Showing posts with label දේව්දාස් ගේ කතා. Show all posts
Showing posts with label දේව්දාස් ගේ කතා. Show all posts

Monday, December 5, 2011

දේව්දාස් වයසට යයි...

            මාතෘකාව දැක්කම මේ මොකක් ගැන කියන්න යනවද කියල හිතෙනවා ඇති... ඇත්තටම මේ කියන්න යන්නේ අපි හැම කෙනාටම ජීවිතයේ වැදගත්ම දවස එහෙමත් නැත්නම් උපන් දිනය ගැනයි... දේව්දාස් ඊයේ 20 වන උපන් දිනය සැමරුවා... ජීවිතයෙන් 1/4 ගෙවුණ දවස ඊයේ දවසයි...

            දේව්දාස් කවදාවත් උපන් දිනය සමරන්න විශේෂ දෙයක් කළ කෙනෙක් නෙමෙයි... ඒ වගේම දේව්දාස් ට කවුරු සුභ පැතුවත්, කවුරු සුභ නොපතුවත් දේව්දාස් ට එහි කිසිම විශේෂයක් නෑ... මොකද උපන් දිනය දෙව්දාස්ට තවත් එක් දිනක් පමණයි...

            නමුත් මේ ලිපිය ලියන්නට එක් කාරණයක් හේතු වුණා... මෙන්න මේකයි කතාව... දේව්දාස් උපන් දිනය දවසේ වුණත් පරණ පුරුදු දින චරියාවම ගෙවලා රෑ 8 ට විතර මුහුණු පොත පැත්තේ ගියා... ආහ්හ්... කලින් කියන්න අමතක වුණා... දේව්දාස් කලින් දවසේ මුහුණු පොතෙන් දේව්දාස් ගේ උපන් දිනය මැකුවා... ඒක නිසා කිසිම උපන් දින සුභ පැතුමක් හෝ කිසිම විශේෂ දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි මුහුණු පොතට ඇතුළු වුණේ...

            ඇතුළු වුණු ගමන්ම messages 2 ක තියනවා කියල දැක්කා...  ගිහින් බැලුවා කවුද එවල තියෙන්නේ කියලා... එකක් එවල තිබුණේ කලින් ලිපියෙන් සඳහන් කළ "මුරණ්ඩු හිතුවක්කාරී"... අනික දේව්දාස් ට අහම්බෙන් හමු වුණු මුහුණු පොතේ යෙහෙළියකගෙන්... දැනට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ඈ දේව්දාස් ට උපන් දින සුභ පැතුම් එවල තිබුණා... නමුත් විශේෂත්වය ඇය උපන් දිනය මතක තියාගෙන ඉඳපු එක නෙමෙයි... ඇය උපන් දින සුභ පැතුම එවල තිබුණේ හරියටම ඊට කලින් දවසේ රාත්‍රී 12...

            මේ යෙහෙළිය දේව්දාස් ට අහම්බෙන් හමු වුණු කෙනෙක් වුණත්, දේව්දාස් ට ගොඩක් සමීප යෙහෙලියක් වුණා... බොහෝ දේවල් දේව්දාස් සමග කතා කරලා තියනවා... කොපමණ සමීප කෙනෙක් වුණත් දේව්දාස් හීනෙකින් හෝ මෙවැනි දෙයක් බලාපොරොත්තු වුණේ නම් නෑ...

            එය දේව්දාස් ට විශේෂ දෙයක් වන්නේ ඇයිදැයි ඔබට ගැටළුවක් ඇති... හේතුව... හේතුව මේකයි... දේව්දාස් උපන් දිනය දවසේ රාත්‍රී 12 ට අවංකවම සුභ පැතුමක් බලාපොරොත්තු වුණා... නමුත් ඒ දේව් ගේ පාරෝ ගෙනුයි... නමුත් ඉන් පැය 24 නොවෙයි, මේ ලිපිය ලියන විට පැය 45 පසු වී තිබුණත් පාරෝගෙන් තවමත් සුභ පැතුමක් නෑ...

            පාරෝගෙන් එවැන්නක් බලාපොරොත්තු වුණු දේව් කිසිම විටක මේ යෙහෙලියගෙන් මෙවැනි කැප වීමක් බලාපොරොත්තු වුණේ නෑ... දේව් මේකට කැපවීම කියන්නේ, දේව් හිතන විදියට මේක කැපවීමක් නිසා... මොකද නැත්නම් උපන් දිනය දවස ඇතුලත ඕනෙම වෙලාවක සුභ පතන්න පුළුවන් කම තිබුණත්, 12 වෙනකන් ඇහැරිලා ඉඳල සුභ පතන ඒක දේව් හිතන්නේ කැපවීමක් කියලයි...

           ඇත්තටම මේ ලිපියෙන් දේව්දාස් කිසිම දුක ප්‍රකාශ කිරීමක් හෝ වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ... දේව්දාස් ට හිතුණා මේ ලිපිය ලියන්න... ඉතින් ලිව්වා... බයිලයක් කියල හිතෙනවනම් සමාවෙන්න...

දේව්දාස්...

Thursday, December 1, 2011

දේව්දාස් ගෙන් මුරණ්ඩු හිතුවක්කාරියෙක්ට...

               ටික දවසක් නිහඬව ඉඳල මේ වගේ ලිපියක් පල කරන්න වෙයි කියල දේව්දාස් කීයටවත් හිතුවේ නෑ... වැඩි වැල් වටාරම් ඕනේ නෑ... සිද්ධ වුණු දේ කියන්නම්...

            දේව්දාස් ට හොඳ යාළුවෙක් හිටියා... මෙයා ගැහැණු ළමයෙක්... ටිකක් මුරණ්ඩු හිතුවක්කාර කෙනෙක්... දේව්දාස් නුයි මෙයායි යාළුවො වුණේ මීට මාස 6 කට විතර කලින් මුහුණු පොතෙනුයි... පස්සේ ගොඩක් ලඟින් ඇසුරු කරන යාළුවෙක් වුණා... ගැහැණු ළමයෙක් වුණත් දේව්දාස් පිරිමි ළමයෙක් වුණත් යාළුකමට ඒ කිසි දෙයක් බලපෑවේ නෑ...

            කොච්චර මුරණ්ඩු වුණත්, හිතුවක්කාර වුණත් මෙයා දේව්දාස් කියන දේ ඇහුවා... වැරද්දක් කරන කොට ඒක පෙන්නලා දුන්නම ඒ දේ හදා ගන්න තරම් නිහතමානි වුණා... දේව්දාස් මෙයාව හම්බවෙලත් තියනවා... මේ ලිපිය ලියන්න හේතුව වුණේ, මේ හිතුවක්කාරී දේව්දාස් ගේ හිත රිද්දවපු නිසයි... මේකයි වුණේ...

            දේව්දාස් ගේ අම්මට මේ හිතුවක්කාරිගේ අම්මව හම්බවෙන්න ඕනේ කිව්වා මොනවද වැඩකට... ඉතින් දේව්දාස් අම්මයි තාත්තයි එක්ක දැන් ටිකකට කලින්, දන්නා කියන විස්තර හොයාගෙන ගියා මෙයාගේ ගෙදර හොයාගෙන... ගෙදර එනවා කියල නොකිව්වේ පුදුම කරවන්න හිතාගෙනයි...

           එත දේව්දාස් දන්න විස්තර මදි වුණා ගෙදර හොයා ගන්න... ඉතින් ඒ වෙලාවේ දේව්දාස් මෙයාට call එකක් අරන් කිව්වා "අපි දැන් ගෙදර එන ගමන්... දැන් ඉන්නේ ***** තැන... මෙතනින් එහාට එන්නේ කොහොමද" කියලා... එතකොට මෙයා ටිකක් කලබල වෙලා කිව්වා "ඉන්න මම තව ටිකකින් call එකක් ගන්නම්" කියලා...

           මේ වෙලාවේම මොකක්දෝ අවාසනාවකට දේව්දාස් ගේ phone එකේ battery ඒක බැස්සා... දැන් කරන්න දෙයකුත් නෑ... මේ number ඒක තියෙන්නේ දේව් ගේ phone එකේ විතරයි... දේව් තාත්තගේ phone ඒක අරන් දේව් ගේ සිම් ඒක දාල බලන හිටියා call ඒක එනකන්... විනාඩි ක් විතර හිටියා... ඒත් නෑ... ටිකකින් sms එකක් එනවා "අපි මේ *** ලගේ ගෙදර ඉන්නේ... එයාගේ බාප්පා හදිස්සියේම නැති වෙලා... අපි මේ එහෙ ඉන්නේ" කියලා...

            මේ වෙලාවේ දේව්දාස් ට ඇති වෙච්ච වේදනාව හිතා ගන්නවත් බැරි තරම්... වෙන මොහොකටවත් නෙමෙයි... ඒ කිව්වේ බොරු කියලා දැනුන නිසා... දේව් ට ඒක බොරු කියල හිතුනේ මොකද කියල ඔයාලා බලනවා ඇති... හිතන්න පොඩ්ඩක්... ඇයි එහෙනම් දේව් ට ටිකක් ඉන්න කියල විනාඩි 10 කට පස්සේ ඔය දේ කිව්වේ..? ඇයි ඔය දේ ඒ වෙලාවේම කිව්වේ නැත්තේ..? ඒක හිතල කිව්වා දෙයක් කියන්න ඒ දේම ඇති නේද..?

            දේව්දාස් ට ඒ වෙලාවේ හිතුනා ඇයි මෙච්චර දුරක් ආවේ කියලා... දේව් ලගේ ගෙදර ඉඳං මෙයාලගේ ගෙදරට එන්න ටිකක් නෙමෙයි ඇත්තටම ගොඩක් දුරයි... ඒ ආවෙත් වෙන දෙයකට නෙමෙයි දේව් ගේ අම්මට මෙයාගේ අම්මව හම්බවෙන්න ඕනේ කිව්වා නිසා... ඒත් දේව් ට හිතා ගන්න බැරි ඇයි මෙයා එහෙම දෙයක් කලේ කියලා... මෙයා කලේ බොරුවක් කියන ඒක දේව් හොඳටම දන්නවා... ඒත් මෙච්චර හොඳ යාළුවෙක් වෙලත් ඇයි එහෙම කලේ..?

           හේතු ඇති... ඒත් ඒ හේතු කියන්නේ නැතිව බොරුවක් කියපු එකට දේව් කවදාවත් සමාව දෙන්නේ නෑ... දේව් ට බොරු කියන අය පෙන්න බෑ... කොච්චර හොඳ යාළුවෙක් වුණත් බොරු කිව්වා නම් දේව් එයාව තවත් යාලු කමේ තියා ගන්නේ නෑ...

           දේව් දන්නවා මේ ලිපිය මේ මුරණ්ඩු හිතුවක්කාරිත් බලනවා කියලා... දේව් ට කියන්න ඕනේ වුණු හැම දේම මේකේ කියවිලා නෑ... මොකද මේ ලිපිය ලියන්නේ සැලසුම් කරලා නෙමෙයි... හිතට එන දේ ලියනවා... ඔයාගේ හිත දන්නවා ඔයා කලේ බොරුවක් කියලා... ඒ වගේම ඔය දන්නවා දේව් ට බොරුකාරයෝ පෙන්න බෑ කියලත්... ඉතින් සමාවෙන්න... අදින් පස්සේ ඔයාට දේව් කියල යාළුවෙක් නැති වෙයි... ඒ වගේම ඔයා කියල තියන විදියට හොඳ සහෝදරයෙකුත් නැති වෙයි... මේ ඔයාගේ වැරැද්ද නිසයි... ඉතින් අපි සමුගනිමු... දුක වුණත් මේ අපේ යාලු කමේ අවසානයි...

දේව්දාස්...

Saturday, October 29, 2011

දේව්දාස් නම් වූ සහෝදරයා...

            අලුත් ජීවිතයක් පටන් ගන්න උත්සහ කරන දේව්දාස්; බ්ලොග් පිටුවේ මේ ලියන්න හදන්නේ දේව් ගේ සහෝදර, සහෝදරියෝ ගැන නම් නෙමෙයි... මේක විශ්වාස කරන්න අමාරු, නමුත් 100% ඇත්ත සිදුවීම් කිහිපයක් එක මාතෘකාවක් යටතට ගන්නට දරණ උත්සාහයකුයි...

            කතාව පටන් ගන්නේ දේව්දාස් උසස් පෙළ ඉවර වෙලා ගෙදර ඉන්න කාලයේදීයි... නිකන් ඉන්න කම්මැලි කම නිසා මුහුද පැත්තේ ගිහින් අනූ නමයෙන් බේරුණු සිද්ධිය දැනටමත් දන්නවනේ... මේ සිද්ධිය  වුණේ එහෙම අත කඩාගෙන ඇවිදින්න බැරුව ගෙදරට වෙලා ඉන්න කාලෙදියි... දේව් ගේ ගෙදර පෙර පාසලක් පැවැත්වෙනවා... ඒ කියන්නේ දේව් ගේ ගෙදර, ගොඩනැගිල්ලක ගුරුවරියෝ දෙන්නෙක් උගන්නවන පෙර පාසලක් තියනවා... දේව් ට කොහෙවත් යන්න තහනම් නිසා දේව් නිකන් ඉන්න කම්මැලි කමට මේ පෙර පාසලට යන්න පුරුදු වුණා... මේ පෙර පාසල පාලනය කරන්නේ දේව් ගේ අම්මා... ඒකයි එහෙම යන්න පුළුවන් වුණේ...

            ඉතින් මෙහෙම ගිය පළවෙනි දවසෙම දේව් ට එක පොඩි ළමයෙක්ව හිතට ඇල්ලුවා... එකට හේතු ගොඩක් තිබුණා... එකක් ඒ පොඩි ළමයට තිබුණේ පාරෝගේ පොඩි කාලෙට ගොඩාක් හුරු මුහුණුවරක්... අනිත් එක දේව්දාස් තමයි පවුලේ බාලයා... ඉතින් දේව් හරි ආසයි නංගිලාට... දැන් ඉතින් දන්නවනේ මේ පොඩි කෙනා ගෑණු ළමයෙක් කියලා...

            ඉතින් දේව්දාස් මේ පොඩි ගෑණු ළමයා එක්ක ගොඩක් යාලු වුණා... කොච්චර යාලු වුනාද කිව්වොත් ඒ පොඩි කෙනා දකින්නේ නැතුව දවසක් ඉන්න බැරි වුණා... දේව් ට විතරක් නෙමෙයි, ඒ පොඩි කෙනාටත් එහෙමමයි... ඉතින් අවුරුද්දකුත් මෙහෙම ගෙවිලා ගියා... මේ අවුරුද්දක කාලය ඇතුලත දේව් එක්ක පොඩි ගෑණු ළමයා වගේම, එයාගේ පවුලේ අයත් ගොඩක් ලං වුණා... ඒ ළමයගේ අම්ම දේව් ට කිව්වේ ලොකු පුතා කියලා... දේව් ඒ පොඩ්ඩි ගේ අක්කලට කිව්වේ පොඩි නංගි, ලොකු නංගි කියලා...

             ඒත් දේව් පාසලේ උගන්නන්න යනවාත් එක්කම ඒ පොඩ්ඩි එක්ක තිබුණ ආශ්‍රය ටිකක් අඩු වුණා... ඒත් දේව් ව දැකපු තැන දුවල ඇවිත් දේව් ව බදාගන්න තරම් ආදරයක් ඒ පොඩ්ඩි ගේ හිතේ තිබුණා... දේව් ටත් එහෙමමයි...

            මීට දවස් කීපයකට කලින් පෙර පාසලෙන් ළමයින් චාරිකාවක් එක්කරගෙන ගියා... ඒ චාරිකාවට සහභාගී වෙන්න දේව්දාස් ටත් අවස්තාවක් ලැබුණා... මුළු චාරිකාව පුරාවටම මේ පොඩ්ඩි හිටියේ දේව් එක්කමයි... අම්මලා ගාවට නොගිය තරම්... ඇවිද්දේ දේව් එක්ක... කෑවේ දේව් එක්ක... නිදා ගත්තේ දේව් ළඟ... මෙතැනදී පොඩ්ඩි දේව් ට ගොඩක් ලං වුණා...

            මේ ලිපිය ලියන්න හේතු වුණු සිද්ධිය සිද්ධ වුණේ අදයි... අද හවස දේව් ගේ අක්කා ගෙදර ආපු ගමන්ම දේව් හොයන් ආවා... ඇවිත් කිව්වා අර පොඩ්ඩියි එයාගේ අම්මයි, පොඩි නංගියි පාරේදී උදේ මුණ ගැහුණා කියලා... එතැනදී පොඩ්ඩි ගේ අම්මා දේව් ගේ අක්කට කියලා, මේ පොඩ්ඩි කියනවලු ගෙදරදී මේ මාස දෙකෙන් පස්සේ මොන්ටිසෝරි ගිහින් ඉවර නිසා දේව් අයියව බලන්න වෙන්නේ නැති නිසා, දේව් අයගෙන් ටෙලිෆෝන් නොම්මරේ ඉල්ලගන්න, කතා කරලා ඉන්න වෙලාවක් බලලා මාසෙට සැරයක් ගිහින් බලලා එමු කියලා...

             තාමත් පෙර පාසල් දරුවෙක් වුණත් ඒ පොඩ්ඩි හිතල තියන දුරක් කියලයි දේව් ට නම් හිතුනේ... පොඩ්ඩි දන්නවා තව මාස දෙකකින් දේව් අයියව බලන්න වෙන්නේ නෑ කියලා... ඉතින් එකට විසඳුමකුත් හිතලා... පොඩි අයගේ මොළයට ගොඩක් දේවල් හිතන්න, තීරණ ගන්න පුළුවන් හැකියාවක් තියනවා කියලා අපි කවදාවත් හිතන්නේ නෑ... ඒත් මේ පොඩ්ඩි තාමත් පෙර පාසල් දරුවෙක්... බලන්න හිතපු දුරක්... ප්‍රශ්නේ අඳුනගෙන, ඒකට උත්තරයත් එයාම හොයාගෙන...

            දේව්දාස් දන්නේ නෑ මේ පොඩ්ඩි දේව් ගේ ජීවිතේට කොහොම ආවද කියලා... ඒත් දේව් දන්නවා දැන් මේ පොඩ්ඩි දේව් ට දේව් ගේම නංගි වගේ කියලා... සමහර සම්බන්දතා උපතින් නොලැබුණත් ආශ්‍රයෙන් ඇති වෙනවා... මේ පොඩ්ඩි ත් දැන් දේව් ට තමන්ගේම නංගි වගෙයි... පෙර පාසලින් පාසලට ගියත්, පාසලෙන් විශ්ව විද්‍යාලයට ගියත්, මේ පොඩ්ඩි දේව් ට හැමදාමත් පොඩ්ඩි විදියටම පෙනෙයි...

            මේ දේව්දාස් ට උපතින් නොලැබුණත්, අහඹු ලෙස මුණ ගැසුණු හුරුබුහුටි සහෝදරිය මුණ ගැසුණු ආකාරයි...

දේව්දාස්...

Friday, October 28, 2011

දේව්දාස් Returns...

            ගොඩාක් කාලෙකට පස්සේ දේව්දාස් ට බ්ලොග් එක පැත්තේ එන්න ලැබුණා... ඇත්තටම කිව්වොත් දේව්දාස් පහු ගිය කාලේ ලිපියක් පළ කලේ නැත්තේ ලියන්න දෙයක් නොතිබුණු නිසාම නෙමෙයි... දේව්දාස් පහු ගිය දවස්වල කළේ කල්පනා කළ එකයි... හේතුව දේව්දාස්ට හිතුණා වෙනස් වෙන්න... ඔයාලට මේ මුකුත් තේරෙන්නේ නැතුව ඇති... ඉන්න මම පැහැදිලි කරලා දෙන්නම්...

           හැමෝම දන්නා විදියට දේව්දාස් කියන්නේ උසස් පෙළ විභාගය මහා ඉහලින් සමත් කෙනෙක් නෙමෙයි... දේව්දාස් උසස් පෙළ කළේ 2010 වසරේ... නමුත් දේව්දාස් ඒ තෝර ගත්තු විෂයන් දේව්දාස් කොහොමටවත් කැමැත්තක් තිබුණ විෂයන් නම් නෙමෙයි... පාසලේ තිබුණ විෂයන් වලින් තෝර ගන්න වුණු  විෂයන් තමයි කරන්න වුණේ... ආසා නැති දෙයක් කරන්න අපි කවුරුවත් ආසා නෑ වගේ, දේව්දාස් ටත් ඒ විෂයන් කරන්න කිසිම ආසාවක් තිබුණේ නෑ... ඉතින් වපුරන විදියටලුනේ අස්වැන්න... අස්වැන්නත් එහෙමම ලැබුණා...

           ඒත් අවුරුද්දකට පස්සේ දේව්දාස් රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි ඩිප්ලෝමා එකකට යන්න පටන් ගත්ත කියල ඔයාලා දන්නවා... මේ අතර කාලයේදී දේව්දාස්ට අවස්තාව ලැබෙනවා ඒ පරිසරයට හුරු වෙන්න... ඒ පරිසරය අත්විඳින්න... ඒ පරිසරයට, ඒ ජීවිතයට, ඒ රටාවට දේව්දාස් ගේ හිත ඇදිල ගියේ කොහොමද කියන්න දේව් දන්නේත් නෑ... ඉතින් අපි හැමෝම ආසයි අපි කැමති දේවල් අපේ ලඟට ගන්න... ගන්න බැරි දෙයක් නම් එතනට යන්න... ඉතින් දේව්දාස් නුත් තමන්ගේ හිත එක්ක වාද විවාද කරලා, අන්තිමට තීරණයක් ගත්තා... "ආයෙත් උසස් පෙළ කරනවා... උපරිමයෙන් කරලා කොහොම හරි කැම්පස් යනවා..."

           ඇත්තටම කිව්වොත් මේ තීරණය ගත්තේ විශ්ව විද්‍යාලයේ ඉන්න වෙලාවෙමයි... අයෙත් ගෙදර එන අතරේ දේව්දාස් නැවතත් මේ ගැන හිතුවා... ඔව්... මේ තීරණේ දේව්දාස්ගේ ජීවිතේ වෙනස් කරයි... අකමැති විෂයන් වෙනුවට කැමති විෂයන් කරනවා... කලබලේට කරන්න ඕනේ නෑ... 2013 අයෙත් ලියනවා...

           ඉතින් මේ දේව්දාස් පහු ගිය මාස එකහමාර පුරාම කල දේ නොවුනත් දේව්දාස් මේ ගැන ගොඩාක් කල් ඉඳං හිතුවා... ඉතින් මේ දේව්දාස් ගේ ජීවිතය වෙනස් වෙන තීරණයක් සමග නැවත පැමිණි දේව්දාස් ගේ කතාවයි...

දේව්දාස්...

Monday, August 29, 2011

දේව්දාස් සහ චන්ද්‍රමුඛී

            දේව්දාස් කාලෙකින් පොස්ට් එකක් දැම්මේ නෑ... වෙන මුකුත් නිසා නෙමෙයි... මේ දවස් වල දේව්දාස් ගේ හිතට ආවේ පාරෝ ගැන මතකයන් විතරයි... දේව්දාස් කැමති නෑ ඒ මතකයන් පොස්ට් වල ලියන්න... වෙනමුකුත් නිසා නෙමෙයි... දැන් ලියන්න පටන් ගත්තොත් දවස් ගානක් උනත් ලියල ඉවර වෙන්නේ නැති නිසයි...

            ඒත්... මේ මහ රෑ බ්ලොග් කියෙව්ව දේව්දාස් ට මේ පොස්ට් එක ලියන්නම හිතුණා... ඒ සමහර පොස්ට් දැක්කම හිතට එන හැගීම් පාලනය කර ගන්න බැරි වුණු නිසයි... මාතෘකාව දැක්කම කතාව මොන වගේද කියලා හිතා ගන්න පුළුවන් වෙයි... ඒත්...

     මෙන්න කතාව...

            පාරෝ ගේ හොඳම යාලුවෙක් හිටියා... නම *****... දේව්දාස් පාරෝ ගැන උනන්දු වුණේ දේව්දාස් - පාර්වතී  කියන හොඳ යාළුවොන්ගේ යාළුකම ඇති වෙලා ගොඩක් කාලෙකට පස්සෙයි... මේ යාළුකමට එකතු වෙන්න ***** ආසාවෙන් හිටියා... ඒත් පාරෝ ඒකට කැමති වුණේ නෑ... දේව් - පාරෝ කොච්චර හොඳ යාළුවො වුණත්, දේව් ට වෙනම යාළුවො පිරිසකුත්, පාරෝ ට වෙනම යාළුවො පිරිසකුත් හිටියා... පාරෝ ගේ යාළුවෝ අතරින් ලඟින්ම හිටිය යාළුවා තමයි *****...

            කතාව පටන් ගන්නේ දේව් - පාරෝ යාළුකම, දේව් - පාරෝ - ***** යාළුකම විදියට වෙනස් වුණු දා ඉඳං... දේව් ට පාරෝ එක්ක විතරක් කතා කරන්න බෑ... මොකද දේව් ට තමන් පාරෝ ගැන උනන්දු වෙන බව අඟවන්න ඕනේ නෑ... ඉතින් දේව් ට සිද්ධ වෙනවා ***** එක්ක කතා කරන්න... ඒත් හැම දේම වෙනස් වුණේ, ***** ගේ ගෙවල් දේව් ලගේ ගෙවල් පැත්තේ තියෙනවා කියල දැනගත්ත දවසේ ඉඳං... මේ වෙනකන් දේව් ගියේ වෙනම, ***** ගියේ වෙනම... ඒත් ගෙවල් එක පැත්තේ කියල දැන ගත්තු දවසේ ඉඳං දේව් සහ ***** පන්ති ගිහින් ගෙදර යන්නේ එක බස් එකේ... එක දවසක්...

           එක දවසක්... ***** වාඩි වෙලා ගිය තැන ඉඩ තිබුණු නිසා දේව් එතනින් වාඩි වුණා... ඒ දේව් ජීවිතේ පළවෙනි වතාවට ගෑණු ළමයෙක් ලඟින් වාඩි වෙල ගිය දවස... එදා හිතට දැනුනු වෙනස් හැගීම, දේව් ට දිගින් දිගටම ඒ දේ කරන්න කියල බල කළා... ඒත්... ***** වෙනස් වුණා... දේව් ට ලං වෙන්න උත්සහ කළා... දේව් ට ඒ බව නොතේරුණා නොවෙයි... ඒත් දේව් නොතේරුණා වගේ හිටියා... ඒත් ඒ අතරේ දේව්දාස් - පාර්වතී  ආදර කතාව ලියවුණා...

           ඒ ආදර කතාව ලිව්ව එක් කතුවරයෙක් තමයි ***** කියන්නේ... ඒත් එහෙම දේව් - පාරෝ ආදර කතාව ලියන අතරතුරෙත් දේව් ට ලංවෙන්න උත්සහ කළා... දේව් නොදැනීම ඒ ලංවීමට උනන්දුවෙනුයි හිටියේ... ඒත් දේව් කවරදාකවත් ඇයට ලංවෙන්න උත්සහ කලේ නෑ...

           මේ ලියන මොහොත වෙන විට දේව් ට පාරෝ අහිමි වෙල ඉවරයි... දේව් තමන්ගේ ආදරේ වෙනුවෙන් ***** නැති කරගෙනත් ඉවරයි... දේව් ට සියලු දේ නැති වී හමාරයි... නමුත් එක් කාලයකදී, දේව් ට සමීපතම මිතුරා ලෙස සිටියේ ***** යි... දේව් උදවු බලාපොරොත්තුවෙන් ගියේ ***** වෙතටයි... කිසිදු අපේක්ෂාවකින් තොරව දේව් ට උදවු කලෙත්  ***** මයි...

          දේව්දාස් දන්නවා... මේ ලියපු, කියපු කිසිම දෙයක් ඔබට වැටහෙන්නේ නැති බව... හිතන්න... මේ කියූ කාරණා අනුව ***** යන්නට දිය හැකි හොඳම වචනය චන්ද්‍රමුඛී යන්න නොවෙයිද? දැන් ඔබ චන්ද්‍රමුඛී යන නාමය යොදමින් නැවත කියෙව්වොත් ඔබට යම් වැටහීමක් ගත හැකි වෙයි... නමුත් ඔබ එය නොකරන බව දේව්දාස්  මනාව දනියි... කතාවක් පටන් ගත්තානම් අතරමග නැවැත්වීමේ පුරුද්දක් දේව්දාස් ට නොමැති බැවින්, ඔබට තේරෙන ලෙස නැවත මෙය ලිවීමට අදහස් කරමි...

             දැන් ඔබ සිතනවා ඇති දේව්දාස් මේ සමාජයේ සිටින තවත් එක් පිරිමියෙකු පමණක් බව... ඔබට සිතෙන දේ ලියන්න... දේව්දාස් තවමත් ඔහු කලේ වැරද්දක් දැයි දන්නේ නැත... හේතුව... දේව් ගේ හදවතේ සිටියේද, සිටින්නේද, සිටිය හැකි වන්නේද පාර්වතී යට පමණක් බැවිනි...

             ඔබට සිතෙන දේ ලියන්න... මේ දේව්දාස් හා චන්ද්‍රමුඛී ගැනයි...

දේව්දාස්...

Thursday, August 25, 2011

දේව්දාස් ගේ දෙවැනි උපත 2...

            ඊයේ දේව්දාස් මරණයෙන් ගැලවුණු හැටි කිව්වා මතකයි නේ... මේ ලිපිය ඒ සිද්ධිය හා සම්බන්ධ තවත් වැදගත් කියල දේව් ට හිතෙන කාරනා ටිකක් කියන්නයි ලියන්නේ... මතකයි නේ, දේව් ගෙදර අයත් එක්ක රෝහලට යන තැනින් තමයි නැවැත්තුවේ පොස්ට් එක දිග වැඩි නිසා...

            දේව් හොඳටම තුවාල වෙලා හිටියේ... දේව් ට තමන්ගේ වම් උරහිස හොලවන්නවත් බැරි වුණා... දකුණු කකුල වාඩි වෙලා ඉන්න නිසාමදෝ ගොඩක් රිදෙන්න ගත්තා... මේ වගේ ලෙඩ්ඩු භාර ගන්නේ රජයේ රෝහලකින් විතරක් නිසා දේව් ට සිද්ධ වුණා මාතර මහා රෝහලට ඇතුලත් වෙන්න... මේ වෙනකොට දේව් ට ගොඩක් අමාරු වුනත් දේව් තීරණය කළා ගෙදර අයට ඒ ගැන අඟවන්නේ නැතිව ඉන්න... දේව් ව රෝහලට ඇතුලත් කළාට පස්සේ වෛද්‍යවරු නිගමනය කළා දේව් ගේ වම් උරහිසත්, දකුණු කකුලත්, පපු ප්‍රදේශයත් පරීක්ෂා කරන්න... ඒත් මේ සියලු දේ හවස් වරුවේ නිසා, දේව් රෝහලට ඇතුලත් කරනකොට රෑ 6.30 විතර ඇති... ඒ වෙලාවේ කිසිම පරීක්ෂණයක් කරන්නේ නෑ කියලයි රෝහලේ වැඩ කරන සහ වෛද්‍යවරු පවා කිව්වේ...

             ඒත් රෝහල් දේව් ට මොකක්දෝ ක්‍රමයකින් අවශ්‍ය පරීක්ෂණ කරලා වාර්තා ඉදිරිපත් කරන්නට පුළුවන් වුණා... වාර්තා අනුව දේව් ගේ වම් උරහිස පැනලා, දකුණු කකුලේ අස්ථියක් පුපුරලා... පපු ප්‍රදේශයට නම් කිසිම බලපෑමක් නෑ... දවස් එකහමාරක් රෝහලේ ගත කළ දේව් ඊළඟ දවසේ හවස් වරුවේ බලෙන් ticket කපා ගෙන ගෙදර ආවා...

             දේව් මේ ලිපිය ලිව්වේ දේව් ට මේ සිද්ධියෙන් දැක ගන්න ලැබුණු කාරණා කිහිපයක් සම්භන්දයෙන් කියන්නයි... දේව් ට අවශ්‍ය පරීක්ෂණ කරන්න අනුමැතිය ලැබිල තියෙන්නේ රෝහල අධ්‍යක්ෂක මගින්... දේව් ගේ තාත්තා රෝහල අධ්‍යක්ෂකගේ හිතවතෙක් වීමෙන් දේව් ට අවශ්‍ය පරීක්ෂණ එවෙලේම කරගන්න හැකි වුණා... ඒත් හිතන්න දේව් ගේ පව්ලේ අය ඒ කව්රුවත් අඳුනන්නේ නැත්නම්, දේව් ට සිද්ධ වෙනවා ඊළඟ දවසේ උදේ වෙනකම් ඉන්න... ඒ අතරේ දෙයක් උනොත්... මේ කියන්නේ දේව් ගැනම නෙමෙයි... මේ වගේ රෝගීන් කීදෙනෙක් අපහසු තාවයන්ට පත වෙනවා ඇත්ද?

              දේව්ට රෝහලෙන් තනියම ඉන්න ඇඳක් ලැබුණා... ඒත් සමහර රෝගීන් එක ඇඳේ දෙන්නා බැගින් ඉන්නවා දේව් දැක්කා... ඇඳවල් අඩු කම නිසා වෙන්න පුළුවන්... ඒත් ඒ රෝගීන්ට රෝහල සේවකයන් කතා කරන විදිය, දේව් ට නම් අහන් ඉන්න බෑ... කතා කරනවා නෙමෙයි. ඒක සමාන වෙන්නේ බැනුමකට... මේ රජයේ දේ විවේචනය කරනවා නොවෙයි... නමුත් මේ ස්වභාවය...

              දේව් ට සිද්ධ උණු දේ දැනගෙන දේව් ව බලන්න ආපු අය, බලන්න ආවේ නැති අය, එන්න ඕනෙවට ආව අය, මේ හැම දෙනාම දේව් ට හිතන්න දේවල් ඉතුරු කරලයි ගියේ... දේව් ගේ අක්කගේ දුව, රෝහලට ඇවිත් මාමා දාල යන්න බෑ කියල අඬනකොට දේව් ට ඇති වෙච්ච හැගීම වචනයෙන් විස්තර කරන්න බෑ...

             තවත් දෙයක් ගැන දේව් කනගාටු වෙනවා... දේව් ට උදවු කළ ඒ පිටරටියට (පිටරටියා කියන්නේ දේව් සුද්දා කියන වචනේපාවිච්චි නොකරන නිසා) ස්තුති කරන්න දේව් ට බැරි වුණා... තාමත් ඒකට දේව් සූදානම් වුණත්, දේව් ට ඒකට තාමත් අවස්තාවක් හම්බ වුණේ නෑ... ළඟදීම දේව් ඒ යුතුකම ඉෂ්ට කරන්න යනවා...

              ඉතින් අද මේ ලිපිය ලිව්වේ ඒ සිද්ධියෙන් දේව් දැකපු, අහපු, දැනුනු දේවල් ගැන කියන්නයි... ඒත් දේව් මේ සිද්ධියෙන් ජීවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ඉතින් මේ දේව්දාස් ලබපු දෙවැනි උපත ගැනයි...

දේව්දාස්...

Wednesday, August 24, 2011

දේව්දාස් ගේ දෙවැනි උපත...

            අද ලියන ලිපිය බලන්න නම් ටිකක් වෙලා ගනියි load වෙන්න... මොකද අද පින්තූර 3 ක් එකතු කළා ලිපියට... දේව්දාස් මේ ලිපිය ලියන්නේ, කම්මැලි කමට computer එකේ අහු මුළු වල රිංගන වෙලාවේ හම්බ වුනු පින්තූරයක් දැකලා... හ්ම්ම් ඔන්න එහෙනම් අහගන්නකෝ විස්තරේ...

            ගිය අවුරුද්දේ හරියටම අගෝස්තු මාසේ දේව්දාස් ටත් උ/පෙ ඉවර උනානේ... ඉතින් දේව් යාළුවො ටිකත් අඬගහගෙන හැම තැනම සංචාරය කරන්න තමයි සැලසුම් කලේ... දේව් ටම හරියන යාළුවො ටික නිසා ඒගොල්ලොත් එක පයින්ම කැමති වුණා වැඩේට...

            දේව් ගේ යාලුවෙක් ඉන්නවා තලල්ල කියන ගමේ... තලල්ල කියන්නේ පිටරටින් එන සංචාරකයෝ නිතර ගැවසෙන ස්ථානයක්... ඉතින් යාළුවො හැමෝම නොවුනත් 4 දෙනෙක් ගමනට එකතු උනා... තලල්ල මුහුදු වෙරළ කියන්නේ දේව් විශ්වාස කරන විදියට ලංකාවේ තියෙන ලස්සනම මුහුදු වෙරළක්... නැත්නම් ඉතින් පිටරට අය එයිද නිකන් වෙරළකට...

            ඉතින් දේව් එයාගේ යාළුවො ටිකත් එක්ක තලල්ල මුහුදු වෙරළ දිගේ ඇවිදගෙන ගිහින් මුහුද අද්දරම තිබුණ විශාල ගල් තලාවට නැග්ගා... දේව් පොඩි කාලේ ඉඳලම හිතුවක්කාර, අනිත් අය කරන්න බය දේවල් කරන්න කැමැත්තක් තිබුණා... ඉතින් මේක අනිත් අයට මහා පුදුම දෙයක් නෙමෙයි... මොකද යාළුවො දන්නවා දේව් කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා... ඉතින් ගල් ගොඩක් උඩට නගින එක මහා ලොකු දෙයක් නෙමෙයිනේ කියල හිතපු දේව් කල්පනා කළා යාලුවන්ට පේන්න වැඩ කැල්ලක් දන්නේ කොහොමද කියලා... ඔහොම කල්පනා කරනකොට දේව් දැක්කා මුහුද අද්දරම, මුහුදට නෙරා ගිය ප්‍රමාණයෙන් ටිකක් විශාල ගල් තලාවක් තියෙනවා... ඉතින් දේව් ඔතෙන්ට යනවා දැකපු යාලුවෙක් "මචෝ රැල්ල නම් සැරයි" කියල කිව්වා... ආපහු හැරෙන්නද රැල්ල සැරයි කියලා... දේව් නම් හැරෙයි ආපහු... :/ ඉතින් දේව් වීර ක්‍රියාවක් කරන්න යනවා වගේ ගියා මුහුදට නෙරලා තිබුණු ගල් තලාව උඩට... එත එක තැනකදී, ගලට නගින්න කකුල තියන කොට කකුල ලිස්සලා දේව් වැටෙන්න ගියා... වෙලාවට අනිත් අය ඒක දැක්කේ නෑ...

             කකුල ලිස්සුවට දේව් කරන්න යන වීර ක්‍රියාව නවත්තන්න කාටවත් බැරි නිසා දේව් තමන්ගේ ගමන දිගටම ගියා... ගිහින් නිකන් හිටියෙත් නෑ, යාලුවෙක්ට කිව්වා ෆොටෝ එකක් ගන්න කියලා... ඉතින් ඔය පහලින් තියෙන්නේ ඒ ගත්තු පින්තූරේ තමයි...

ඔය කූඹියෙක් වගේ ඉන්නේ දේව්දාස්


            
            ඉතින් ෆොටෝ එකත අරන් වීරයා වගේ ආපහු දේව් එන්න හදනකොටම, විශාල රැල්ලක් ඈතින් එනවා දැක්ක... කලින් කියන්න අමතක උනා, ඒ එන රැල්ල දේව් ඔය ඉන්න ගල උඩිනුත් පෙණ කැටි වගේ විසිරිලා යනවා... කලිනුත් කිව්වා වගේ මේ ගල තියෙන්නේ මුහුදට නෙරලා... ඒ කියන්නේ දැන් දේව් ඉන්නේ මුහුදේ... මුහුදෙන් එන රැල්ල ගල් වල වැදිලා බිඳිලා සර බාල වෙලා තමයි වෙරළට යන්නේ... ඒ එන රැල්ල දේව් ඉන්න ගලේ වැදිලා පෙණ කැටි විසිරෙනවා... (පින්තූරෙත් පේනවා ඇති නේ...)

            ආපහු කතාවට අවොත්, ඈතින් රැල්ල එනවා කියල දේව් දැක්කත් ලිස්සන ගලක් උඩ දුවල නිකන් මුහුදට වැටිලා ගිලෙන්නේ මොකටද කියල හිතපු දේව් ට ඒ වෙලාවේ කල්පනා වෙනවා, හිට ගෙන හිටියොත් රැල්ල වැදිලා දේව් විසි වෙන්න ඉඩ තියෙන නිසා පහත් වෙලා හිටිය නම් රැල්ල දේව් ගේ ඇඟට  උඩින් යයි කියලා... (කොහොමද ටිකිරි මොලේ) ඉතින් දේව් රැල්ල කිට්ටු වෙන කම් ඉඳල පහත් උනා... උඩ හිටිය යාලුවොන්ට නම් ගානක් නෑ මේ වෙන දේවල් ගැන...

            ඒත් ඒක පාරටම දේව් ගේ වම් උරහිසේ මොකක්දෝ දෙයක් වේගයෙන් වැදුණා... ඊට පස්සේ දේව් ගේ ඔලුව තවත් ශක්තිමත් දෙයක වැදුණා... ඊට පස්සේ දේව් ට එයාව පාවෙනවා වගේ දැනුණා... ඊට පස්සේ එයා ටික ටික කොහේදෝ ඇතුලකට අරගෙන යනවා වගේ දැනුණා... පියවි සිහියට ආපු දේව් ට තමන් වතුරේ ගිලෙන බව දැනුණා... ඉක්මනින් යමක් අල්ලගන්න හිතාගෙන වට පිට අතගානකොට, මේ වෙනකොට පණ නැති වෙමින් තිබුණු දේව් ගේ අත් දෙකට ගලක් අහුවුණා... සිහියක් නැතිව ඒ ගලේම එල්ලිලා උඩට ආපු දේව් තාමත් ඉන්නේ රැල්ල එද්දී හිටපු ගල් තලාව උඩයි... හිත හිත ඉන්න වෙලාවක් නැති කම නිසාම නොවුනත්, හිතන්න තරම් ශක්තියක් දේව් ගේ ඇඟේ නොතිබුණු නිසාවෙන් දේව් ඉක්මණින් ගල් තලාවෙන් බැහැල යාළුවො ඉන්න ගල් තලාව ලඟට ගියා...

             මේ වෙනකොට උඩ හිටිය යාළුවො හැමෝම පල්ලෙහාට ඇවිත් දේව් ව හොයනවා... මුළු ඇඟේම ලේ පෙරා ගෙන ඉස්සරහට එන දේව් ව දැකල බය වුනු යාළුවො මොහොතක් මුකුත්ම හිතා ගන්න බැරිව ඉඳපු විදිය දැකල දේව් ට තමන්ගේ පෙනුම මොන වගේද කියල හිතා ගන්න පුළුවන් උනා...

             යාළුවො ඉඳපු ගල් තලාව උඩින් පිහිටි කඳු ගැට්ටේ තිබුණ ගෙදර පදිංචි වෙලා හිටියේ පිට රට මනුස්සයෙක්... යාළුවො දේව් ව ඒ ගෙදරට එක්කරගෙන ගිය මොහොතේ ඒච ගේ දිහා මොහොතක් බලන් ඉඳපු ඔහු, ඔහුගේ පෞද්ගලික ගමන් බිමන් වලට පාවිච්චි කරන ත්‍රී රෝද රථයෙන් දේව් ව dispensary එකකට අරන් යන්න කියල රියදුරාට කිව්වා...

            ඒ වෙනකොටත් යාළුවො දුරකතනෙන් දේව් ගේ ගෙදරට සිද්ධිය බොහෝම සැර බාල කරලා කියල තිබුණ නිසා, දේව් ගේ දෙමව්පියෝ එතනට ඉක්මනට ආවා... එතනින් එහාට ලියන්න හදනකොටත් අහපු මිහිරි වදන් කන් දෙකේ රැව් දෙනවා...

            දැනටමත් පොස්ට් ඒක දිග වැඩි වුනු නිසා මෙතනින් එහාට සිද්ධ වුනු දේවල් දේව් කියන්න යන්නේ නෑ... ඒත් මේ සිද්ධිය නිසා දේව් ට කවදාවත් දුකක් දැනුනේ නෑ... ඒ මොකද කියල දේව් කියන්නම්... හැබැයි හෙට... තාම දේව් කිව්වේ මේ සිද්ධියේ භාගයයි... ඉතුරු ටික කියන්න ගියොත් පොස්ට් ඒක ගොඩක් දික් වෙනවා... ඒක නිසා හෙට ඉතුරු ටික කියන්නම්...

            කියපු විදියට අදාළ තැන ගැන චිත්‍රයක් ඔලුවට ආව නම් බලන්න ඒක මෙන්න මේ වගේද කියලා... මේ යටින් තියෙන්නේ ඒ සිද්ධිය වුනු තැන google maps වලින් ගත්තු පින්තූර... හරියටම තැන ඔන්න යටින් තියෙනවා...                          මේ දේව්දාස් ගේ දෙවැනි උපත ගැනයි...


  
               රවුම් කරලා තියෙන්නේ වැටුන තැන...          ඔන්න ඔහොමයි දුරට පෙන්නේ...
උඩ තියෙන්නේ උදවු කළ පිටරැටිය ගේ ගෙදර...          කොහොමද සැප අර ගල අල්ලගන්න බැරි උනානම්..?




දේව්දාස්... 

Tuesday, August 16, 2011

දේව්දාස් ගේ කතාව...

           ඊයේ (15) දේව්දාස් ට ටිකක් දුක සතුට එක වගේ හිතුන දවසක්... වැඩි වැල් වටාරම් ලියන්නේ නෑ... මෙන්න මේකයි හේතුව...

           ඊයේ උසස් පෙළ සිංහල විෂය තිබුන දවසනේ... ඉතින් දේව්දාස් ගේ පාරෝ ත් සිංහල ප්‍රශ්න පත්‍රයට පෙනී හිටියා... විභාගේ පටන් අරන් සතියක් උනත් පාරෝ ට මුලින්ම තිබුණ විෂය තමයි සිංහල විෂය... ඉතින් පාරෝ මුලින්ම විභාගයට ගියේ ඊයේ දවසෙයි... ඉතින් දේව්දාස් ට ඕනේ උනා පාරෝ ට සුභ පතන්න... ඒත් දේව්දාස් ගේ මොකක්දෝ අවාසනාවකට දෙව්දාස්ට එකට ඉඩක් තිබුනේ නෑ...

          මොකද දේව්දාස් පාරෝව නැති කරගෙන ඉවරයි... මම මේ ලිපිය ලියන්නේ දේව්දාස් ගේ විරහ කතාව ලියන්න නෙමෙයි... පාරෝව නැති වෙච්ච හැටි ලියන්නත් නෙමෙයි... මට පාරෝ ට සුභ පතන්න විදියක් නැති වෙන්න හේතු දෙකක් තිබුණා... එකක් පාරෝ එයාගේ phone number එක වෙනස් කරගෙන... අනිත් හේතුව තමයි මම ආයෙත් එයාගේ මතකයට ඇවිත් එයා විභාගේ upset කර ගනියිද කියල තිබ්බ බය...

         ඒත් මට සුභ පතන්නේ නැතුව ඉන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ... මම එයාගේ ගෙදර number එකට සුභ පතලා message එකක් දැම්මා... මම දන්නවා ඒක දැක්කම එයා upset වෙයි කියලා... ඒ වගේම මම ගැන මතක උනාම එයාට මං ගැන වෛරයක් ඇතිවෙයි... ඒත් මගේ හිත මට අවනත උනේ නෑ... දැන් මේ හැම දේම වෙලා ඉවරයි...

        දේව්දාස් බලාපොරොත්තු වෙන්නේ නෑ එයාගේ විරහ කතාව බ්ලොග් එකේ ලියන්න... නමුත් දේව්දාස් ට කවද හරි තමන්ගේ හිත නිදහස් කර ගන්න හිතුනොත් ඒ ගැන ලියයි... මොකද දේව්දාස් මේ ලිපිය ලියන්නෙත් හිතට දැනුන දුක අඩු කර ගන්න...

       හැබැයි මේ දේව්දාස් කවදාවත් පාරෝ නැති උනා කියල ගිනි වතුර කටේ තියලවත් චන්ද්‍රමුඛ් ලා හොයන් ගිහිල්ලත් නෑ... හැබැයි චන්ද්‍රමුඛ් කෙනෙක් නොවුනත් ඒ හා සමාන අද්දැකීම් නුත් දෙව්දාස්ට අත්විඳින්න ලැබිලා තියෙනවා... දෙව්දාස්ට හිතුනොත් ඒ ගැන ඉදිරියේදී ලිපියක් පල කරන්නම්...

       ඉතින් මේ දේව්දාස් ගේ කතාව කියවල කාට හරි කම්මැලි කමක් හිතුනා නම් දේව්දාස් ට සමාවෙන්න... මොකද කම්මැලි ලිපි බලන්න ඔයාල එන්නේ නෑ කියල දේව්දාස් දන්නවා... මේ දේව්දාස් ගේ කතාවයි...