් තම අනෙකුත් සාමාජිකයන් හට ඒ බැව් කියා දෙයි. නියඟලා යනු විෂ සහිත අලයක් බැව් එතැන් පටන් ඔවුන් මතකයේ තබා ගනී. නොදන්නා අයට කියා දෙයි. මෙය “මිනිස් සත්වයා” ගේ පමණක් දැකිය හැකි ලක්ෂණයකි.

මෙය අනෙකුත් සත්වයන් අතර දැකිය නොහැක. ඔවුන් එලෙස අනතුරු අඟවන්නේ ඒ අදාළ කාලයේ සිටින සාමාජිකයන් හට පමණි. ඉන් පසු පරම්පරාව ඒ බැව් නොදනී. ඔවුන් එය අත්දැකීමෙන් ලබා ගනී. එබැවින් එම අනතුර, අනතුරක් බව දැනගැනීමට සෑම පරම්පරාවක්ම තම සාමාජිකයන් කැප කරයි.

නමුත් “මිනිස් සත්වයා” එලෙස නොවේ. මීට කොපමණ වසර ගණනකට පෙරද නොදන්නා, කවුදැයි නොදන්නා වීර “මිනිස් සත්වයන්” කීප දෙනෙකු විසින් තම ජීවිතය පුදා සිදු කළ එම සොයාගැනීම අදටැහැ වර්තමානයේ අපට අනතුරු අඟවන්නේ කිසිදු ජීවිත හානියක් වීමට ඉඩ නොදෙමිනි. මෙය “මිනිස් සත්වයා” ගේ විශේෂ ලක්ෂණයකි.

මෙලෙස අද අනතුරු ලෙස දෙමාපියන් ගෙන් දැනගන්නා අප්‍රමාණ දේ අනතුරක් ලෙස සොයා ගැනීමට තම ජීවිත පූජා කර “මිනිස් සත්වයා” තම කුතුහලය නිසා තම ජීවිත නැති කරගත්තද, ඔවුන් නොදැනුවත්වම තව ජීවිත අප්‍රමාණ ගණනක් රැක දී තිබේ.

මෙලෙස පියවරෙන් පියවර අනෙකුත් කොට්ඨාශ වලින් විතැන්ව තම කටයුතු පහසුවෙන් කර ගැනීමට යොමු වූ “මිනිස් සත්වයා” දියුණුවට ලක් විය.
එය දඩයමේ ගොස් සතුන් අල්ලා ආහාරයට ගැනීමෙන් ඇරඹී, සත්ව පාලනය තුලින් තමන්ගේ ආහාරයට ගන්නා සතුන් තමන් අසල ඇති කර ආහාරයට ගැනීම දක්වා ද, අද වන විට එය මහා පරිමාණ මාංශ ගොවිපොළවල් දක්වාද දියුණු වී තිබේ.

කැලෑවේ තමන්ට ආහාරයට අවශ්‍ය භෝගය සොයා ගොස් එය ආහාරයට ගැනීමේ සිට එම භෝගය තමා අසල වවා එහි ඵලය අහාරයට ගැනීම දක්වාද, අද වන විට එය මහා පරිමාණ වගාවන් තුලින් වෙළඳාම දක්වාද දියුණු වී තිබේ.
මෙලෙස පියවරෙන් පියවර දියුණු වූ “මිනිස් සත්වයා” අනෙකුත් සත්වයන්ගෙන් තමා වෙනස් වර්ගයක් බැව් පෙන්වීමට නොයෙකුත් දේ සිදු කළේය. ඉන් ප්‍රධානම දෙය නම් “ඇඳුම්” වේ.අනෙකුත් කිසිදු සත්වයෙක් තම ශරීරය කෘතීමව වසා ගැනීමට ලක් නොකරයි. ඒ සඳහා ස්වාභාවධර්මයෙන් ඔවුනට අවශ්‍ය පහසුකම් ලබා දේ. ඇතැම් සත්වයන් ට ඝන ලෝම තට්ටුද, ඇතැම් සත්වයන්ට කොරපොතුද, තවත් සත්වයන්ට පිහාටු වැනි විවිධ පහසුකම් ලබා දේ. “මිනිස් සත්වයා” ස්වාභාවධර්මයට යටත් බැවින් ඔහුට අවශ්‍ය පහසුකම වන ඝන ලෝම නොමැති විවෘත සම ලබා දෙන ලදී. නමුත් “මිනිස් සත්වයා” ඔහු අනෙකුත් සත්ව කොට්ඨාශ වලින් වෙනස් බැව් පෙන්වීමට ස්වභාවධර්මයට අභියෝග කර “ඇඳුම්” නමැති සොයාගැනීම සිදු කළේය.

එතනින් නොනැවතුණු “මිනිස් සත්වයා” රංචු ලෙස නොව පවුල් ලෙස ජීවත් වීමට හැඩ ගැසුණි. පිරිසක් ලෙස සිදු කර දේ තනි තනිවම කිරීමට පටන් ගත්හ.

පිරිසක් ලෙස දඩයම් කර “මිනිස් සත්වයා” තනි තනිවම සතුන් ඇති කිරීමට පටන් ගත්හ. කණ්ඩායමක් ලෙස වනාන්තර පීරා භව භෝග සෙවූ “මිනිස් සත්වයා” තනි තනිවම ඒවා වැවීම ආරම්භ කළේය.

මෙලෙස තනි තනිව ජීවත් වීම ඇරඹු “මිනිස් සත්වයා” ඉන් පසු පවුල නමැති ඒකකය සකසා ගත්තේය. ඉන් පසු “පවුලේ” ආරක්ෂාවට “නිවස” නමැති ස්ථානය සකසා ගත්තේය. තම නිවස අනෙක් “මිනිස් සත්වයන්ගෙන්” වෙන් කර පෙන්වීමට ඔහු විවිධ උපක්‍රම යොදා තම නිවස විශේෂ කළේය. මෙය නිවාස තැනීමේදී උස, පහත, තැනිතලා, කඳු ගැට වැනි භූගෝලීය වෙනස් කම් මත සිට කුඩා නිවාස, විශාල නිවාස වැනි ප්‍රභලත්වය දක්වන විෂමතා දක්වා පරිණාමය විය.

මින් පැහැදිලි වන එක් කරුණක් වේ. එනම් “මිනිස් සත්වයා” තමාව අනෙකුත් සත්ව කොට්ඨාශ වලින් වෙන් කර විතැන් කර දැක්වීමට උනන්දු වනවා සේම තම “මිනිස් සත්ව” කොට්ඨාශය තුලද තමා පුද්ගලිකව විශේෂ කර දැක්වීමට උනන්දු වන බවයි.
ඉහත පැවසු පරිදි නිවාස නමැති ඒකකය දියුණු වීමත් සමග සෙවිලි කල නිවාස, තනි තට්ටුවේ නිවාස, තට්ටු කීපයක නිවාස ලෙසද, තාප්පයකින් වට වූ, උද්‍යාන සහිත, නාන තටාක සහිත නිවාස, වැනි විවිධ උපක්‍රම මගින් තම නිවාස අනෙකාගෙන් විශේෂ කිරීමට මහන්සි ගෙන ඇත.

වර්තමානයේ මහල් නිවාස සංකීර්ණ තුල ජීවත් වන “මිනිස් සත්වයා” එකම ආකාරයේ, එකම ප්‍රමාණයේ, එකම පෙනුම ඇති තම නිවාස ද ඉහත කිහිපයක් පරිදි විශේෂ කර දැක්වීමට විවිධ ක්‍රම යොදා ගනියි. වෙනස් වර්ණයන් ආලේප කිරීමෙන්, විවිධ සැරසිලි මගින් තම නිවස අනෙකාගෙන් විශේෂ කිරීමට උත්සහ ගනී.
නිමි ඇඳුම් සාප්පුවකට යන “මිනිස් සත්වයා” එකම ඇඳුමේ පිටපත් (කෑලි) 10ක් තිබෙන මෝස්‌තරය තෝරා ගන්නේ නැත. ඔහු තොර ගන්නේ යම් මෝස්තරයක අඩුම පිටපත් (කෑලි) ප්‍රමාණයක් ඇති ඇඳුම් මෝස්තරයි. එයට හේතුව ඔහු තමාව විශේෂ කිරීමට දක්වන කැමැත්තයි.

යම් කිසි ලෙසකින් තමන් හැඩ වී යන ඇඳුම් මෝස්තරය තවත් “මිනිස් සත්වයකු” හැඳ සිටිනවා දුටුවහොත්, ඔහුට හිතින් ශාප කරයි. හිතින් බැන වදීයි. මෙය ප්‍රභල ලෙස ගැහැණු “මිනිස් සත්වයා” තුල දැකිය හැකි අතර පිරිමි “මිනිස් සත්වයා” තුල එතරම් දක්නට නොලැබෙයි.

මෙයට හේතුව වසර මිලියන ගණනක සිට පිරිමියා සමාජීය සත්වයෙකු ලෙස තවත් පිරිසක් සමග වැඩ කිරීමට පුරුදු වී ඇති අතර ගැහැණිය නිවස තුල ළමුන් බලා ගනිමින් සිටීමට හැඩ ගැසී තිබීමයි. නිවස තුල සිටිනා ගැහැණිය තම නිවස අලංකාර කිරීමට, අනෙකාගෙන් වෙනස් කිරීමට පෙළඹේ. මෙය ගැහැණියගේ පරිණාමය තුලද ඇය තුලට කා වැදුණු ලක්ෂණයක් වී ඇත.

මෙලෙස තම “මිනිස් සත්ව” වර්ගය තුලද විශේෂ වීමට උනන්දු වන “මිනිස් සත්වයා” තනා ගන්නා නිවාස කිහිපයක් එකතු වී “ගම” නමැති ඒකකය බිහි වේ. ගම් නමැති ඒකක කිහිපයක් එකතු වී “නගර” නමැති ඒකකය බිහි වේ. නගර කිහිපයක් එකතු වී “පළාත” යන ඒකකය ඇති වේ. මෙලෙස විකාශනය වී “රට” නමැති ඒකකය බිහි වේ.

ගම සහ නගරය නමැති ඒකක තුල විවිධ හැසිරීම් සහිත “මිනිස් සත්වයන්ගේ” ක්‍රියා කලාප හේතුවෙන් “සංස්කෘතිය” බිහි වේ. එක් ගමක සිටින “මිනිස් සත්වයන්” බොහෝ විට එක ලෙස සිතන පතන හැසිරීම් ඇති අයවලුන් බැවින් එම අදාළ ගමේ ඊට අදාළ සංස්කෘතියක් බිහි වේ. මෙලෙස නගර තුල ඊට අදාළවද පළාත් තුල ඊට අදාළවද සංස්කෘතීන් බිහි වේ. මේ සඳහා භූගෝලීය සාධක මෙන්ම පරිසර සාධක ද බලපායි. මෙලෙස හට ගන්නා සංස්කෘතීන් ගේ එකතුවක් සිදු වී ප්‍රභලම හා බහුලවම දක්නට ලැබෙන සංස්කෘතිය එම අදාළ රටේ සංස්කෘතිය බවට පත් වේ.

මෙලෙස එම අදාළ සංස්කෘතීන් යටතේ ක්‍රියා කරන “මිනිස් සත්වයන්” අතර තවමත් කුතුහලය නමැති ප්‍රභල අවිය මොට වී නොමැති නමුත් එය අනෙකුත් කරුණු තුලින් යටපත් වීමට පටන් ගෙන ඇත. කුඩා කල කුතුහලයෙන් පිරි “මිනිස් සත්වයා” වැඩි වියට පත් වීම සමග කුතුහලය හීන වීමක් දක්නට ලැබේ. එය ඉදිරියේදී සාකච්ඡා කෙරෙනු ඇත.

මෙලෙස කුතුහලය හීන නොවී එය පවත්වාගෙන යන “මිනිස් සත්වයන්ගේ” ඇතැම් අත්හදාබැලීම් ඉහත කී සංස්කෘතියට පටහැනි ලෙස බලපානු ඇත.

එවිට “සමාජය” නමැති ඒකකය බිහි වී, එම අදාළ කුතුහලයෙන් පිරි “මිනිස් සත්වයා”; “සත්වයෙකු” ලෙස පෙනී යැයි. එවිට ඔහුව “මිනිස් සත්වයකු” කිරීමට “නීතිය” නමැති සංකල්පය බිහි වේ. නීති කඩ කරන “මිනිස් සත්වයා” ඉන් වැලක්වීමට “දඬුවම” නමැති සංකල්පය බිහි වේ.

මෙලෙස සංකීර්ණ වන සමාජය තුල “මිනිස් සත්වයා” අනෙකුත් සත්වයන්ගෙන් වෙනස් කොට්ඨාශයක් ලෙස ජීවත් වීම අඛණ්ඩව සිදු කරයි.




මෙම කොටසේ සාරාංශය පහත පරිදි දැක්විය හැකිය.

  • පරිණාමයේදී බුද්ධිමත් සත්වයෙකු බිහි වීම.
  • “බුද්ධිය නිසාවෙන් “කුතුහලය” ලැබීම.
  • කුතුහලය නිසාවෙන් “අත්හදා බැලීම”
  • එම අත්හදා බැලීම් ප්‍රයෝජනයට ගැනීම.
  • එමගින් පියවරෙන් පියවර දියුණු වීම.
  • එම දියුණුව නිසාවෙන් අනෙකුත් සත්වයන්ගෙන් වෙන්ව “මිනිසා” ලෙස තමන්ව හඳුන්වා ගැනීම සහ ක්‍රියා කිරීම.
  • අනෙකුත් සත්වයන්ගෙන් වෙන්ව තමාව හඳුන්වා ගැනීමෙන් නොනැවතී තම වර්ගයා අතරද විශේෂ වීමට ඇරඹීම.
  • එම නිසා “නිවස”, “ගම”, “නගර”, “පළාත්”, “රට” වැනි එකක බිහි වීම.
  • ඒවායේ පොදු ලක්ෂණ නිසාවෙන් “සංස්කෘතිය” බිහි වීම.
  • සංස්කෘතියේ පැවැත්ම සඳහා “නීතිය” ද, නීතියේ පැවැත්ම සඳහා “දඬුවම” ද බිහි වීම.
  • මේ සියල්ල මගින් “මිනිස් සත්වයා” අනෙකුත් සත්වයන්ගෙන් වෙන්ව විශේෂ වූ ජීවී කොට්ඨාශයක් ලෙස තමාවම හඳුන්වා ගැනීම.


No comments:

Post a Comment