Tuesday, August 13, 2019

ශිව 3

ශිව ලිංග කියන්නේ මොකක්ද කියල අපි කලින් ලිපියෙන් කතා කරා. මේ ලිපියෙන් විස්තර කරන්නේ හැමෝම වගේ විවේචනය කරන ශිව ලිංග කිරි වතුර තෙල් වැනි දියර වලින් නාවන්නේ ඇයි කියන කාරණය.
හින්දු කෝවිල් තුල ශිව ලිංගය උදෙසා පූජා පවත්වනුයේ ශිව සඳහා වූ ස්තෝත්‍ර ගයමිනි. ඒ අතරින් ශිව තාණ්ඩව ස්තෝත්‍රය බහුලව ගායන කරයි. ශිව තාණ්ඩව ස්තෝත්‍රය යනු බොහෝ හින්දු න් දිනපතා ගායනා කරනා ස්තෝත්‍ර යකි. හින්දුන් උදෑසනම දෙවියන් උදෙසා පහන් දල්වා ගයත්‍රී මන්ත්‍රය වැනි භජන් ගයමින් positive energy තම නිවස තුලට ඈඳා ගනී. ශිව තාණ්ඩව ස්තෝත්‍ර බොහෝ විට ගායනා කරන්නේ කෝවිල් තුල වුවත් නිවස් තුලද එය ගායනා කිරීම සුලබ දෙයකි. නමුත් හින්දුන් විශ්වාස කරන පරිදි ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගායන කරන විටදී අවට පරිසරයේ සියලු negative energy ඉන් ඉවත් ව තමන්ට ශිව ශක්තිය ලැබෙන බවයි. එසේ ඉවත් වන negative energy ශිව ලිංග තුලට ඈඳා ගන්නා බවට ඔවුන් විශ්වාස කරයි.
මෙහි විද්‍යාත්මක සත්‍යක්ද ඇත. එනම් කාබන් වලින් සැදී ඇති ග්‍රැනයිට් වැනි පාෂාණ විෂ උරාගන්නා බව විද්‍යාවෙන්ද ඔප්පු කර ඇත. (අඟුරු කාබන් වලින් සෑදී ඇති අතර ඊට විෂ උරාගනී. සිංහල අලුත් අවුරුද්දේ ලිඳ හා ගනුදෙනු කිරීමේදී අඟුරු කැබැල්ලක් ලිඳට දමන්නේ මේ හේතුවෙනි.) එබැවින් මෙම මතය බැහැර කල නොහැක.

එලෙසම ශිව ලිංග ජලය කිරි තෙල් වැනි දියර මගින් නහවන්නේද හේතුවක් මතය. පාෂාණයක් නිතර තෙතමනය රඳා ගනියි නම් එහි කල් පැවැත්මද වැඩි වේ. එබැවින් අතීතයේ සිට බැතිමතුන් ශිව ලිංග ජලයෙන් නැහැවීම පුරුද්දක් ලෙස සිදු කර ඇත. කිරි වලින් නැහැවීමෙන් බලාපොරොත්තු වී ඇත්තේ වැඩි කාලයක් තෙතමනය රඳා පැවැත්වීමයි. ජලයට වඩා කිරි වල ඝනත්වය වැඩි බැවින් එයද සත්‍යකි. කිරි වලට වඩා තෙල් වල ඝනත්වය අධික බැවින් එයද සිදු කර ඇති බව පෙනේ. නමුත් අද වන විට මෙහි අර්ථය නොදැන බැතිමතුන් අනවශ්‍ය ලෙස කිරි තෙල් වැනි දෑ සෑම විනාඩියේ ම භාවිතා කරමින් ශිව ලිංග නැහැවීම  අන්ධ භක්තියට කදිම උදාහරණයකි.

වරක් ජලයෙන් නැහැවූ විට හොරා දෙකක් යන තුරු නැවත නැහැවිය යුතු නැති බවද, කිරි වලින් නහවා දින දෙකක් යන තුරු ද, තෙල් වලින් නහවා සති දෙකක් යන තුරුද නැවත නැහැවිය යුතු නැති එකල මිනිසුන් අවබෝධයෙන් ක්‍රියා කලද අද වන විට එය හුදෙක් චාරිත්‍රයක් පමණක් වී ඇත.

එමෙන්ම පැරැන්නන් විසින් negative energy උරා ගැනීමෙන් ශිව ලිංග (පාෂාණය) අධික ලෙස රත් වන බවත් ඊට ප්‍රතික්‍රියාවක් ලෙස මෙලෙස දියර වලින් නැහැවීම සිදු කර බවත් පුරාන ග්‍රන්ථ වල සඳහන් වේ. එය තහවරු වනුයේ එලෙස නහවා ගලා යන දියර කිසි විටෙකත් ස්පර්ශ නොකරන ලෙස නියම කර තිබීමයි.

ශිව තාණ්ඩව ස්තෝත්‍රය ගැන මීළඟ ලිපියෙන් කතා කරමු.

ඒ වගේමයි ශිව දෙවියන් කියලා කෙනෙක් නැත්නම් ඒ ශක්තියක් විතරය් නම්  නිල් පාට නයෙක් කරේ ඔතාගෙන ත්‍රිශුලයක් අතේ තියන් ඉන්නේ කවුද කියලත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ශිව ශක්තිය විදියට මුලින් පහනක් භාවිතා කරලා, ඉන් පසුව පාෂාණයෙන් කරවූ පහනක ආකෘතියක් භාවිතා කරලා ශිව ශක්තියට ආදේශක ආකෘති දීමේ වර්තමාන ස්වරුපය තමයි නිල් පාට නයෙක් කරේ ඔතාගෙන ත්‍රිශුලයක් අතේ තියන් ඉන්න මනුස්ස රූපය. මනුස්සයෝ විදියට අතීතයේ ලංකාවේ පැරැන්නන් ගස් ගල් වලට වැඳලා තියෙනවා දෙවියන් කියල. මේක මිහිඳු හාමුදුරුවෝ නවත්තන්න උත්සහ නොකරේ මිනිස්සුන්ට වඳින්න යමක් අවශ්‍ය බව තේරුණු නිසා. මේ නිසා මිහිඳු හාමුදුරුවෝ හැම ගහකටම වැඳ වැඳ යන්නේ නැතුව බුදුහාමුදුරුවොන්ට බුදු වෙන්න සෙවන දීලා බුදු හාමුදුරුවොන්ගෙන් සතියක් පුරා කෘතඥ පූරක ගෞරවයට පාත්‍ර වුනු ඇසතු ගස් (බෝ ගස්) වලට වඳින්න කියල කිව්වා. මොකද බෝ ගහ ඊට සුදුසු නිසා බුදු හාමුදුරුවෝ එක්ක බැඳෙන නිසා. එදා ඉඳන් මිනිස්සු පොල් ගහටයි කෝස් ගහටයි වඳින එක නවත්තල බෝ ගහට වඳින්න පටන් ගත්ත. ගල් වලට වඳින්නේ නැතුව බුදු හමුදුරුවොන්ගේ ධාතු ඇතුලත් චෛත්‍යට වඳින්න කිව්වා. මිනිස්සු එහෙම වැන්දා. එත් මිනිස්සුන්ට බුදුහාමුදුරුවෝ කියන මිනිස් රූපේ ඕනේ වුනා. ඒ නිසා කළු ගල් එක්ක පොර බදලා කළු ගල් වලින් බුදුහාමුදුරුවොන්ගේ රූපේ නෙළුවා. මොකද මිනිස්සුන්ට හැමතිස්සෙම සංකේත නෙමෙයි ඕනේ මිනිස් රූපයක්.

එතනින් ශිව කියන දෙවියන් ගැන විස්තර කිරීම නැවැත්තුවත් ශිව ශක්තිය ගැන ඉදිරියේදීත් කතා කරමු

ශිව 2


ශිව ගැන අපි කලින් ලිපියෙන් කතා කරන අතරේ ශිව ලිංගයට වන්දනා මාන කරන්නේ ඇයි කියලා ගැටළුවක් මතු වෙලා තිබුන. අපි දෙවන ලිපියෙන් ඒ ගැන කතා කරමු.

ශිව කියන්නේ ශක්තියක් මිස දෙවියෙකු නොවන බව අප දැන් සාකච්ඡා කර අවසන්. එය පිළිගත්තද නැති වුවද සනාතන ධර්මය යනු සදාතනික සත්‍යයි / ක්‍රමයයි. මෙම ලිපි මාලාවේ ශිව යනු ශක්තියක් බව තව දුරටත් සාකච්චා කෙරෙනු ඇත.

කුමක්ද මේ ශිව ලිංගය.

ඔබ අප හැමෝම අසා ඇති පරිදි ශිව ලිංගය යනු කළු ගලින් නිම කෙරුණු පුරුෂ ලින්ගයකි. එකට හින්දුන් විසින් අහිංසක මිනිස්සුන්ට දිය හැකි කිරි වතුර තෙල් වැනි දියර වත්කරමින් පුද පූජා සිදු කරයි.

නැත. මෙය හුදෙක් අසත්‍යකි. මෙම අසත්‍ය කෙලෙස සමාජයේ මුල් බස ගත්තේ දැයි අප පසුව කතා කරමු.
ශිව ලිංග යනු ශිව ගේ ලින්ගේන්ද්‍රය නොවේ. මෙය වටහා ගැනීමට ඔබට සංස්කෘත සහ හින්දි භාෂාව ඉගැන්වීමට මාහට සිදු වනු ඇත. (ඇත්තෙන්ම මා හින්දි භාෂා ගුරුවරයෙකු බැවින් එය ඉතා පහසු කාර්යකි) එසේ නම් පාඩමට සුදානම් වෙමු.

සංස්කෘත භාෂාවට අනුව “ලිංග” යනු පුරුෂ ජනනේන්ද්‍රය නොවේ. ලිංග යනු ස්වරුපය යන්නයි. පුරුෂ ජනනේන්ද්‍රය ට සංස්කෘත භාෂාවේ යෙදෙන්නේ “ශිෂ්ණ” යන්නයි. (සිංහල භාෂාවේද ශිෂ්ණය යනුවෙන් දේ.) මෙය වටහා ගැනීමට හින්දි භාෂාවේ මෙන්ම සිංහල භාෂාවේද යෙදෙන නාම පදයන්හි “පුරුෂ ලිංග සහ ස්ත්‍රී ලිංග” ස්වරූප තේරුම් ගමු. මෙහි ස්ත්‍රී ලිංග යනු ශිෂ්නයක් සහිත ගැහැණිය නොවේ. සරල අර්ථය ස්ත්‍රී ස්වරුපය යන්නයි. පුරුෂ ලිංග යනු පුරුෂ ස්වරුපය යන්නයි. මෙය හින්දි භාෂාවේද මෙලෙසම යෙදේ. (තරමක් ගැඹුරින්) එබැවින් ලිංග යනු ශිෂ්ණය නොව ස්වරුපය බව ඔබට වැටහෙනවා ඇති.

ශිව ලිංග යනු “ශිව ගේ ස්වරුපය” යන්නයි. ශිව යනු සිරුරක් සහිත දෙවියෙකු නොවූ බැවින් ශිව ශක්තිය ලබා ගැනීමට ආදී ඍෂිවරුන්ට ශිව වන්දනාව සිදු කිරීමට ක්‍රමයක් අවැසි විය. මූලික ධර්මතාවක් වූ ශිව ශක්තිය (අඳුරු ශක්තිය) පුරාන ඍෂිවරුන් විසින් තමන්ගේ අධ්‍යාත්මය වැඩීමට භාවිතා කර ඇත. (අඳුරු ශක්තිය අධ්‍යාත්මය වැදීමට භාවිතා කරන්නේ කෙසේද යන්න ශිව පිලිබඳ මීට පෙර ලිපියේ සඳහන්ව ඇත.)

ශිව යනු ශක්තියක් පමණක් බැවින් මේ සඳහා ඔවුන් දැල්වූ පහනක් භාවිතා කර ඇත. (ශිව ශක්තිය පහනේ දල්ලට ආදේශ කරමින්) එම දැල්වූ පහනේ දැල්ල දෙස අවධානය යොමු කර තමන්ගේ මනස එක් තැන් කරගනිමින් අධ්‍යාත්මය වැදීමට උත්සහ කරද එය අසාර්ථක වී ඇත. ඒ දැල්වෙන පහනේ දැල්ල සුළං වැනි බාහිර සාධක හේතුවෙන් සෙලවීම නිසා එක තැනක නොරැඳෙන දැල්ල දෙස බලා සිත එක් තැන කරගැනීමට අපොහොසත් වීමයි. මෙයට විසඳුමක් ලෙස ඍෂිවරුන් විසින් පාෂාණයෙන් පහන සහ දැල්වෙන පහන් දැල්ල කරවා ඒ දෙස බලා සිත යූමු කරවා තම අධ්‍යාත්මය වඩා ඇත. එය ශිව ලිංග වේ. එනම් ශිවගේ ස්වරූපයයි.
මෙය පසු කාලීනව වෙනස් කම් වලට භාජනය වී ඇති බව ශිව පුරාණය වැනි පුරාන ග්‍රන්ථ තුලින් පෙන්වා දෙයි. එනම් පසු කලෙක බෞද්ධ ස්තුප අභාෂය ශිව ලිංග තුලටද නිර්මාණ කරුවන් විසින් ආරෝපණය කර ඇති බව පැවසේ. (ස්තුපයද බුදුන් යැයි සිතා වන්දනා මාන කරන තවත් එක ආකෘතියකි) කෙසේ වෙතත් අද වන විට ශිව ලිංගය පිළිබඳව විවිද අර්ථ කථන ලබා වෙමින් පවතී. රාවණා ද දැඩි ශිව භක්තිකයෙක් බැවින් ඔහු හා බැඳුනු ශිව ලිංග සම්බන්ධ කතාන්දර කිහිපයක් ඇත. (එය පසුව කතා කරමු)

ශිව ලිංගය ශිවගේ ස්වරුපය නොව එය ශිවගේ ජනනේද්‍රය ලෙස සැලකීම සමාජගත වුයේ කෙසේද?
මෙය වර්තමාන හින්දු ජනයා අතරද පවතින වැරදි අවබෝධයකි. එනම් ශිව ලිංගය ශිවගේ ජනනේන්ද්‍රය සංකේතවත් කරන අතර එය වැඳුම් පිදුම් කිරීමෙන් දරු පල ලැබෙන බවත් විවාහ නොවූ කාන්තාවන් ශිව ලිංගය වැඳීම සිදු නොකළ යුතු බවත් හින්දුන් අතරද දැඩිව මුල් බස ඇත. මෙයට හේතුව බ්‍රිතාන්‍යන් විසින් භාරතය යටත් කරගැනීමෙන් පසුව දැඩි ලෙස හින්දු ධර්මය පිළිබඳව ඉගෙන ගැනීමට උනන්දු විය. ඔවුන් භාරතයේ මෙන්ම ලක්දිවද බොහෝ දැනුම (පුරාන ග්‍රන්ථ සහ පුස්කොල පොත් තම රටට රැගෙන ගිය බව ප්‍රසිද්ධ රහසකි.) තිබු මෙම වටිනා දැනුම ලබා ගෙන ඒවා මුල් සමාජයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලදී.
එබැවින් ඔවුන් ශිව ලිංගය වැඳීම ශිව ජනනේන්ද්‍රය වන්දනා කිරීමක් බවට පවසා එම ක්‍රියාව අවඥාවට ලක් කරන ලදී. මින් හින්දු ජනයා තුල ශිව ලිංග යනු කුමක්ද ශිව දෙවියන්ගේ ජනනේද්‍රය බවට මනස තුල අදහස ස්ථාපනය කරන ලදී. අදද භාරතය තුල ඉස්ලාම් ආගමිකයින් හින්දු ආගමිකයින් අවඥාවට ලක් කිරීමට ශිෂ්නයකට වඳින පිරිසක් යන හැඳින්වීම කරයි.

ලිපිය ඉතා දීර්ඝ බැවින් ශිව ලිංග වතුරෙන් කිරි සහ තෙල් වැනි දියරයන්ගෙන් නාවන්නේ ඇයිද යන්න වෙනත් ලිපියකින් කතා කරමු.

ශිව


අපි කලින් කතා කරානේ කවුද මේ ත්‍රිමුර්ති කියන්නේ ඇත්තටම දෙවියන්ද නැත්නම් ධර්මතාවන් ද කියලා. ඒත් පොඩි ගැටළුවක් එනවා ඇයි මේ දෙවියන් විදියට එහෙනම් අවුරුදු දහස් ගානක් තිස්සේ මිනිස්සු මේ විදියට වන්දනාමාන කරන්නේ කියලා.
ඒ ගැටලුව අපි විසඳ ගමු.

භාරතය තුල කොපමණ දෙවියන් සිටියත් ඒ සියල්ලටම වඩා වන්දනාමානයට පත් වෙන්නේ ශිව යි. මුළු භාරතයේම ශිව ලිංග හෝ කෝවිල් සොයා ගත නොහැකි පෙදෙසක් නැති තරම්. අතීතයේ ලංකාවෙත් විවිද බෞද්ධ රජවරු පවා ශිව භක්තිකයන් ව සිටිය බවට පුරා විද්‍යා සහ මහා වංශයෙන් සාක්ෂි තියෙනවා. අපි මේ තරම් ආඩම්බරයෙන් කතා කරන රාවණා මේ මුළු විශ්වයේම සිටි හොඳම ශිව භක්තිකයා. එතකොට දෙවියන් නෙමෙයි නම් ඇයි මේ හැමෝම වඳින්නේ?

මුලින් බලමු ශිව කියන්නේ මූලික ධර්මතා 3න් මොන ධර්මතාවයද කියල. උත්තරය තියෙන්නේ එතනයි.

ශිව කියන්නේ විනාශය කියන ධර්මතාවයයි.

විශ්වයේ තියෙන ප්‍රභලම ශක්තිය ඇත්තේ විනාශ කිරීමේ ධර්ම තාවයටයි.  ශිව බලසම්පන්නම දෙවියන් ලෙස හඳුන්වන්නේ ඒ නිසයි. නමුත් සත්‍ය කතාව එය ශක්තියක් පමණයි. එම ශක්තිය කෙනෙක්ට උකහාගෙන තමන්ගේ අරමුණ වෙනුවෙන් පාවිච්චි කරන්න හැකියාව තියෙනවා.
සරලව තේරුම් ගනිමු මෙහෙම.

ලංකාවේ කී දෙනෙක් නම් සූනියම් දෙවියන්ට පහන තියල ප්‍රතිලාභ බලාපොරොත්තු වෙනවද? සූනියම් දෙවියන් කියන්නේ විනාශය කියන පැත්තේ ඉන්න දෙවි කෙනෙක්. ඔහු එක්ක වැඩ කරද්දී හරි පරිස්සම් වෙන්න ඕනේ, හැමදාම පහන තියල එක දවසක් හරි පහන තියන්න බැරි වුනොත් ගොඩක් නරක දේවල් වෙනවා කියල මිනිස්සු විශ්වාස කරනවා, එත් සූනියම් දෙවියන්ටම පහන තියනවා. ඇයි?

මොකද විනාශට තමයි වැඩිම ශක්තියක් තියෙන්නේ. එක උකහාගන්න ලේසියි වගේම පාවිච්චි කරන්නත් ලේසියි.

මෙහෙම හිතමු.  මේ දවස් වල මේ තියෙන ත්‍රස්තවාදී ප්‍රශ්න එක්ක සමහර දේශපාලුවෝ කරන ප්‍රකාශ සහ ඔවුන්ගේ හැසිරීම් එක්ක මිනිස්සුන්ට කොච්චර තරහ ආවත් මිනිස්සු තාමත් ඉවසල ඉන්නවා නීතිය සහ ආරක්ෂක අංශ ගැන විශ්වාස කරලා. හැබැයි එක කොච්චර අමාරු වැඩක්ද කියල මම අමුතුවෙන් කියන්න ඕනේ නෑ මේ කාටවත්.

ඒත් කොච්චර ලේසිද අතේ තුවක්කුවක් තිබ්බ නම් ඔය මිනිස්සු සේරටම එක පාර තියල දාන්න? කී දෙනෙක්ට නම් එහෙම හිතිලා ඇත්ද දැනටමත්. බලන්න විනාශය ට යන්න කොච්චර ලේසිද. ඒත් හොඳ පැත්තට යන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ වගේ තමයි හොඳින් ජීවත් වෙන මිනිස්සු අපා දුක් විඳින අතරේ හැම ජරා වැඩේම කරන හොරකම් කරන මිනි මරණ මිනිස්සු සැප ජීවිත ගත කරනවා. අපිත් හිතනවා අපි මෙච්චර හොඳට ඉඳලත් හැමදාම දුක අරුන් හැම ජරා වැඩේම කරලා කොච්චර සැපට ඉන්නවද කියලා. එහෙම තමයි. නරක සහ විනාශය කියන දේ බලවත්. හැබැයි ඒ කෙටි කාලෙකට විතරයි. කරනකන් සැපයි, කරලා ඉවර වෙලා ගෙවන්න වෙද්දී  තේරෙයි.

එතකොට ශිව ට රාවණා ගේ ඉඳන් මිනිස්සු වඳින්නේ ඇයි?

එක තේරුම් කරන්න මම “මාවල් කොමික් - ඩොක්ටර් ස්ට්‍ර්න්ජ්” චිත්‍රපටියෙන් උදාහරණයක් ගන්නම් සරලව තේරුම් ගන්න පුළුවන් වෙන්න.

ඒන්ශන් වන් (තට්ටේ තියෙන ගෑනු කෙනා) ඩාර්ක් ඩයිමෙන්ෂන් (අඳුරු මානයෙන්) ශක්තිය අරගෙන තමයි අවුරුදු දහස් ගානක් වයසට නොගිහින් ලොකු බලයක් එක්ක ලෝකේ වෙනුවෙන් සටන් කරන්නේ. එයා එක නරක විදියට පාවිච්චි කරන්නේ නෑ. එත් ගන්නේ අඳුරු මානයේ විනාශ කිරීමේ ශක්තිය.

කෛසෙලියස් (ඇස් යට කළු වෙලා තියෙන කෙනා :D ) ශක්තිය ගන්නෙත් අඳුරු මානයෙන් මයි. එත් එයා අඳුරු මායාවෙන් මුලා වෙලා ඒ ශක්තිය පාවිච්චි කරන්නේ නරකට. එයා එන්ෂන්ට් වන් ටත් වඩා බලවත් වෙනවා අවසානයේ.

ශිව ගෙන් ගන්න ශක්තිය කියන්නෙත් එහෙම විනාශ කිරීමේ ප්‍රභල ශක්තියම තමයි. එත් එක පාවිච්චි කිරීම අදාළ කෙනා සතුයි. ගොඩක් අය ඒ ශක්තියෙන් මුලා වෙලා නිකන් අමාරුවේ වැටෙනවා. (රාවණාත් ඊට උදාහරණයක්) ඒ ගැන පස්සේ කතා කරමු.

ශිව තාණ්ඩව ස්තෝත්‍රය කියන්නේ ගොඩක් ප්‍රතිපල තියෙන ස්තෝත්‍රයක්. එකෙන් විශ්වයේ ඇති ශක්තිය (විනාශ කිරීමේ ප්‍රභල ශක්තිය) අපි වෙත ඇදෙනවා. තමන්ගේ සීමාව දැනගෙන පාවිච්චි කරොත් ඉන් ප්‍රයෝජන ගන්න වගේම ඉන් මුසපත් වෙලා මුල වුනොත් තමන්ගේම විනාශය ලඟා කරගන්නත් පුළුවන්.

ඉතින් ශිව වන්දනා කරලා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ශක්තිය තමන්ට ලැබිල තමන්ගේ ජීවිත සුඛිත මුදිත වෙයි කියන දේයි. එහෙම නොවෙනවා නෙමෙයි. ඒත් එය එක්තරා සූදුවක් වගේ. පොඩ්ඩ වැරදුනොත් සියල්ල විනාසයි.

අපේ හින්දු ධර්මය ගැන ලිපි පෙලේ කිව්වා මතක ඇති හින්දු ධර්මය මෙලොව ලෞකික බව වර්ධනය කරන සහ දෙවිවරු තරම් ප්‍රභල වීම වගේම අමරණීය බව බලාපොත්තු වෙන සනාතන ධර්මයේ පුතා බව. ඒ ගැන මේ ලිපියෙන් යම් අදහසක් ලැබෙන්න ඇති කියල හිතනවා.

හින්දු ධර්මය 7

හින්දු ධර්මයට අනුව අප දැන් සිටින්නේ කලියුගයේ.

හින්දු ධර්මයට අනුව අප දැනටමත් බ්‍රහ්ම වර්ෂ 50ක් ගත කර දැන් මේ සිටින්නේ 51 වන බ්‍රහ්ම වර්ෂයේ 1 වන දිනයේය. මෙම බ්‍රහ්ම දිනය / කල්පය හැඳින්වෙන්නේ ශ්වෙතවරහ කල්පය නමිනුයි.

මෙම කල්පය තුලද මන්වන්තර 6ක් ගෙවී ගොස් ඇත. මන්වන්තරයක් යනු මහා යුග 71 කි. එනම් මිනිස් වර්ෂ 306,720,000 කි. (මහා යුගයක් යනු සත්‍ය, ත්රේත, ද්වාපර් සහ කලි යුග යන යුග 4ම ගත වී අවසන් වීමට යන කාලයයි.) සෑම මන්වන්තරයකටම පසුව සන්ධි කාල නමැති නිශ්චල කාලයක් පවතී. එය සත්‍ය යුගය තරම් දිගු කලක් පවතී. එනම් මිනිස් වර්ෂ 1,728,000 කි.

එබැවින් අප දැන් සිටින්නේ 7 වන මන්වන්තරයේ ය. එය වෛවස්වත මන්වන්තරය ලෙස හඳුන්වයි. මෙම වෛවස්වත මන්වන්තරය තුල මහා යුග 27ක් දැනට ගත වී ඇති අතර අප මේ ගත කරන 28 වන මන්වන්තරයේද සත්‍ය, ත්රේත සහ ද්වාපර් යුග ගත වී අවසාන වී ඇත. එබැවින් අප දැන් සිටින්නේ 28 වන මන්වන්තරයේ කලි යුගයේය. එම කලි යුගය ක්‍රි. පු. 3102 දී ඇරඹී අතර දැනටමත් බ්‍රහ්ම වර්ෂ 50ක් ගත වී ඇති බැවින් අප දැන් සිටින්නේ දෙවන පරාර්ධ යෙයි.

එබැවින් තවත් බ්‍රහ්ම වර්ෂ 50 කින් අප පෘථිවිය විනාශ වී සන්ධි කාලයකට පසු නැවතත් සත්‍ය යුගයක් ඇරඹී නැවත කාලය මෙලෙස ගත වෙනු ඇත.

හින්දු ධර්මයට අනුව මෙම යුග 4 නැවත නැවත එළඹෙමින් නැවත නැවත සිදු වෙමින් චක්‍රයක් ලෙස පවතී. එබැවින් හොඳම යුගය සත්‍ය යුගය ලෙසත් එය කෙමෙන් කෙමෙන් කලි යුගය වන විට පිරිහෙමින් පැමිණෙන බවත් සදහන් වේ.

හින්දු ධර්මය පිළිබඳව ලිපි මාලාව මින් අවසන් කිරීමට තීරණය කරනු ලැබුණු අතර අවසානයේ ඔබගෙන් මා ප්‍රශ්නයක් අසන්නම්.

මෙම දීර්ඝ ලිපි මාලාවේ සියල්ල ඔබ කියවා ඇත්නම් මෙම ප්‍රශ්නයට පිළිතුර ඔබ තුල ඇතැයි විශවාස කරමි.
රාවණා රජු, බ්ර්හ්මාස්ත්‍ර, න්‍යෂ්ටික යුද්ධ, මහා බලගතු ආයුධ, මේවා සියල්ල කලියුගයේ සිටින අපට හිතළු වුවාට අපට පෙර යුග වල සහ අපට පෙර කලි යුගයේද සිටි අපගේ මුතුන් මිත්තන් අපට වඩා බෙහෙවින් අධ්‍යාත්මික මෙන්ම බලගතු යුෂ වැඩි මිනිසුන් බව වේද ග්‍රන්ථ තුලින් හින්දු ධර්මයේ පැහැදිලිව සඳහන් ව ඇත.

එසේ නම් අප තරම් දියුණු පිරිසක් නැති උදම් අනන්නේ අප මේ මිත්‍යා ලෙස අවඥාවට ලක් කරන්නේ අපගේම ඉතිහාසය නොවේද

හින්දු ධර්මය 6


හින්දු ධර්මයේ බ්‍රහ්ම දිනයක ඇති යුග 4.

සත්‍ය යුගය චරණ 4කි  (මිනිස් වර්ෂ 1,728,000)
ත්රේත යුගය චරණ 3කි (මිනිස් වර්ෂ 1,296,000)
ද්වාපර් යුගය චරණ 2කි (මිනිස් වර්ෂ 864,000)
කලි යුගය චරණ 1කි (මිනිස් වර්ෂ 432,000)

1.සත්‍ය යුගය

මෙය ස්වර්ණමය යුගය වේ. පළමු සහ හොඳම යුගයයි. මෙම යුගය සත්‍ය සහ පරිපුර්ණත්වය සපිටි යුගයයි. දැවැන්තයින් වන මිනිසුන් සිටි. අගුණ කිසිවක් නොමැති කරුණාව මෛත්‍රිය ගුණ පිරුණු මිනිසුන් 100% ආධ්‍යාත්මික යුගයයි.

2. ත්රේත යුගය

මෙම යුගය වන විට අධිරාජ්‍යයන් නැගී සිටීම ඇරඹේ. යුද්ධය ඇරඹේ. මෙත් සමගම දේශගුනයද වෙනස් වීමට පටන් ගෙන කාන්තාර හා මුහුදු බෙදී වෙන් වෙයි. කෘෂිකර්මාන්තය, පතල් කර්මාන්ත, වැනි කර්මාන්ත ඇරඹේ. මෙහි අගුණ 25% වන අතර තවමත් ගුණ 75% පවතී. ආධ්‍යාත්මය 75% කි.

3. ද්වාපර් යුගය

මෙම යුගයේදී මිනිසුන් ශාරීරිකව දුර්වල වීම ඇරඹේ. මුතුන් මිත්තන් මෙන් ශක්තිමත් නොවූ ඔවුන් නිතරම අනිකා හා සටන් කිරීම රුචි කරයි. මොවුන්ගේ ආයු කාලය ශත වර්ෂ කිහිපයකට සීමා වෙයි. මෙහි අගුණ 50% හා ගුණ 50% වේ. ආධ්‍යාත්මය 50% කි.

4. කලි යුගය

මෙය අවසාන යුගයි. අඳුර සහ පවින් පිරුණු යුගයයි. මිනිසුන් පවෙහි ඇලෙමින් ආශාවන්හි ඇලෙමින් ගිලෙමින් සිටින යුගයයි. පෙර මුතුන් මිත්තන් මෙන් කිසිදු ශාරීරික හෝ මානසික ශක්තියක් නොමැත. ආධ්‍යාත්මික මිනිසුන් අල්ප ගණනක් පමණක් සිටින අතර මිනිසුන් මුසාවෙහි අග පැමිණෙයි. පෙර පවතී දැනුම විනාශ වී යන අතර ආහාර පාන ජලය වාතය යන සියල්ල විෂ සහිත වේ. මෙම යුගයේ මිනිසුන්ගේ ආයු කාලය වසර 20 දක්වා අඩු වේ. මෙහි අගුණ 75% හා ගුණ 25% වේ

හින්දු ධර්මයට අනුව අප දැන් මේ ගත කරන්නේ කලි යුගයේ ය. ඒ පිළිබඳව මීළඟ ලිපියෙන් හමුවෙමු.