Monday, August 29, 2011

දේව්දාස් සහ චන්ද්‍රමුඛී

            දේව්දාස් කාලෙකින් පොස්ට් එකක් දැම්මේ නෑ... වෙන මුකුත් නිසා නෙමෙයි... මේ දවස් වල දේව්දාස් ගේ හිතට ආවේ පාරෝ ගැන මතකයන් විතරයි... දේව්දාස් කැමති නෑ ඒ මතකයන් පොස්ට් වල ලියන්න... වෙනමුකුත් නිසා නෙමෙයි... දැන් ලියන්න පටන් ගත්තොත් දවස් ගානක් උනත් ලියල ඉවර වෙන්නේ නැති නිසයි...

            ඒත්... මේ මහ රෑ බ්ලොග් කියෙව්ව දේව්දාස් ට මේ පොස්ට් එක ලියන්නම හිතුණා... ඒ සමහර පොස්ට් දැක්කම හිතට එන හැගීම් පාලනය කර ගන්න බැරි වුණු නිසයි... මාතෘකාව දැක්කම කතාව මොන වගේද කියලා හිතා ගන්න පුළුවන් වෙයි... ඒත්...

     මෙන්න කතාව...

            පාරෝ ගේ හොඳම යාලුවෙක් හිටියා... නම *****... දේව්දාස් පාරෝ ගැන උනන්දු වුණේ දේව්දාස් - පාර්වතී  කියන හොඳ යාළුවොන්ගේ යාළුකම ඇති වෙලා ගොඩක් කාලෙකට පස්සෙයි... මේ යාළුකමට එකතු වෙන්න ***** ආසාවෙන් හිටියා... ඒත් පාරෝ ඒකට කැමති වුණේ නෑ... දේව් - පාරෝ කොච්චර හොඳ යාළුවො වුණත්, දේව් ට වෙනම යාළුවො පිරිසකුත්, පාරෝ ට වෙනම යාළුවො පිරිසකුත් හිටියා... පාරෝ ගේ යාළුවෝ අතරින් ලඟින්ම හිටිය යාළුවා තමයි *****...

            කතාව පටන් ගන්නේ දේව් - පාරෝ යාළුකම, දේව් - පාරෝ - ***** යාළුකම විදියට වෙනස් වුණු දා ඉඳං... දේව් ට පාරෝ එක්ක විතරක් කතා කරන්න බෑ... මොකද දේව් ට තමන් පාරෝ ගැන උනන්දු වෙන බව අඟවන්න ඕනේ නෑ... ඉතින් දේව් ට සිද්ධ වෙනවා ***** එක්ක කතා කරන්න... ඒත් හැම දේම වෙනස් වුණේ, ***** ගේ ගෙවල් දේව් ලගේ ගෙවල් පැත්තේ තියෙනවා කියල දැනගත්ත දවසේ ඉඳං... මේ වෙනකන් දේව් ගියේ වෙනම, ***** ගියේ වෙනම... ඒත් ගෙවල් එක පැත්තේ කියල දැන ගත්තු දවසේ ඉඳං දේව් සහ ***** පන්ති ගිහින් ගෙදර යන්නේ එක බස් එකේ... එක දවසක්...

           එක දවසක්... ***** වාඩි වෙලා ගිය තැන ඉඩ තිබුණු නිසා දේව් එතනින් වාඩි වුණා... ඒ දේව් ජීවිතේ පළවෙනි වතාවට ගෑණු ළමයෙක් ලඟින් වාඩි වෙල ගිය දවස... එදා හිතට දැනුනු වෙනස් හැගීම, දේව් ට දිගින් දිගටම ඒ දේ කරන්න කියල බල කළා... ඒත්... ***** වෙනස් වුණා... දේව් ට ලං වෙන්න උත්සහ කළා... දේව් ට ඒ බව නොතේරුණා නොවෙයි... ඒත් දේව් නොතේරුණා වගේ හිටියා... ඒත් ඒ අතරේ දේව්දාස් - පාර්වතී  ආදර කතාව ලියවුණා...

           ඒ ආදර කතාව ලිව්ව එක් කතුවරයෙක් තමයි ***** කියන්නේ... ඒත් එහෙම දේව් - පාරෝ ආදර කතාව ලියන අතරතුරෙත් දේව් ට ලංවෙන්න උත්සහ කළා... දේව් නොදැනීම ඒ ලංවීමට උනන්දුවෙනුයි හිටියේ... ඒත් දේව් කවරදාකවත් ඇයට ලංවෙන්න උත්සහ කලේ නෑ...

           මේ ලියන මොහොත වෙන විට දේව් ට පාරෝ අහිමි වෙල ඉවරයි... දේව් තමන්ගේ ආදරේ වෙනුවෙන් ***** නැති කරගෙනත් ඉවරයි... දේව් ට සියලු දේ නැති වී හමාරයි... නමුත් එක් කාලයකදී, දේව් ට සමීපතම මිතුරා ලෙස සිටියේ ***** යි... දේව් උදවු බලාපොරොත්තුවෙන් ගියේ ***** වෙතටයි... කිසිදු අපේක්ෂාවකින් තොරව දේව් ට උදවු කලෙත්  ***** මයි...

          දේව්දාස් දන්නවා... මේ ලියපු, කියපු කිසිම දෙයක් ඔබට වැටහෙන්නේ නැති බව... හිතන්න... මේ කියූ කාරණා අනුව ***** යන්නට දිය හැකි හොඳම වචනය චන්ද්‍රමුඛී යන්න නොවෙයිද? දැන් ඔබ චන්ද්‍රමුඛී යන නාමය යොදමින් නැවත කියෙව්වොත් ඔබට යම් වැටහීමක් ගත හැකි වෙයි... නමුත් ඔබ එය නොකරන බව දේව්දාස්  මනාව දනියි... කතාවක් පටන් ගත්තානම් අතරමග නැවැත්වීමේ පුරුද්දක් දේව්දාස් ට නොමැති බැවින්, ඔබට තේරෙන ලෙස නැවත මෙය ලිවීමට අදහස් කරමි...

             දැන් ඔබ සිතනවා ඇති දේව්දාස් මේ සමාජයේ සිටින තවත් එක් පිරිමියෙකු පමණක් බව... ඔබට සිතෙන දේ ලියන්න... දේව්දාස් තවමත් ඔහු කලේ වැරද්දක් දැයි දන්නේ නැත... හේතුව... දේව් ගේ හදවතේ සිටියේද, සිටින්නේද, සිටිය හැකි වන්නේද පාර්වතී යට පමණක් බැවිනි...

             ඔබට සිතෙන දේ ලියන්න... මේ දේව්දාස් හා චන්ද්‍රමුඛී ගැනයි...

දේව්දාස්...

24 comments:

  1. පාරෝ , චන්ද්‍රමුඛී මේවා නිකන් හින කියලා අපි සැහැල්ලුවෙන් ඉමු දේව තියන හකුර රැක ගන්න ගිය හකුරට අඩලා වැඩක් නැ අපි සතුටින් ජිවත් වෙමු මේ ජීවිතය අපි විදිමු විදවන්නේ නැතුව ........

    ReplyDelete
  2. මමනම් මුල ඉඳලම කියෙව්වෙ චන්ද්‍රමුඛී කියලා තරු ලකුණු වලට ආදේශයක් කරමිනුයි...චන්ද්‍රමුඛී දේව් ට ආදරේ කලා නම් දේව්-පාරෝ ආදරේට උදව් කරන මොහොතක් මොහොතක් පාසා මැරි මැරි උපදින්නැති....පව්.. :(
    හොඳම යාලුකමකුයි ආදරෙයි අතර තියෙන්නෙ හීං කෙස්ගහක් වගේ මායිමක්...ගොඩ වෙලාවට අපි ඒ කඩයිම පැනලා බව තේරුම් ගන්නෙත් ඒක වෙලා ගොඩක් කල් ගියාමයි....හ්ම්ම්...මංචිට වුණේත් ඒකමනෙ...

    ReplyDelete
  3. ආදරේ කියන්නේ අපි තවත් කෙනෙකුට තවත් කෙනෙක් අපිට කරන පරිත්‍යාගයක්. එත් ඒක කොහොම දෙයක්ද කියලා හරියටම තේරුම් ගත්ත කෙනෙක් මේ ලෝකේ ඉන්නවද කියලා දන්නේ නැ......
    පාර්වතී . චන්ද්‍රමුබි , දේවදාස් .............
    මොනවා ලියන්නද කියලා මට නම් තේරෙන්නෙත් නැ

    ReplyDelete
  4. ඒ කියන්නේ පාරෝ ගියේ චන්ද්‍රමුඛි නිසාද?

    ReplyDelete
  5. මට තේරෙන්නෙ නෑ... ඇත්ත. මංචි ගෙ කතවට මාට් එකගයි.. චන්ද්‍රමුඛී දේව්ටයි පාරෝටයි උදව් කරන වාරයක් පාසා හිතින් මැරි මැරි උපදින්න ඇති...
    දෙයියනේ.... මට තේරෙන්නෙ නෑ.... මොනා කියන්නද කියලා...:( ඒත් එක දෙයක්.. චන්ද්‍රමුඛී කලේ ලොකු පරිත්‍යාගයක්..

    ReplyDelete
  6. ඔය වගේ දේව්දාස් කෙනෙක්ව මාත් දන්නවා...

    ReplyDelete
  7. වෙලාව ලඟයි - හීන කියල හිත හදා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි... ඒත් කරන්න බැරි දෙයත් ඒකමයි... හැබැයි දේව්දාස් කවදාවත් විඳවන්නේ නෑ...

    දේව්දාස්...

    ReplyDelete
  8. මකුළු පැංචි - මකුළු පැංචි ට දේව්දාස් ගේ මේ කතාව හොඳින් වැටහෙනවා ඇති කියලා දේව් විශ්වාස කරනවා... ඔව්... වින්දෙව්වා. තාමත් විඳවනවා... චන්ද්‍රමුඛී විතරක් නෙමෙයි, දේව්දාස් නුත්...

    දේව්දාස්...

    ReplyDelete
  9. අම්බලම - ආදරේට කියන තවත් ටිකක් හෝ සමාන වචනයක් ලෙස "පරිත්‍යාගය" වචනය කියන්න පුළුවන් කියලා දේව්දාස් නුත් විශ්වාස කරනවා... ඔබ කිව්වා වගේ ආදරේ හරියටම තේරුම ගත්තු කෙනෙක් මේ ලෝකේ නැතුව ඇති...

    දේව්දාස්...

    ReplyDelete
  10. රහස් පරීක්ෂකයා - නෑ නෑ... පාරෝ ගියේ චන්ද්‍රමුඛී නිසා නෙමෙයි... අනික පාරෝ ගියෙත් නෑ... දේව්දාස් පාරෝ ව යැව්වා...

    දේව්දාස්...

    ReplyDelete
  11. හිතුවක්කාරී - චන්ද්‍රමුඛී වගේම දේව්දාස් නුත් වින්දෙව්වා... ඒ වගේම තාමත් විඳවනවා... අදහස් ප්‍රකාශ කලාට බොහෝම ස්තුතියි...

    දේව්දාස්...

    ReplyDelete
  12. සීතල අයියා - එහෙනම් මේ කතාව තේරුම ගන්න අපහසුවක් වෙන එකක් නැතුව ඇති කියල දේව්දාස් විශ්වාස කරනවා...

    දේව්දාස්...

    ReplyDelete
  13. ආදරය යනු සියුම් සංවේදී දෙයක් නිසා එහිදී කටයුතු කලයුත්තේ ඉතා පරිස්සමෙනි ...................

    ReplyDelete
  14. The Lion - ඒ බවට තර්කයක් නෑ... ඒත් ඒ බව තේරෙන්නේ මකුළු පැංචි කිව්වා වගේ සීමා පැන්න ට පස්සෙයි...

    දේව්දාස්...

    ReplyDelete
  15. අනේ මන්ද.අය්යට තිබුනෙ ඔයා දෙන්න යාලු උනාට පස්සෙ ටිකෙන් ටික අරයව මගාරින්න.ඔයා දෙන්න වෙන් උනේ යාලුවා නිසා නම්. අනික අර ගර්ල් අය්යට සිතින් විතරක් පෙම් කර කර ඔය දෙන්නට යාලුවෙන්න උදව් කරනවා.එයාට කොච්චර නම් දුක හිතෙන්නෑද්ද.සමහර කොල්ලො ඉන්නවා තමන් අවුරුදු ගානක් යලුවෙලා හිටපු කෙල්ලටම කියනවා ඒයාගෙ යාලුවෙක්ව යාලුකරල දෙන්න කියලා.

    ReplyDelete
  16. හිම හංසි - දේව්දාස්, පාරෝ වෙන් වෙන්න හේතුව වුණේ චන්ද්‍රමුඛී නෙමෙයි... පිළිගන්නවා දේව්දාස් වරදක් කළා කියලා... ඒත් දේව්දාස් කවදාවත් ඔයා අන්තිමට කිව්ව වගේ කෙනෙක් නෙමෙයි...

    දේව්දාස්...

    ReplyDelete
  17. පෝස්ට් දෙක තුනයි තාම කියවන්න ලැබුනෙ. කියවත්දි නම් ඔක්කොම කියවන්න ආස හිතුන නිසා තාමත් බලනවා. දේව්දාස් කියන්නෙ මම ගොඩක් සංවේදී කරපු චරිතයක්. මගේ සැබෑ ජීවිතේදි පවා ඒ චරිතයට සමාන චරිතයක් මම දකිනවා. ඔයාගෙ බ්ලොග් එකේ නමයි. පාරෝ, චන්ද්‍රමුකී වගේ නම් දකිත්දි බ්ලොග් 1 කියවන්න කොහොමත් ආසාවක් අති උනා. කමෙන්ට් එක දිගේ ඇවිත් ඔන්න යන එන අයටත් එකතු උනා මමත්. :)

    ReplyDelete
  18. හ්ම්ම්.. චන්ද්‍රමුඛී වුනත් පව්,.. තමන් ආදරේ කරන කෙනෙක් වෙන කෙනෙක්ට ආදරේ බව දැන දැනට එයාටම තවත් ආදරේ කරන්න නම් ඒ හිත ඇතුලේ ලොකූ ආදරයක් තියෙන්න ඕනේ,.. ඒත් දැන් ඒවා හිතලා වැඩක් නෑ දේව,. ගිය දේ ගියා. මතකය විතරක් ආරක්ශා කරලා තියාගන්න ඒ දෙන්නම ගැන

    ReplyDelete
  19. ම්ම කියන්නෙ නෑ අය්යෙ ඔයා ඒ වගේ කෙනෙක් කියලා.ඒත් ඒ වගේ කියන අයත් ඉන්නවා.මම සියෑසින් දෑකලා අහලත් තියෙනවා.දෑන් ඉතින් උන දේ උනා.සමහරවිට එයා ආපහු ඒවි.සමහරවිට කවදාවත් නොඒවි.කෝක උනත් ඔයා ජිවිතේ ජයගන්න.

    ReplyDelete
  20. හංසි - ඔය වචන ටිකම දේව්දාස් ට ලොකු ශක්තියක්... බොහෝම ස්තුතියි දේව්දාස් වචනයකින් හෝ ශක්තිමත් කරනවාට... ඉදිරියටත් මේ පැත්තේ එයි කියලා දේව්දාස් විශ්වාස කරනවා...

    දේව්දාස්...

    ReplyDelete
  21. ප්‍රාර්ථනා - ඒ මතකයන් දේව්දාස් අන්තිම හුස්ම පොද හෙලන මොහොත වෙනකම් ම තියෙයි... ඒත් දේව්දාස් අදටත් ආසාවෙන් මතක් කරන්නේ දේව් ගේම පාරෝ ගැන විතරයි... එය ආත්මාර්ථය නම්, ඔව් දේව්දාස් ආත්මාර්ථකාමී කෙනෙක්...

    දේව්දාස්...

    ReplyDelete
  22. හිම හංසි - ඔව් වුණු දේ වුණා... ඒත් දේව්දාස් කවදා හරි පාරෝ එනවා කියලා දන්නවා... ඒක නොවුණොත් ඉර නැගෙනහිරින් පායනවා කියන එකත බොරුවක්... දේව්දාස් කවදාවත් තමන්ගේ ජීවිතේ වරද්ද ගන්නේ නෑ... එහෙම වුනොත් ඒක ගුරුවරයෙක් කියන තත්වයටත් අපහාසයක් වෙයි... බොහෝම ස්තුතියි...

    දේව්දාස්...

    ReplyDelete
  23. මට හිතෙන විදියට මෙතනදී දෙව්ටත් වඩා දුක් විඳින්නේ චන්ද්‍රමුඛී..

    ReplyDelete
  24. Nj_A - ඔව් එහෙම වෙන්නත් පුළුවන්... නොවෙන්නත් පුළුවන්... බොහෝම ස්තුතියි මේ පැත්තේ ආවට... දිගටම එයි කියල දේව්දාස් බලාපොරොත්තු වෙනවා...

    දේව්දාස්...

    ReplyDelete